බැරගම සද්ධානන්ද හිමි
පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම.
හැඳින්වීම
ලෝකයේ සෙසු රටවල් සමග සසදන කල ශ‍්‍රි ලංකාව ප‍්‍රාග් ඓතිහාසික සාධක සහිත ඉතිහාසයක් මෙන්ම විශේෂ ලිඛිත ඉතිහාසයක් උරුම කොටගෙන ඇති රටකි. එහි දී ඓතිහාසික යුගය පෝෂණය කිරීම සඳහා සාහිත්‍ය මූලාශ‍්‍රය වලින් හා සෙල්ලිපි වලින් ලැබී ඇති පිටුබලය අතිමහත්ය. දිවයිනේ නන්දෙසින් සොයාගෙන ඇති මෙබඳු වූ දහස් ගණනක් වූ සෙල්ලිපි අතරින් ලංකාවේ පැරණි බැංකු ගැන කියැවෙන තෝනිගල සෙල්ලිපියට හිමිවන්නේ විශේෂ ස්ථානයකි.
වව්නියාවේ සිට හොරොව්පොතානට පිවිසෙන මාර්ගයේ 6 වැනි සැතපුම් කණුවට මදක් නුදුරින් උතුරු දිශාවට වන්නට උතුර – උතුරු මැද දෙ පලාත වෙන් කරන සීමාවෙහි තිලක්කුලම නම් පෙදෙසේ පිහිටි ගල් තලාවක් මත තෝනිගල සෙල්ලිපිය සටහන්ව ඇත. එසේම ‘නාගරගල’ යන නමින්ද මෙම ස්ථානය ගම් වැසියෝ හඳුන්වනු ලබති. සෙල්ලිපිය පිහිටි පර්වතය හාත්පස බෙහෙවින් විනාශයට පත්ව ඇති විවිධ ආරාමික වාස්තු විද්‍යාත්මක අවශේෂයන් බොහොමයක් දැක ගත හැකි ය. මෙම නටඹුන් වලට ආසන්නව ගල්තලාවේ වෙන් වෙන්ව සටහන් කල සෙල්ලිපි තුනක් දැකගත හැකි ය. මින් එකක් අපගේ මාතෘකාවට අදාල සෙල්ලිපිය වන අතර අනෙක එම සෙල්ලිපියේම තවත් පිටපතක කොටසකි. ඇතැම්විට ප‍්‍රථමයෙන් ලියන්නට පටන් ගන්නට ඇත්තේ දෙ වැනියට කී සෙල්ලිපිය විය හැකි ය. එය කෙටීමේ දී සිදු වූ කිසියම් දෝෂයක් නිසාවෙන් ලිපිය බාගෙට සටහන් කර නවතා දමා නව ලිපිය සම්පූර්ණ වශයෙන් සටහන් කළා වීමට පිළිවන. අනෙක් තුන්වැනි ලිපිය තෝනිගල ප‍්‍රධාන ලිපියට සියවස් කිහිපයකට පෙර ලියන ලද තනි අක්‍ෂර පෙලකින් යුතු ලිපියකි. මෙම ලිපිය මෙතෙක් පලකළ බවට සාධක නැත. සෙනරත් පරණවිතාන පවා දැක ඇත්තේ මුලින් සදහන් කළ ලිපි දෙක පමණි (Paranavitana 1933:197). නමුත් මෙහි දී අපගේ අවධානය යෙමුවන්නේ අක්‍ෂර පේළි 17කින් යුතු ප‍්‍රධාන ලිපිය පිළිබඳව ය. මෙහි මුල් අක්‍ෂර පේළි හතර අඩි 9ක් දිගින් ද පහේ සිට දහසය දක්වා ඇති පේළි අඩි 8ක් හා අවසාන පේළිය අඩි 2ක් දිගින් යුක්ත ය. අඩි 10ක පමණ ප‍්‍රදේශයේ පැතිරුණු ලිපියෙහි එක් අක්‍ෂරයක සාමාන්‍යය ප‍්‍රමාණය වන්නේ අඟල් 3ක් පමණ ය.
