18. පුරාවිද්‍යාවේ මූලාශ්‍රය

අපි දැන් දන්නවා පුරාවිද්‍යාව කියන්නේ මිනිසුන්ගේ අතීතය ගැන හොයාබලන්න හදාගත්ත විෂයක් කියල. මේ විෂය ඉලදෙන්නෙත් යුරෝපයේම තමා. සමහර අය පුරාවිද්‍යාව ගැන හිතාන ඉන්නේ ගුප්ත දේවල් ගැන හොයන විෂයක් කියල. ගල්බෙන තුළින් රිංගලා බඩගාගෙන යන අය ඉන්න විෂයක් කියලයි. නිධන් හොයන විෂයක් කියල. ‘ඉන්දියානා ජෝන්ස්’ චිත්‍රපටවල තියෙන්නේ එහෙම නේ. නාට්‍යක, චිත්‍රපටයක වුනත් පුරාවිද්‍යාඥයෙක් යොදාගන්නේ ගුප්ත, සැඟවුණු දෙයක් ගැන කියන්න කියලයි මම දැකල තියෙන්නේ. හැබැයි පුරාවිද්‍යාව කියන විෂය එහෙම එකක් නෙමෙයි. වෙනත් විෂයන් වගේම විවෘත විෂයක්. පුරාවිද්‍යාවේ තියෙන දේවලුත් ප්‍රමාණ කරන්න පුළුවන්. මේ කතාව පුරාවිද්‍යාවේ දැනුම නිර්මාණය කිරිම සඳහා යොදාගන්න මූලාශ්‍රය ගැනයි. විශ්වවිද්‍යාලයේ පළමු වැනි වසර සිසුන්ට උගන්වන දෙයක්. පස්සෙත් උගන්නන්න පුළුවන් සංකීර්ණ විදිහට. මේ ගැන විවිධ අයට විවිධ අදහස් තියෙන්න පුළුවන්. මේ ලියල තියෙන්නේ මම හොඳයි කියල හිතන විදිහට. කවුරු මොන විදිහට කිවුවත් මේ කරුණු ටික නම් ඒ හැම තැනටම වලංගුයි.
පුරාවිද්‍යාව කියන්නේ මිනිස් අතීතය ගැන හොයල බලන්නක් නිසා එහි දී භාවිත කරන මූලාශ්‍රය පිළිබඳ පිරිසුදු අවබෝධයක් ලබාගන්න ඕන. අතීතය නිර්මාණය කරන එක කාගේ හරි හිතළු මත කරන්න පුළුවන් දෙයක් නෙවී. ඉස්සර පෙරදිග රටවල තිබිල තියෙනවා මනසින් දැනුම නිර්මාණය කරන ක්‍රමයක්. ඒ විදිහට වෙන්න ඇති ඔය ‘සිංහල වෙදකම’, ගොවිතැන වගේ දේවල් බිහිකරන්න ඇත්තේ. ආහාර සකස් කිරීම ගැන හිතුවත් මේ කාරණය ගැන හැඟීමක් එයි ඔන්න. එහෙම කියල එක එක මානසික රෝගීන්ට හිතෙන දේවල් අනුව දැනුම ගොඩනඟන්නත් බෑ. මානසික හැකියාව හා මානසික රෝගීන් වෙන්කරල හඳුනගන්න තෝරගන්න අපි කාටත් පුවන් වෙන එක මේ කාලේ බොහොම වටිනවා වෙන කවර කාලෙකටත් වැඩියෙන්.
පුරාවිද්‍යාවේ දි මූලිකව මූලාශ්‍රය වර්ග දෙකක් හඳුන ගන්න පුළුවන් 1. ලිඛිත මූලාශ්‍රය හා 2. අලිඛිත මූලාශ්‍රය කියලා. මිනිස්සු තමන්ගේ කටින් නිකුත් වෙන ශබ්ද නැත්නම් සිතේ ඇඳුණු සංකල්ප අනෙක් අයට දැනවීම සඳහා නිර්මාණය කරගත් සංකේත පද්ධතියන්නේ භාෂාව කියන්නේ. කඩදාසි, ගල්, ලෝහපත්‍ර වගේ දේවල් මත අක්‍ෂර උපයෝගි කරගෙන භාෂාව සටහන් කරල තියෙනවා. ඉස්සර හිටපු මිනිස්සු ගැන අපිට විස්තර දැනගන්න පුළුවන්නම් ඒ ලේඛන භාවිත කරල ඒවාට අපි කියනවා ලිඛිත මූලාශ්‍රය කියලා. පැරණි මිසරයේ පිරමීඩ ඇතුළේ තියෙන පූජක අක්‍ෂර/චිත්‍රාක්ෂර, සිරියාවේ හම්බ වෙන කුඤ්ඤ අක්ෂර වගේ අක්‍ෂර ඉන්දියාවේ ලංකාවේ හම්බවෙන බ්‍රාහ්මී සෙල්ලිපි, මහාභාරතය, රාමායනය, වේද ග්‍රන්ථ, පුරාණ, මහාවංශය, දීපවංශය ආදී වංසකතා ආදි මේ සියල්ල වගේ දේවල් ගැනෙන්නේ ලිඛිත මූලාශ්‍රය ගණනටයි. මේ ලේඛකයා පෞද්ගලිකව කල්පනා කරන්නේ මූලාශ්‍රය විශේෂයක් වශයෙන් ලිඛිත මූලාශ්‍රය හරිම ප්‍රබලයි කියල, අනික් මූලාශ්‍රය එක්ක සසදලා බලද්දි. මේ තියෙන්නේ කෙලින්ම මිනිස්සුන්ගේ අදහස්. ඉතිහාසය විෂය සම්පූර්ණයෙන් රදා පවතින්නේ මේ ලිඛිත මූලාශ්‍රය මත. ඒ විතරක් නෙවෙයි පුරාවිද්‍යාවේ ධාරාවක් තියෙනවා ඓතිහාසික පුරාවිදයාව කියල. ඓතිහාසික පුරාවිද්‍යාවේ දි මේ ලිඛිත මූලාශ්‍රය තමයි ප්‍රධාන මූලාශ්‍රය.
