27 C
Colombo
Tuesday, December 1, 2020

මාතර, රත්මලේ දෙ මහල් අම්බලම

Must read

ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න

පුරාවිද්‍යා දැනුම බෙදා ගන්න උදව් කර වටිනා කෘතියක් දිනා ගන්න. ‘ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ යූ-ටියුබ් චැනලය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා...

මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බො‌තේජු ගෙනි. කථනය හා ගායනය සිතාරා මහලේකම්. ඡායාරූප අනුරාධ...

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.

බැරගම සද්ධානන්ද හිමි

ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම.

පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

හැඳින්වීම

දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේ දික්වැල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රත්මලේ ග‍්‍රාමයේ අංක 450 සී ග‍්‍රාමසේවා වසමෙහි දෙ මහල් රත්මලේ අම්බලම පිහිටා ඇත. කැකණදුර දික්වැල්ල, හුන්නදෙණිය-දංදෙණිය මාර්ග යා කරන සිව්මංසලට ආසන්නව පිහිටි මෙම දෙ මහල් අම්බලම මීට වසර 109කට පෙර රත්මලේ ග‍්‍රාමයේ වාසය කළ සැරයන් මුත්තා හෙවත් ඩී.ඩී. සේතුංග නම්ගැ මි ප‍්‍රභූවරයෙකු විසින් ඉදිකරන ලද්දකි. මෙම අම්බලමට අමතරව ඊට ආසන්නව කැකණදුර-දික්වැල්ල මාර්ගයේ කුඩා අම්බලම් දෙකක් ද පිහිටා තිබේ. ඉන් එක් අම්බලමක් රත්මලේ ප‍්‍රධාන අම්බලමට දකුණු දිසාවෙන් දික්වැල්ල ප‍්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 1ක් පමණ දුරින් පිහිටා ඇත. පරවාහැර නැඟෙනහිර ග‍්‍රාමසේවා වසමෙහි පිහිටි අනෙක් අම්බලම රත්මලේ හංදියේ සිට කිලෝමීටර් 4ක් පමණ දුරින් පිහිටා තිබේ. ඒ අනුව, මෙම අම්බලම් තුනම දික්වැල්ල-කැකණදුර ප‍්‍රධාන මාර්ගයට ආසන්නව සරල රේඛීයව පිහිටා තිබීම විශේෂ වේ. මෙහි දී අපගේ අවධානය යොමු වන්නේ කුඩා අම්බලම් දෙකට මැදිව රත්මලේ සිව්මංසලේ පිහිටි දෙ මහල් අම්බලම පිළබඳව ය. එහි දී වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ, සංස්කෘතික සන්දර්භය පිළිබඳව මෙන්ම වර්තමාන පසුබිම පිළිබඳව අවධානය යොමු කිරීමට අපේක්‍ෂිත ය. මෙම අධ්‍යයනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සඳහා ක්‍ෂේත‍්‍ර අධ්‍යයනයෙන් ලබාගත් දත්ත කලාපීය වාචික භාෂාවට ආවේණික ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම සිදු වේ.

සාකච්ඡාව

ප‍්‍රවාහන පහසුකම් දුර්ලභ වූ පුරාණ කාලයෙහි මඟීන්ට අතරමඟ නැවතී විඩාව සන්හිඳුවා ගැනීම පිනිස මාර්ගාසන්නයෙහි ඉදිකරන ලද ශාලා විශේෂය ‘අම්බලම’ ලෙස හඳුන්වයි. සංස්කෘත ග‍්‍රන්ථවල ශාලා, මඨසභා, උත්තරණ ශාලා යනුවෙන් හැඳින් වූ මෙම ශාලා විශේෂය පැරණි සිංහල ග‍්‍රන්ථයන්හි සාලා, ඉසුඹුහල්, ඇඹුල් හා මාවත්මඬු යනුවෙන් හඳුන්වා ඇත. කල් යාමේ දී ඒවා මඩම් හා අම්බලම් යනුවෙන් ව්‍යවහාර වූ බව පෙනේ (සිංහල විශ්වකෝෂය 1963:686). ශී‍්‍ර සුමඞගල ශබ්දකෝෂයෙ හි මගියන්ට විශ‍්‍රාම ගැනීම සඳහා මාර්ගාසන්නයෙහි කළ ගෙවල් අම්බලම් යනුවෙන් ව්‍යවහාර වූ බව ද දක්වයි (ශී‍්‍ර සුමඞගල ශබ්දකෝෂය 1999).