මෙම ලිපිය පිළිබදව පූර්ණ අධ්‍යයනයක් පළමු වතාවට සිදුකර ඇත්තේ සෙනරත් පරණවිතාන (Paranavitana 1933:172-188) ය. ඒ මහතා සදහන් කරන පරිදි මෙම ලිපිය පිළිබඳ ව පළමුවෙන් 1886 දී හෙන්රි පාකර් වර්තා කොට ඇති බවත්, එසේම 1892 දී එවකට සහකාර පුරාවිද්‍යා කොමසාරිස් වරයාලෙස කටයුතු කළ ඞී.එම්.එස්. වික‍්‍රමසිංහ මෙහි තිබූ ලිපි පිටපත් කර එම වර්ෂයේ ම පාලන වාර්තාවේ ශිලා ලිපි ලැයිස්තුවේ අංක 34, 35 යටතේ වර්තා කර ඇති බවත්, එච්.සී.පී. බෙල්ගේ අධීක්‍ෂණයෙන් යුතුව මෙම ලිපියේ නේත‍්‍ර පිට පතක් සකසන ලදු ව එය තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා අතර තිබුන ද මෙම ලිපිය කිසිවකුත් විසින් සාර්ථකව කියවා ඉදිරිපත් නොකළ බව ද වාර්තා කර ඇත (Paranavitana 1933:19-72).
අන්තර්ගතය
දේව නැමැත්තකු විසින් ‘යහිස පර්වත විහාරයෙ’හි වැඩවසමින් අරියවංශ පූජාව පවත්වන භික්‍ෂූන්ගේ ප‍්‍රත්‍ය පහසුකම් සැලසීම සඳහා ‘කළහුමනක’ නම් වෙළෙඳ මධ්‍යස්ථානයෙහි වී, උදු, මුං ආදිය තැන්පත් කොට එහි පොළිය සංඝයාට ලැබෙන සේ සම්පාදනය කොට තිබීම මෙහි ප‍්‍රමුඛතම සඳහනයි. ඊට අමතරව ලංකාවේ භාවිත පැරණි බැංකු ක‍්‍රම, කෘෂිකාර්මික කටයුතු, මිණුම් ක‍්‍රම මෙන්ම තත්කාලීන ආගමික, ආර්ථික හා සාමාජික තත්ත්වය පිළිබඳ ව කරුණු අන්තර්ගතව පවතී.
පෙළ
- සි පුවිය මහසෙන මහරජ පුත සිරිමෙකවණ අබමහරජහ වත ලෙගි
- නක තිනවනක වසහි නකරහි උතරපසහි කළ හුමනක නියම තනහි සිය අ-
- විය කිණියෙහි නිකත කඩු බලගමකෙහි වසනක අමෙති පහෙජ සිවය
- හ පුත දෙවයහ යහිස පවය නවවහෙරකෙහි දින අරිය ච
- ස වට වී දෙහකඩ දස අමණක වී ඉච ස අමණක
- උදිඉව බයලි දස අමණක ඉව (*) මෙදෙහකඩ දස අ-
- මණක වී පිටදඩහසහි වෙඪ අකලහසහි වෙඪ ම-
- දෙහසහි වෙඪ පචවිසිය අමණක වී ඉච මෙස අමණක උදිහි
- වෙඪ එක අමණ දෙපෙකඩක උදිඉව දසඅමණක බයලිහි වෙඪ අ
- මණ දෙපෙකඩක බයලි ඉව (*) මෙවනක වනහි ගහෙ කිණිය විටවය වෙ
- ඪගෙණ තිණඩහකට දනවටඉව අතරකජක වටඉව අතරකජ
- (පරි) කර යපෙනි ඉච දී මියවට පෙණිතිල ඉච බුත තෙල ඉච ලොණ ඉච
- පලහවට ඉච වෙටලය ඉච වහෙර- ගසර-ප- පචනහි
- මිලිය පදිය ඉව (*)මෙව (නක) වෙඪ වනක ගෙණ වනය ච(න)ය
- අතොවසභි නිකමණිය චදපුණමස දොළසපක දිවස
- (අ) රියවස කරන මහබිකු සගහට නියතකොටු යහිසපව(තන)
- ව වහෙරක හි දිනි (*)
අර්ථය
