එන්.එච්. සමරසිංහ
ශ්‍රී ලංකාවේ රුහුණු ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මානව ජනාවාස සහිත ප්‍රදේශයක්ව තිබී ඇති බවට සාධක යාල වනෝද්‍යානයේ කරන ලද ගවේෂණ වලින් හෙළි වී ඇත. එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ බුදු දහම ව්‍යාප්ත වීමේ දී රජරට මෙන්ම රුහුණු ප්‍රදේශය තුළ ද එකසේ බුදු දහම ව්‍යාප්ත වූ බව පෙනීයයි. මහවැලි ගඟට උතුරින් විසු භික්ෂුන් වහන්සේලා ධර්ම සාකච්ඡා ආදිය සඳහා අනුරාධපුරයට එක්රැස් වූ බවත් මහවැලි ගඟට දකුණින් විසූ භික්ෂුන් වහන්සේලා රුහුණේ තිස්සමහාරාමයට රැස් වූ බවත් කියති.
සිතුල්පව්ව පිළිබඳව සාහිත්‍යමය මෙන්ම ඓතිහාසික අභිලේඛන මුලාශ්‍රයවල බොහෝ කරුණු සඳහන් වී ඇති බැවින් ක්‍රිස්තු පුර්වයේ සිටම රුහුණේ පැවති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන අතරින් සිතුල්පව්ව රජ මහා විහාරයට ඉතා වැදගත් තැනක් හිමිව තිබු බව පෙනේ.
සිත් අලවන පර්වතය යන අරුත ඇති චිත්තල පබ්බත යනුවෙන් මහා වංශ ආදී පොත්වල ද, චිතල පවත, චිතල පවම යනුවෙන් ශිලාලේඛන වල ද මේ භුමිය හඳුන්වා ඇත.
මේ සිද්ධස්ථානය ආරම්භ කොට ඇත්තේ කාවන්තිස්ස රජු විසිනි. එකල රජරට ද්‍රවිඩ පාලනයකට යටත්ව තිබු බැවින් රුහුණේ සිද්ධස්ථාන සංවර්ධනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නට ඇත. එළාර රජ සමග යුද්ධයකට යාමට රුහුණේ දී සේනා සංවිධානය කළ දුටුගැමුණු රජ සිතුල්පව්ව විහාරයේ භික්ෂුන්ට දන් පිළිගන්වා මාගමින් පිටත් වූ බව සහස්‌සවත්ථූපකරණයේ සඳහන්වන බව කිය වේ. දුටුගැමුණු රජු සමග යුද පෙරමුණට ගිය දශ මහා යෝධයින්ගෙන් ගෝඨයිම්බර, පුස්‌ස දේව, වේළුසුමන, නන්දිමිත්‍ර යන සිව් දෙනාම සිතුල්පව්වේ සංවර්ධනයට දායක වී ඇති බව සෙල්ලිපි වලින් තහවුරු වේ. ශ්‍රී මහා බෝධියේ දෙතිස්‌ඵල රුහ බෝධීන් වහන්සේ නමක් මේ විහාරයේ ද රෝපණය කර ඇතැයි සිංහල බෝධිවංශයේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය හෙළිදරව් කෙරෙන ක්‍රිස්තු පුර්වයේ සිට හයවන සියවස පමණ දක්වා වන විවිධ කාලවලට අයත්වන ශිලාලේඛන රාශියක් සිතුල්පව්වේ ඇත. දෙවන පෑතිස් හා කාවන්තිස්ස රජවරුන්ගේ මුනුබුරෙකු ලෙස සැලකෙන ඉලනාග රජු විසින් කරවා ඇතැයි සැලකෙන පර්වත ලිපියක් ඉතා වැදගත් ලෙස සලකනු ලබන්නේ එහි සිතුල්පව්වට පවරාදුන් ඉඩ කඩම් සංඛ්‍යාව ඉපැරණි අංක ක්‍රමයකින් දක්වා ඇති නිසාය. තවත් ලිපියක වසභ රජ පරපුර ගැන සඳහන් වේ. පළමු වන ගජබාහු රජකල ලිපියක දැක්වෙන පරිදි දුබල – යහටගම හා අකුජ – මහගම අධිකරණ ශාලාවලින් ලැබෙන දඩ මුදල්වලින් දෛනිකව කහවනු දෙක බැගින් සිතුල්පව්ව විහාරයේ භික්‍ෂූන්ගේ බෙහෙත් පිණිස ලබා දී ඇත. මීට අමතරව විවිධ පුද පුජාවන් පිළිබඳව සඳහන්වන පූර්ව බ්‍රාහ්මී කටාර ලේඛන රාශියක් ඇත.
සිතුල්පව්ව පරිශ්‍රය ලංකාවේ කටාරම් කෙටු ලෙන් වැඩිම ගණනක් ඇති ආරාම සංකීර්ණයයි. සියයකට අධික ප්‍රමාණයක් ඇතැයි සඳහන්වන මේ ලෙන් වල රහතන් වහන්සේලා 12,000ක් පමණ වැඩ විසූ බව කියති. රුහුණේ සිටි රජවරු පමණක් නොව අනුරාධපුරය රාජධානිය කොටගත් වසභ, ගජබාහු වැනි රජවරු ද සිතුල්පව්වට රාජ අනුග්‍රහය ලබා දී ඇත.