අලිඛිත කියන වචනයේ තියෙනවා වගේම ලියල නැති දේවල් තමා අලිඛිත මූලාශ්‍රය කියන්නේ. මේ මූලාශ්‍රය වැඩියෙන් භාවිත කරන්නේ පුරාවිද්‍යාවේදි. පුරාවිද්‍යවේ දී ඓතිහාසික කාලයෙන් ඔබ්බේ තියෙන දේවල් ගැන කතාකරද්දි එහෙම නැත්නම් ප්‍රාග් ඉතිහාසය කතා කරද්දි ඒ දේවල් සම්පූර්ණයෙන් රදා පවතින්නේ අලිඛිත මූලාශ්‍රය මතයි. මිනිස්සු විවිධ කාලවල පරිසරයේ ජීවත් වෙද්දි ඉතිරි කළ මිනිස් ඇටකටු, සොහොන්, කෑමට ගෙන ඉවත් කළ සතුන්ගේ කොටස්, ශිලා මෙවලම් ආදියේ ඉදල ඔවුන්ගේ බහිස්‍රාවීය ද්‍රව්‍යයත් මේ අලිඛිත මූලාශ්‍රයටයි අයිති. පුළුල් පරාසයක විසිරීපැතිරි තියෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ඉන්නේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය Anura Manatunga මැතිතුමා එතුමාගේ ලිපියක දී මේ අලිඛිත මූලාශ්‍රය නැවත කොටස් කරල තිබුනා ඉගෙන ගැනීමේ පහසුවට. ඒ අනුව, අ. මානව කෘති (artifacts), ආ. පරිසර කෘති (ecofacts), ඇ. භූ කෘති (geofacts), ඈ. සත්ව කෘති (zoofacts) හා ඉ. වෙනත් (other) කියල කොටස් 5කට බෙදල තිබුනා. මානව කෘති කියල කිවුවේ මිනිස්සු හදපු නැත්නම් මිනිසාගේ මැදිහත්වීම නිසා නිර්මාණය වුණු දේවලට. ගල් ආයුධයක් ගත්තොත් ඒක මානව කෘතියක්. පරිසරය නිසා ඇති වුණු දේවල් තමා පරිසර කෘති කියල කියන්නේ. භූ කෘති කියල කිවුවේ භූ විද්‍යාත්මක වශයෙන් ඇතිවුණු භූ දර්ශන, පස් තට්ටු වගේ දේවලට. සතුන් නිසා ඇතිවුණු දේවල් තමා සත්ව කෘති කියන්නේ කියන එක ආය විශේෂයෙන් කියන්න ඕන නෑනේ නේද. මේ උඩින් කිවුව දේවලට අදාළ නැති දෙයක් තියෙනවා නම් ඒවා වෙනත් කෘති කියන තැනට දාන්න පුළුවන්. හිතල බලන්නකෝ මොන වගේ දේවල් මේ ගොඩට දාන්න පුළුවන් ද කියල. හිතෙන දේ අපිටත් පේන්න පහළින් කොමෙන්ට් කරන්න.