මංගලයක් වේවා. පෘතුවීශ්වර (පෙරසිටි) මහසෙන මහ රජුගේ පුත‍්‍ර වූ සිරි මේඝවණ්ණ අභය මහරජතුමා සේසත් එස වූ තුන්වන වර්ෂයේ දී නගරයෙ හි උතුරු දිශාවේ කලහුමනක නම් වෙළඳ සභාවේ (බැංකුවේ) තමා විසින් පරිත්‍යාග කරනලද වස්තුව අඩුවීමක් හෝ හීනවීමක් නොවන ලෙස කඩුබලගම වාසය කරන අමාත්‍යය පර්ෂදයේ සිවගේ පුත‍්‍රයා වන දේව විසින් යහිස පර්වතයෙහි අභිනව විහාරයට දෙන ලද අරියවංශ වෘත්තිය පැවැත්වීම සදහා වී සකට (කරත්ත) දෙකක් හා දස අමුණක වී ද අමුණු හයක උදු ද මුං ඇට අමුණු දහයක් ද දෙන ලදි. මෙම දස අමුණක වී වල මහකන්නයේ පොළිය ද යළකන්නයේ පොළිය ද මැදකන්නයේ පොළිය ද වශයෙන් අමුණු විසිපහක වී ද උදු හය අමුණක පොළිය උදු එක අමුණු පෙකඩ දෙකක් ද මුං දස අමුණක පොළිය අමුණු දෙකයි පෙකඩ දෙකක්ද වේ. මේ ඉහත කී තැන්පතුවේ මූල ධනය වෙනස් නොකොට පොළිය ගෙන බත් සදහා ද අතුරුපස කෑමට ගන්නා ආහාර මී කිරි, මී පැණි, කැවිලි, තල, දුන් තෙල්, ලුණු, පළා වර්ග සහ කහ සඳහා ද විහාරස්ථානයේ භෝජන ශාලාවේ ආහාර පිසින කටයුතු ගෙවීම සඳහා ද දිය යුතු ය. මෙකී තාක් වස්තුව එහි පොළියෙන් ගෙන පැමිණෙන පැමිණෙන වස්කාලයක් තුළ නිකිණි මස ශුක්ල පක්‍ෂයෙහි දොළොස් වන දිනයෙ හි අරියවංශ ප‍්‍රතිපදාව කරන මහා භික්‍ෂු සංඝයාට නියම කොට යහිස පර්වතයෙහි අභිනව විහාරයට දෙන ලදි.
විමර්ශනය
ක‍්‍රිස්තු වර්ෂ සිව්වන සියවසේ ලක්දිව පැවති සමාජ තොරතුරු අධ්‍යයනය කිරීම සඳහා බෙහෙවින් ඉවහල් වන මෙම ලේඛනයෙන් පහත කරුණු අනාවරණය කරගත හැකි ය.
- දේශපාලනික තොරතුරු
- ආර්ථික තොරතුරු
- ආගමික තොරතුරු
- සාමාජික තොරතුරු
දේශපාලනික තොරතුරු
දේශපාලනික වශයෙන් තොරතුරු අධ්‍යයනය කිරීමෙ දී ලංකා ඉතිහාසයේ වාර්තා වී ඇති ප‍්‍රබල රාජ්‍ය පාලකයන් දෙදෙනෙකු පිළිබදව මෙහි සඳහන් ය. ඔවුන් නම් මහසෙන් මහ රජු සහ කිත්සිරි මේඝ යන පාලකයින්ය. පිය පුතු සබදතාවක් ඇති මෙම රජවරුන් දෙදෙනා පිළිබඳ ව සෙල්ලිපියේ සඳහන් කොට ඇත්තේ, පුවිය මහසෙන මහරජ පුත සිරිමෙකවණ අබමහරජහ යනුවෙනි.
පුවිය මහසෙන මහරජ
මෙම සෙල්ලිපිය පිහිටවනු ලබන්නේ කිත්සිරිමේඝ රාජ්‍ය සමයේ වුව ද එම රජු ගේ පියා වූ මහසෙන් (ක‍්‍රි.ව. 274-301) රජු පිළිබඳ ව සඳහන් කරනු යේ කිත්සිරි මෙවන් රජුට ඇති රාජ්‍ය උරුමය පිළිබඳ ව දැක්වීමට මෙන්ම ජනතා ප‍්‍රසාදය ඇතිකර ගැනීමට විය යුතු ය. මහාවංශයට අනුව මහසෙන් රජු ගෝඨාභය (ක‍්‍රි.ව. 249-262) රජු ගේ පුත‍්‍රයෙකි. මහසෙන් රජතුමා මහා විහාරය සමග උරණව එම විහාරයට දැඩි හානි සිදුකළ බව මහාවංශයේ සදහන් ය (මහාවංශය: 37. 178). මෙම ලිපියේ මහසෙන මහරජ යන සංඥා නාමයට ඉදිරියෙන් ඇති පුවිය යන පදයෙන් පෘතුවීශ්වර හෝ පෙර සිටී යන අදහස අර්ථවත් කරන බව උගතුන්ගේ මතය යි (අමරවංශ හිමි, 1969:140).