වළගම්බා රජ සමයේදීත් සිතුල්පව්ව රහතන් වහන්සේලා ඉතා විශාල ප්‍රමාණයක් වැඩසිටි ආරම සංකිර්නයක්ව තිබී ඇත. එහෙත් එකල සිදුවූ ‘බැමිණිතියා’ නම් මහා නියං සාගතය හේතුවෙන් මේ විහාරයේ රහතන් වහන්සේලා පිරිනිවන්පා ඇත.
පසුව සිදු වූ දේශපාලන අස්ථාවර භාවයන් හා බෞද්ධ බැතිමතුන් දුබල වීම ආදිය නිසා සිතුල්පව්ව වල් බිහි වී ජන ශුන්‍ය පෙදෙසක් බවට පත්වින. විසිවෙනි සියවස ආරම්භයේ දී පොතපතින් හා මුඛ පරම්පරාවෙන් පැවත ආ ප්‍රවෘත්ති වලින් සිත් පුබුදුවාගත් ගාල්ලේ යටගල රජමහ විහාරාධිපතිව වැඩ විසූ කළහේ රතනජෝති ශ්‍රී ගුනරතනාභිධාන නායක ස්වාමින්වහන්සේගේ උත්සාහය නිසා මේ පුදබිම නැවත කලඑළි විය.
1909 දී පුරාවිද්‍යාඥයෙක් වූ හෙන්රි පාකර් මෙහි පර්යේෂණ කටයුතු කර ඇත. 1922 දී පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙහි නටබුන් පිළිබඳව ලේඛනගත කර ඇත.
වර්තමාන රුහුණු යාල වනෝද්‍යානය තුල පිහිටි සිතුල්පව්ව රජ මහා විහාරයට තිස්සමහාරාමයේ සිට B 422 මාර්ගයේ යෝධ කන්ඩිය වැව පසුකල පසු හමුවන කිරින්ද – සිතුල්පව්ව මාර්ගයේ කිලෝමීටර් 24ක් පමණ ගමන් කිරීමෙන් හෝ කතරගම සිට කතරගම – සිතුල්පව්ව පාරේ කිලෝ මීටර් 17ක් පමණ ගමන් කිරීමෙන් ලඟාවිය හැකිය.
වංශ කතා, සෙල් ලිපි, පුරාවෘත ආදියේ සඳහන් කරුණු සනාථ කරවන ඉදිකිරීම් හා පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂයන් රාශියක් අද සිතුල්පව්වේ දැකිය හැකි ය.
මහා සිතුල්පව්ව
සිතුල්පව්වේ මහා සිතුල්පව්ව හා කුඩා සිතුල්පව්ව යනුවෙන් හැඳින්වෙන පර්වත දෙකක් මත චෛත්‍යයන් දෙකකි. කාවන්තිස්ස රජ කරවූ චෛත්‍යය පිහිටියේ පළමුව හමුවන පර්වතය මතය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම් වලට අනුව මේ චෛත්‍යය දැන් රියන් 36ක් උසට බඳවා පිළිසකර කර ඇත. මේ චෛත්‍යයට පරිවාර චෛත්‍ය ලෙස වසභ රජතුමා ඉදිකළ අනෙක් චෛත්‍ය දහයේ අත්තිවාරම් දක්නට ඇත.
කුඩා සිතුල්පව්ව
මහා සිතුල්පව්වට නැගෙනහිරින් පිහිටි කඳු ගැටයේ කුඩා සිතුල්පව්ව පිහිටා ඇත. සිතුල්පව් ලෙන් විහාරය ඉදිරිපස ඇති මාර්ගය කුඩා සිතුල්පව්ව කරා දිවෙයි.
මෙහි ද චෛත්‍ය දෙකක්, ගල් ලෙන්, පොකුණු හා විශාල ගල් කුඩය ලෙස හැඳින්වෙන ගල් ලෙනක් ආදිය ඇත.