දැන් කාට හරි අහන්න පුළුවන් ජනප්‍රවාද වගේ ඒවා පුරාවිද්‍යාවේ දි යෙදාගන්න බැරිද කියල. උත්තරය පුළුවන් කියන එකයි. ප්‍රංශ ජාතික විද්වතෙක් හිටිය ‘ක්ලොඩ් ලෙවි ස්ට්‍රවුස්” (Claude Lévi-Strauss) කියල. එතුමා මානව විද්‍යාව, වාග්විද්‍යාව වගේ දේවල් ගැන උනන්දු වුණු කෙනෙක්. මෙතුමා පෙන්නල දීල තියෙනවා මේ මිත්‍යා කියන ඒවා කොහොමද තේරුම් ගන්න ඕන කියල. මිත්‍යාව ඇතුළේ තියෙන සත්‍යය මතු කරගන්නේ කොහොමද කියල. උදාහරණයක් අරගෙන අපි බලමු මේක. මහාවංසයේ සවර්ණමාලි ස්තූපය එහෙම නැත්නම් මහාථූපය නිර්මාණය කරන අවස්ථාවේ එහි පාදම අවස්ථා ගණනාවක පොළොවේ ගිලී ගියා කියල කතාවක් තියෙනවා. හරි ලස්සන කතා. මහාවංසය එහෙම නැත්නම් ථූපවංසය කියෙවුවොත් මේ කතා දැනගන්න පුුළුවන්. ස්තූපය ගිලි ගිය මේ කතාව බොරුවක් සාහිත්‍ය කතාවක් කියල සමහරු හිතනවා. අනුරාධපුරේම තියෙන ජේතවන ස්තූපය වගේ එවා කැනීම් කළ පුරාවිද්‍යාඥයින්ට පෙනී ගියා එම ස්තූප හදල තියෙන්නේ පොළොව හාරලා පිහිටි ගල උඩ කියන එක. මේ විදිහට ගැඹුරේ ඉදල කළ මේ නිර්මාණය මිනිස්සුන්ට පහදල දුන්නේ දේව කතාවක් විදිහට වංසකතාවට ඇතුළු කරල. මිත්‍යාවක් විදිහටයි අපිට පේන්නේ. තව කතාවක් තියෙනවානේ කොත්මලේ කොත්තුණුගොඩ කන්දෙන් රන් කොතක් මතු වුණා කියල. මිත්‍යා කතාවක්. නමුත් මම දැක්කා භූ විද්‍යාඥයෝ කියල තියෙනවා මේ කඳුවල ඉතා පැරණි, අක්‍රීය ගිණිකඳු ලක්ෂණ තියෙනවා කියලා. ගිනිකඳු රන් කොතක් විදිහට ජන කතාවට ඇතුළු වෙලා. අර විශ්වාසයේ සැඟවිලා තියෙන ඇත්ත. මේ වගේ කතා ඕන තරං ලංකාවේ විතරක් නෙවී ලොකෙත් තියෙනවා.
හැබැයි මේ වගේ ප්‍රවාද ඉතිහාසයට සම්බන්ධ කරගන්න එක බොහෝම ඉවසිලිවන්තව, අවබෝධයෙන් කරන්න ඕන. මේ කතා පාරම්පරික කතා ද? මොන කාලයේ ඉදල ද පැවතගෙන එන්නේ? කියන කාරණා තහවුරු කරගන්න ඕන.
මේ දවස්වල අපේ සමහර අය මේ ජනප්‍රවාද වලින් වීර චරිත මවන්න හදනවා. උත්සාහය හොඳයි. හැබැයි විධිමත් විදිහට අනිත් අයටත් ඒත්තු යන විදිහට ඒ කතා ඉදිරිපත් වෙන්න ඕන. පස්සේ පෙන්නන්නන්, අපිට ඕන අයට විතරයි පෙන්නන්නේ කීවට පිළිගන්න බෑනේ. කතාවක් ගෙඩි පිටින් ඇත්ත විදිහට ගන්නේ නැතිව ඒ අස්සේ හැංගිලා තියෙන ඇත්ත ටිකක් පෙන්නලා දෙන්න ඕන, පුරාවිද්‍යා සාධකවලටත් ගැලපෙන විදිහට.
මේ සමඟ අමුණලා තියෙන රූපෙ ගත්තෙත් අන්තර්ජාලයෙන්.
චන්දිම අඹන්වල
2020.03.31 / 10.18 AM
Previous article19. මිහින්තලේ, බෙහෙත් ගෙය
Next article 17. කඳුරුගොඩ මැටි පාත්‍ර කැබැල්ල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

3 COMMENTS

  1. සර් මම කොත්මලේ හරංගල පදිංචි අයෙක්.මම ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකරු සිසිර ලලිත් කුමාර .මම කොත්මලේ ගැන පොතක් ලියනවා.මට සර්ගේ උදව් ඕන.මට පුළුවන් ණම් සර්ගෙ නම්බර් එක දෙන්න.0767600932.0718457136 සිසිර

  2. අලිඛිත මූලාශ්‍ර යටතේ මානව කෘති,සත්ත්ව කෘති,පරිසර කෘති,භූ කෘති හා වෙනත් ලෙස කොටස් 5කට බෙදා දක්වා ඇත..එහි වෙනත් කොටසට ජනප්‍රවාද මෙන්ම සිතුවම් ද ගත හැකිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.