සිරිමෙකවණ අබමහරජහ
සෙල්ලිපියේ සඳහන් තොරතුරු වලට අනුව ලිපියට අදාල කාල පරිච්ෙඡ්දය තුළ පාලකයා වන්නේ කිත්සිරි මෙවන් මහරජ තුමා ය. (ක‍්‍රි.ව. 301-328) මහාවංශයට අනුව තම පියාගෙන් පසු රාජ්‍යත්වයට පත්වන ඔහුගේ රාජ්‍ය කාලය ප‍්‍රධාන වශයෙන් කැප කරන ලද්දේ සංඝමිත්ත භික්‍ෂුවගේ සහ සෝණ අමාත්‍යයාගේ කූට උපදේශ අනුව මහා විහාරයත් ඊට අයත් ආයතනයනුත් විනාශ කළ තම පියාණන් ගේ හෙවත් මහසෙන් රජුගෙන් සාසනයට සිදු වූ ව්‍යසනයන් සමනය කිරීමට බව පෙනී යයි. එසේම සිරි මේඝවණ්ණ රජ තෙමේ තම සම කාලීනයෙකු වූ සමුද්‍රගුප්ත නැමැති ශ්‍රේෂ්ඨ ඉන්දියානු අධිරාජ්‍යයා සමග මිත‍්‍ර සම්බන්ධතා පැවැත් වූ බව සඳහන් වේ. මේ පිළිබඳව සමුද්‍රගුප්ත රජතුමාගේ අලහබාද් ටැම් ලිපියෙහි මෙන්ම වංහුවේන් සුවේ විසින් ලියනලද හිංචෝවන් නැමති චීන ග‍්‍රන්ථයෙහි ද සදහන් වේ. සිරි මේඝවණ්ණ රජුගේ රජ්‍ය සමය ඉතා හොදින් සිහිපත් කරවන සිද්ධිය නම් පසු කාලීන සිංහල රජවරුන්ගේ ඉෂ්ඨ දේවතාවා බවට පැමිණි දන්ත ධාතුන්වහන්සේ මෙහි වැඩම කරවනු ලැබීම ය. මේ රජුගේ නව වැනි රාජ්‍ය වර්ෂයේ දී කාලිංග රජුගේ දූ කුමරිය බැමිණි වෙසින් දන්තධාතුව මෙහි වැඩම වූ බවත් එය එබඳු පූජනීය වස්තුවලට සුදුසු ගෞරවයෙන් යුක්තව පිළිගන්නා ලද බවත් සඳහන් වේ (ජයවර්ධන 1964:279).
අමෙති පහෙජ සිවය හ පුත දෙවයහ
මෙහි සිවගේ පුත‍්‍ර දේව නැමැත්තෙකු ගැන කියැවෙයි. ඇත්ත වශයෙන්ම මෙම සෙල්ලිපියේ කතුවරයා වන්නේ දේව නැමැත්තා ය. ඔහු විසින් කරන ලද පරිත්‍යාග සම්බන්ද තොරතුරු මෙම ලිපියේ සඳහන් ය. ඉහත සදහනට අනුව පැහැදිලි ලෙස පෙනෙන්නේ සිවගේ පුත‍්‍රයා දේව වන බවයි. මෙම සිව නැමැත්තා අමාත්‍යය මණ්ඩලයට අයත් අයෙකු බව ‘අමෙති පහෙජ’ යන යෙදුමෙන් පැහැදි වේ. පරණවිතාන සඳහන් කරන පරිදි පහෙජ යන වචනය සංස්කෘත ‘පර්ෂද’ හා පාලි ‘පාරිසජ්ජ’ යන වචනයෙන් සිංහලයට පහෙජ යනුවෙන් එන්නට ඇති බව ය (Paranavitana 1933:182).
ආර්ථික තොරතුරු
මෙම ශිලාලේඛනයෙන් ක‍්‍රිස්තු වර්ෂ සිව්වන සියවස වනවිට ලංකාවේ ක‍්‍රීයාත්මක වෙමින් පැවැති ආර්ථීක කටයුතු පිළිබද තොරතුරු විශාල ප‍්‍රමාණයක් අනාවරණය කරගැනීමේ හැකියාව පවතී. තත්කාලීන සමාජයේ ප‍්‍රධාන ආර්ථික ක‍්‍රම දෙකක් ක‍්‍රීයාත්මකව තිබූ බව පෙනීය යි. එ් 1. කෘෂි ආර්ථිකය හා 2. වෙළද ආර්ථිකය වශෙයනි.