ලෙන් විහාරය
සිතුල්පවු ලෙන් විහාරය මහා සිතුල්පවු කන්දේ බෑවුමක ඉදිකොට තිබේ. එය අඩි 67ක් පමණ දිගකින් හා අඩි 30ක් පමන උසකින් යුතුය. එහි ඇති සැතපෙන බුදු පිළිමය අඩි 37ක් පමණ වේ. මේ ලෙනෙහි කටාරමට යටින් ඇඳ තිබු සිතුවම් වල ශේෂයන් දැකගත හැකි ය. මේවා ලංකාවේ දක්නට ලැබෙන අනුරාධපුර යුගයට අයත් ඉතා පැරණි සිතුවම් වල ශේෂයන්ය. පැහැදිලිව දැකගත නොහැකි වුවත් මේ සිතුවම් අතර බුදු රජාණන්වහන්සේගේ සිතුවම් දෙකක්, දේව රුපයක්, අතක කොටසක්, මුවෙකුගේ හා කවුළුවක සිතුවමක් ආදිය ඇති බව හඳුනා ගත හැකි ය. එමෙන්ම එකිනෙකා පසුපස පියඹායන පක්ෂීන් සමුහයක් හා තවත් පක්ෂීන් කීපදෙනෙකුගේ රූප, දේවතා රුප දෙකක්, කුඩා ප්‍රමාණයේ මිනිස් රුප හතරක්, වාමන රූප හා මෘග රුප කීපයක්ද හඳුනාගෙන තිබේ. එකිනෙකා පසුපස පියඹා යන්නේ වලි කුකුලන් රංචුවක් බවත් එවැනි දර්ශනයක් ලංකාවේ වෙනත් කිසිම තැනක සිතුවම් කොට තිබෙනු නොදක්නා ලද හෙයින් එය ඉතා විශේෂ සිතුවමක් ලෙස සමහරු සලකති. මේවා සීගිරි සිතුවම් මෙන් අනුරාධපුර සම්භාව්‍ය සම්ප්‍රදායේ විශිෂ්ඨ නිදර්ශන ලෙස ඉතිරි වී ඇති සිතුවම් කිහිපයෙන් එකක් බව කිව හැකි ය. ලෙන් විහාරයේ කොටන ලද කටාරයට පහල කොටසේ රළු පෘෂ්ටය බදාම වලින් සුමට කොට සුදු පැහැය තවරා ඒ මත කහ, ලා රතු, දුඹුරු හා කොළ පාටින් සිතුවම් ඇඳ තිබේ. චිත්‍ර සියුම් ඉරි මගින් වඩාත් තීව්‍ර කර ඇති බව පෙනේ.
පිළිම ගෙය
මිට අමතරව හිටි පිළිමයක් තැන්පත් කොට තිබු, මණ්‌ඩපය, අන්තරාලය හා ගර්භ ගෘහය යන අංගවලින් සමන්විත තවත් පැරණි පිළිම ගෙයක නටබුන් පෙනේ. මෙහි ගර්භ ගෘහය මැද දැනුදු බුදු පිළිමයේ පද්මපීඨය දැකිය හැකි ය.
බෝධි ඝරය
ඒ ආසන්නයේ බෝධි ඝරයක නටබුන් ඇත. බෝධිවංශයේ දැක්වෙන ශ්‍රී මහා බෝධියේ දෙතිස්‌ඵල රුහ බෝධීන් වහන්සේ රෝපණය කළේ මෙහි විය හැකි ය.
උපෝසථාගාරය
කණිට්ට තිස්ස රජතුමා විසින් ඉදි කරන ලද බවට සැලකෙන නටබුන් උපෝසථාගාරයක නටබුන් ප්‍රධාන ස්තුපය පිහිටි පර්වතයට දකුණින් දැකිය හැකි ය. මෙහි දක්නට ලැබෙන ගල් කණු වල මුදුනේ ස්වභාවය අනුව මෙය මහල් කීපයක ගොඩනැඟිල්ලක් බව පැහැදිලි වේ. ගොඩනැඟිල්ලේ දකුණෙන් ඉහල මහලට පිවිසෙන පඩිපෙලක් තිබු බවට විශ්වාස කල හැකි ලකුණු ඇත.
ප්‍රවේශ මාර්ගයට බටහිරින් වන වැවේ දක්නට ලැබෙන ගල් කණු වල ස්වභාවය අනුව එහි ටැම්පිට විහාරයක් තිබුණු බවට අනුමාන කල හැකි ය.
බෝධිසත්ව රූප
සිතුල්පව් ලෙන් විහාරය අසල බෝධිසත්ව ප්‍රතිමා දෙකක නටබුන් දැකිය හැකි ය. මේ බෝධිසත්ව ප්‍රතිමා අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ බව විශ්වාස කෙරේ. එක පිළිමයක් රාජ කුමාරයෙකු ලෙසත් අනෙක් පිළිමය යෝගී කෙනෙකු ලෙසත් දෙයාකාරයකින් නිම කොට තිබීම විශේෂත්වයකි. මේ ප්‍රතිමා වල දෙ අත් වලට හානි සිදු වී ඇති අතර රාජ කුමාරයෙකු ලෙස නිමකළ ප්‍රතිමාවේ සිරස ද දක්නට නැත.
පොකුණු
සිතුල්පවු පරිශ්‍රයේ පොකුණු රාශියක් ඉදිකොට තිබුණු බව පෙනේ.
ගල් කුඩය
කුඩා සිතුල්පව්වට යන අතරමග ගල් කුඩය නමින් හැඳින්වෙන යෝධ කුඩයක ආකාරයෙන් පැතිරගිය ගල් කුලක් හමු වේ. වසභ රජතුමා මෙහි කටාර කොටවා පරිහරණය සඳහා පිළියෙළ කර වූ බව මහා වංසයේ සඳහන් වේ. මේ ගල් කුල යට පුද්ගලයන් 200කට පමණ වැස්සෙන් නොතෙමි සිටිය හැකි ය.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.12.03 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------