1. කෘෂි ආර්ථිකය
ක‍්‍රීස්තු වර්ෂ සිව්වන සියවස වන විට වංශකථා සාධක වලට අනුව මෙන්ම සෙල්ලිපි සාධක වලට අනුව ද ලංකාවේ දියුණු කෘෂි කාර්මික ජීවන රටාවක් පැවැති බව පෙනීය යි. එහෙත් කෘෂි කර්මාන්තය පිළිබඳ ව වංශකථාවල සඳහන් නොවන අතුරු තොරතුරු විශාල ප‍්‍රමාණයක් මෙම ලිපියෙන් අනාවරණය කරගත හැකි වේ. විශේෂයෙන් වාපි ජල කර්මාන්ත රටාවක් ක‍්‍රීයාත්මක වූ රජරට කලාපයේ කන්න තුනක් වගාකළ බව මෙම ලිපියෙන් පැහැදිළිව වේ. පරණවිතාන මහතා හඳුන්වා දෙන පරිදි පිටදඩහස, අකලහස හා මදෙහස යනුවෙන් සෙල්ලිපියේ සඳහන් වන්නේ මහ කන්නය, යලකන්නය හා මැද කන්නය පිළිබඳව යි. මේ අනුව වැව් ජලයෙන් වසරකට කුඹුරු අස්වැන්න තුන්වරක් ගත් බව පැහැදිළි වේ (Paranavitana 1933:185). මෙයින් පැහැදිළි වන්නේ මෙම සෙල්ලිපිය පිහිටුවන සමය වන විට උතුරු නැගෙනහිර පලාතේ සංවිධානාත්මක වැව් පද්ධතියක් මෙන් ම එ් වායෙන් ජලය බෙදා හරින වාරි පද්ධතියක් ද ක‍්‍රමානුකූලව ක‍්‍රියාත්මකව පැවති බවයි. විශේෂයෙන් ම මෙහි දී තම පියා වන මහසෙන් රජතුමාගේ වාරි තාක්‍ෂණික ක‍්‍රියාවළියේ සාර්ථකත්ත්වය සමග එහි ප‍්‍රතිඵල මෙම යුගයේ දී කෘෂි ආර්ථිකය මැනවින් පවත්වා ගැනීමට හේතුවන්නට ඇතිබව නිගමනය කළ හැකි ය. මහසෙන් රජු විසින් කළ වැව් හා ඇළ මාර්ග පිළිබද දීර්ඝ විස්තරයක් මහාවංශයේ සදහන් වේ (මහාවංශය 1967:36.47-50). පසු කාලීන ජන සමාජය තුළ මහසෙන් ‘මින්නේරි දෙවියන්’ වශයෙන් හැඳින්වීමට පුරුදුව ඇත්තේ ද සුභික්‍ෂය සඳහා කළ කාර්යයන් නිසා විය යුතු ය.
මීට අමතරව මෙම සෙල්ලිපියෙ හි දී කිරි සහ බුන තෙල් හෙවත් දුන් තෙල් පිළිබඳව සඳහන්ව තිබීමෙන් පැහැදිළි වන්නේ මී ගව සම්පත තත්කාලීන සමාජයේ පැවති බවයි. කුඹුරු අස්වැද්දී මේ හා නෙලීමේ කටයුතුවල දී මී ගවයන්ගෙන් විශාල උපකාරයක් ලැබෙන්නට ඇත. වර්තමානයේ ද ග‍්‍රාමීය ප‍්‍රදේශවල මී ගවයන්ගෙන් කෘෂි කර්මාන්තයට ලැබෙන පිටුබලය අතිමහත්ය. ඊට අමතරව ගවයන් වී ආදී ධාන්‍ය වර්ග ප‍්‍රවාහනය කිරීම සදහා ද යොදා ගන්නට ඇති බව සිතිය හැකි ය. ඒ අනුව ඉහත දැක් වූ වී ගොවිතැන ඍජු ලෙස ම මඩ ගොවිතැනට අයත් වන අතර හේන් ගොවිතැන හා ගෙවතු වගාව පිළිබඳ ව ද මෙම ලිපියෙන් වැදගත් තොරතුරු අනාවරණය වේ. හේන් ගොවිතැන සම්බන්දයෙන් අවධානය යොමු කිරීමේ දී ප‍්‍රධාන භෝග වශයෙන් උදු, මුං, තල ආදී ධාන්‍ය වර්ග වගාකොට ඇති අතර සම කාලීන සමාජයේ ගෙවතු වගාවන් ලෙස බුලත්, කහ, පළා වර්ග ආදී භෝග වගාවන් වගා කොට ඇති බව ද සනාථ වේ.
මෙ අනුව ලිපියෙහි සදහන් කෘෂි ආර්ථිකය හා සම්බන්ද තොරතුරු වලට අනුව එකල ලක්දිව සිව්වන සියවසේ රජරට පසෙහි සාරවත් බව, වර්ෂාපතනය, ජල සම්පාදන ක‍්‍රම සහ පැරණි සිංහල ගොවීන්ගේ ක‍්‍රියා කෞශල්‍යය පිළිබඳ ව අභේද්‍ය වාර්තාවක් වශයෙන් ද ගිනිය හැකි ය.
වෙළෙඳ ආර්ථිකය
සම කාලීන වෙනත් සෙල්ලිපි මගින් නොල ද හැකි ප‍්‍රමාණයේ වෙළෙඳ ආර්ථිකය සම්බන්ද තොරතුරු ප‍්‍රමාණයක් මෙම ලිපියෙන් අනාවරණය කර ගත හැකි වේ. මෙහි කියැවෙන කළහුමනක නියමතන යන ආයතනය ඉතාම වැදගත් ය. පරණවිතාන මහතා සඳහන් කරන්නේ පාලි භාෂාවේ නිගම යන්නෙන් සිංහලයට “නියම” යන පදය බිඳී ඇති බවත් ඉන් වෙළද ගම යන්න අර්ථවත් වන අතර තන යන පදය සංස්කෘත “ස්ථන” යන්නෙන් බිදගත් “ආස්ථාන” හෙවත් සභාව යන්න අර්ථ දක්වන බවයි. ඒ අනුව වෙළඳ ගම්සභාව යන්න මීට දිය හැකි සුදුසු ම වචනය බව වැඩිදුරටත් කියා සිටී (Paranavitana 1933:181). පරණවිතාන හඳුනාගන්නා මෙම වෙළඳ ගම්සභාව වර්තමාන බැංකුවක් මෙන් ක‍්‍රියා කරණ ලද්දක් බව පෙනීය යි. සෙල්ලිපියෙහි කියැවෙන මෙම ආයතනයෙ නම කළහුමනක නම් වේ. කළහුමනක යන්න ග‍්‍රාමනාමයක් සමග බැදුන එකක් හෝ “කාලසුමන” යන නාමය සමග බැදුන එකක් විය හැකි ය. අතීතයේ තිබූ මෙ බදු ආයතන කිහිපයක්ම පිළිබඳව පෙරුමියන්කුලම, ලබු ඇට බැදිගම, බඳගිරිය ආදී සෙල්ලිපි වලින් පැහැදිළි වේ. පෙරුමියන්කුලම ලිපියට අනුව “තිරගම”හා “අමර”යන බැංකු දෙකක් පිලිබඳ ව කරුනු කියැ වේ (අමරවංශ හිමි 1969:118). මීට අමතරව ලබු ඇට බැදිගම සෙල්ලිපියේ නගරයේ නැගෙනහිර දිසාවෙහි තිබූ “මහකබක” නම් වෙළඳ මධ්‍යස්ථානයක් හෙවත් බැංකුවක් ගැන කිය වේ. එම බැංකුවේ කහවනු සියයක් තැන්පත් කොට එහි පොළියෙන් අරියවංශ වෘත්තිය පැවැත්වීමට කටයුතු කළ බව සදහන් ය (විමලකිත්ති හිමි 1957;1961).
තෝනිගල සෙල්ලිපියට අනුව එහි සදහන් වන වෙළඳ සභාවේ නැතහොත් බැංකුවෙහි ප‍්‍රාග් ධනය ලෙස තැන්පත් කොට ඇත්තේ වී, උදු සහ මුං යන ධාන්‍ය වර්ගයන් ය. එහි දී වී අමුණු පනහක් ද උදු අමුණු හයක් ද මුං අමුණු දහයක් ද වශයෙනි. මෙම තැන්පතු ධාන්‍ය වලින් කැමති ප‍්‍රමාණයක් ඕනෑම අයෙකුට පරිහරණය සඳහා ලබා ගැනීමට හැකියාවක් තිබූ අතර ඔවුන් විසින් ආයතනයට සම්මත පොළිය ධන්‍ය වලින්ම ගෙවීමට නියමව තිබුණි. සෙල්ලිපියේ කියවෙන අන්දමට වී වලින් යල, මහ සහ මැද යන කන්න තුන සදහාම ස්ථීර තැන්පතුවෙන් ලැබෙන පොළිය අමුණු විසි පහක් බව පචවිසි අමණක වී ඉච යනුවෙන් සඳහන් කර තිබීමෙන් පෙනේ. මෙ අනුව වී ගොවිතැන සඳහා තැන්පත් කළ ප‍්‍රාග්ධනය වූ අමුණු පනහට පොළිය වශයෙන් අමුණු විසි පහක් ලැබෙන්නේ නම් වාර්ෂික පොළිය 50%කි. ගොඩ ගොවිතැනට අදාල උදු, මුං ආදිය තැන්පත් කිරීමේ දී ලැබෙන වාර්ෂික පොළී අනුපාතය වන්නේ 25%කි. එනම් තැන්පත් කළ ධාන්‍ය වලින් 1/4කි. මේ අනුව තත්කාලීන ආර්ථික කටයුතු වල දී හුවමාරු මාධ්‍යය වශයෙන් මුදල් පමනක් භාවිත නොවූ බවට මෙය කදිම නිදසුනකි. මන්දයත් පොළී ප‍්‍රමාණයන් ගෙවා ඇත්තේ තැන්පත් කළ ධාන්‍ය වර්ග වලින්වීමයි.
ඊට අමතරව මෙම බැංකුවේ ගනු දෙනුවල දී ක‍්‍රියාත්මක වූ කිරුම්මිණුම් ක‍්‍රම කිහිපයක් ගැන ද තෝනිගල ලිපියෙහි කියැවේ. ඒවා හකඩ, අමණක, පෙකඩ ආදී වශයෙන් සඳහන්ය. මෙහි දී හකඩ යන්නෙන් දක්වන්නේ කරත්තය යි. කරත්තයක් යනු අමුණු විස්සක වී ප‍්‍රමාණය කි. නැතහොත් පෑලකින් 1/4 කි.
පෙකඩ 4 | අමුණු 1 යි |
පෑල | |
අමුණු 20 | හකඩ 1 යි |
යාල් |
මේ අනුව තත්කාලීන සමාජයේ ක‍්‍රියාත්මක බැංකු ක‍්‍රම පිළිබඳව මෙන් ම කිරුම්මිණුම් පිළිබඳව ද තෝනිගල ලිපිය හරහා කරුණු පෙන්වා දෙන බව පැහැදිළි ය. ලිපියට අනුව මෙම බැංකුව බංකොලොත් නො වී පවත්වා ගෙන යා යුතු බව ද මෙහි සදහන් අවිය කිණියෙහි (අඩුවීමක් හෝ හීනවීමක්) යන යෙදුමෙන් අවධානය කර තිබීම විශේෂත්වයක් ලෙස ගිනිය හැකි ය. මේ අනුව තෝනිගල සෙල්ලිපිය හරහා පෙන්වාදෙනු ලබන්නේ ක‍්‍රිස්තු වර්ෂ සිව්වන සියවස වනවිට වෙළද ආර්ථිකය හා සම්බන්ද බැංකු පිළිබඳව අවබෝධයක් මෙන්ම සැලසුම් පිළිබඳව ද සමාජය දැනුවත්ව සිටී බව යි.
ආගමික තොරතුරු
තෝනිගල සෙල්ලිපිය තුළ ඇතුලත්ව ඇති කරුනු අතර තත්කාලීන සමාජයේ ආගමික විවරණයක් ඉදිරිපත් කිරීමක් ගැන ද කිය වේ. ලිිපියෙ හි අරමුණ වි ඇත්තේ ද අරියවංශ උත්සවය නොකඩවා දීර්ඝ කාලීනව පවත්වාගෙන යෑම සදහා කටයුතු සම්පාදනය කිරීමයි. එය අරියවස කරන මහබිකු සඟනට නියතකොටු යන යෙදුමෙන් පැහැදිලි වේ. මෙම යුගයේ ක‍්‍රියාත්මක ප‍්‍රධාන ආගමික උත්සවයක් ලෙස ගිනිය හැකි මෙම උත්සවය සිදු කලේ කෙසේ ද යන්න පිළිබඳ ව පැහැදිලි නැත. එහෙත් වංශ කථාවන් හි මෙන් ම අභිලේඛන වල මේ පිළිබඳ ව සඳහන් වි තිබිම නිසාවෙන් පැරණි සමාජය තුළ ක‍්‍රියාත්මක උසස් ආගමික උත්සවයක් බව පෙන්වා දිය හැකි ය. එබදු ආගමික කටයුතු සඳහා මෙබදු පුදපුජා කිරිමට සහ එය මතු අනාගතයෙහි ද පැවැත්වී ම සඳහා සෙල්ලිපි පවා පිහිටුවා තිබීමෙන් එකල ගිහි පැවිදි සමාජයේ ආගමික තත්ත්වයත් එමෙන් ම භක්තියත් මතුවී පෙන්නුම් කරන බව කීම යුක්ති සහගත ය. මඩකලපු දිස්ත‍්‍රික්කයේ නෙලුම්පොකුණින් හමු වු සෙල්ලිපියක ද (Paranavitana 2001:150) එසේම අංගමුවෙන් හමු වු ලිපියක ද (Paranavitana 2001:243) අරිය වංශ පුජාව ගැන කියැවේ.
සාමාජික තොරතුරු
තෝනිගල ශිලා ලිපියෙන් තත්කාලීන සමාජ ජනජීවිතය හා සම්බන්ද තොරතුරු බොහෝමයක් ද අනාවරණය වේ. විශේෂයෙන් පැරණි සමාජයේ වැඩසිටී භික්‍ෂූන් වහන්සේලා පරිභෝජනය කළ ආහාර පාන වර්ග පිළිබඳව තතු තෝනිගල සෙල්ලිපිය සතුව පවතී. මෙහි දී ප‍්‍රධාන ආහාර වශයෙන් සහල්, උදු, මුං ආදී ධාන්‍ය වර්ග මෙන්ම දී කිිරි, මී පැණි, තල, දුන් තෙල්, ලූණු, පළා වර්ග, බුලත් ආදි සෙසු ආහාර වර්ග පිළිබඳව තොරතුරු සඳහන් ය. මේ අනුව සෑම ප‍්‍රදේශයකම පාහේ ගිතෙල්, මී පැණි, කිරි හා පළාවර්ග ආදිය මෙන්ම ඒවායෙන් සකසා ගන්නා ලද ආහාර වර්ග සුලභව පරිභෝජනය වන්නට ඇත. මේ හැර තත්කාලීන සමාජ ජනතාව කාලය මැණිමේ දි විශ්ෂයෙන් මාස ගණනය කිරීමේ දි චන්ද්‍ර මාස ක‍්‍රමය භාවිතා කර ඇති බව අතොවසහි නිකමනිය චද පුණමස දොළස පකදිවස යන යෙදුමෙන් පැහැදිලි වේ.
තත්කාලීන සමාජය කෘෂිකර්මාන්තය මත පදනම් වු දියුනු සමාජ තත්ත්වයක් මෙන්ම පුද්ගල ජන ජීවිතයක් නිර්මාණය වි තිබු බව ද ලිපියෙහි සඳහන් සාධක අනුසාරයෙන් නිගමණය කළ හැකි ය. කෘෂිකර්මාන්තය, වෙළඳ ආර්ථිකය මත පදනම් වු රාමුවක් තුළ තත් කාලීන සමාජයේ භෞතික සම්පත් සාදනය කර ගත්තා සේම අධ්‍යාත්මික වශයෙන් යම්කිසි දියුණුවක් ලබාගෙන ඇති බව ද වක‍්‍රව කරුණු ඉදිරිපත් කොට ඇත. ආර්ථික තත්ත්වය ශක්තිමත් කර ගැනීම හරහා ලෞකික ජීවිතය සාර්ථක කර ගන්තා සේම අධ්‍යාත්මික වශයෙන් ද මෙකල දියුණුවක් ලබා ඇති බව පෙනේ. රටේ පාලකයාගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා සියලූම සමාජ ස්ථරයන් නියෝජනය වන පරිදි ආගමික ක‍්‍රියාවන් හි නිරත වු බවට අරියවංශ දේශනාව කෙරෙහි දක්වා ඇති සැලකිල්ල ප‍්‍රමාණවත් ය. ඒ අනුව තත්කාලීන සමාජ ජන ජීවිතයට අදාල සිරිත්විරිත්, චාරිත‍්‍රවාරිත‍්‍ර, ගතිපැවතුම් ආදිය ආගමික ප‍්‍රබෝධය හරහා සිදුවන්නට ඇති බව පෙනේ.
ආශ‍්‍රීත ග‍්‍රන්ථ නාමාවලිය
- අමරවංශ හිමි, කොත්මලේ (1969), ලක්දිව සෙල්ලිපි, ඇම්. ඩි. ගුණසේන සහ සමාගම, කොළඹ.
- ජයවර්ධන, ඩබ්ලිව්.ඒ. (1964), ‘‘මහසේන රජුට පසුකාලයේ රජවරු’’ ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය, I වන කාන්ඩය, II වන භාගය , නිකලස් ආටිගල ඇතුළු පිරිස, විද්‍යාලංකාර විශ්වවිද්‍යාල මුද්‍රණාලය.
- Paranavitana, S. (1933), Epigraphia Zeylanica, vol. iii Archaeologeal Survey of Ceylon, oxford university, London.
- ධම්මානන්ද හිමි, මකුරුප්පේ (2004), සිංහල ශිලා ලිපි මාලා, සමයවර්ධන පොත්හල, කොළඹ.
- මහාවංශය (1912), බටුවන් තුඩාවේ පඩිතුමා සහ හික්කඩුවේ සුමංගල හිමි, ජාතික කෞතුකාගාර දෙපාර්මේතන්තුව, කොළඹ.
- මුදියන්සේ, නන්දසේන (2000), සිංහල ශිලාලේඛන සංග‍්‍රහය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
- විමලකිත්ති හිමි, මැදඋයන්ගොඩ (1954), ශිලාලේඛන සංග‍්‍රහය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
-------------------------------------------------------------------------------------------------------------- මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2017 සැප්තැම්බර් 15 වැනි දින ප‍්‍රකාශයට පත් විය. --------------------------------------------------------------------------------------------------------------
????
Mawa oba wahanseege emil list ekata athulu karaganna