මගීන්ගේ ප‍්‍රයෝජනය සඳහා ඉදිකළ මෙම ඉදිකිරීම් විශේෂයේ ප‍්‍රභවය පිළිබඳව නිශ්චිත එකඟතාවක් නොවුව ද පෙරදිග රටවල සංචාරක වෙළෙඳුන් නවාතැන්ගත් ඉදිකිරීම් විශේෂයක් ‘ඉන්’ (inn) යනුවෙන් පැවති බව සඳහන් වේ. ඊට අමතරව පැරණි ඉන්දියාවේ ක‍්‍රමවත් සැලසුමකට අනුව ඉදිකරන ලද අම්බලම් පිළිබඳව මූලාශ‍්‍රය කිහිපයක තොරතුරු සඳහන් වීම විශේෂ වේ (සිංහල විශ්වකෝෂය 1963:686).

ශ‍්‍රී ලංකාවේ ඉදිකරන ලද අම්බලම් පිළිබඳව විස්තර ත‍්‍රිපිටකය, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය, එළු අත්තනගලු වංශය ආදී ඓතිහාසික මූලාශ‍්‍රයවල මෙන්ම මයුර, තිසර, ගිරා, සැළලිහිණි ආදී සංදේශ සාහිත්‍යයෙහි ද තොරතුරු අන්තර්ගත වේ (දසනායක 2000:5, විතාන 2004:15-25). ඒ අනුව, අම්බලම් යනුවෙන් ව්‍යවහාර වූ ඉදිකිරීම් විශේෂය අනුරාධපුරය, පොළොන්නරුව ආදී ඓතිහාසික යුගවල සිට විකාශනය වූවක් බව පෙනේ. විශේෂයෙන්ම පොළොන්නරුව අවධියේ දී පළමු වන විජයබාහු රජතුමා මෙන්ම පළමු වන පරාක‍්‍රමබාහු රජතුමා ද සෙසු ඉදිකිරීම්වලට අමතරව ගිමන්හල් හෙවත් අම්බලම් ඉදිකිරීමට දැඩි රුචිකත්වයක් දැක් වූ බව සඳහන් වේ (රත්නායනක,2003:67).

ශ‍්‍රී ලංකාවේ ඉදි කරන ලද මුල් කාලීන අම්බලම් පිළිබඳව ප‍්‍රමාණවත් සාධක නො වූව ද විධිමත් සැලසුමකට අනුව කුරුණෑගල, දඹදෙණිය හා මහනුවර අවධිවල ඉදිකරන ලද නිර්මාණ පිළිබඳ ප‍්‍රමාණවත් සාධක පවතී (එම, 68). සිංහල ජන සමාජය හා අත්‍යන්තයෙන් බැදුණු මෙම ඉදිකිරීම පිළිබඳව පළමුවෙන්ම විශේෂ අවධානය යොමු කොට ඇත්තේ ආචාර්ය ආනන්ද කුමරස්වාමි මහතා විසිනි. ඉන් අනතුරුව ආචාර්ය සී.ආර්. ගොඩකුඹුරරෝහිත දසනායක, ගුණසේන විතාන හා කමල් පත්මකුමාර රත්නායක ආදී පර්යේෂකයන් කිහිප දෙනෙකු පුරාවිද්‍යාත්මක මෙන්ම ඓතිහාසික දෘෂ්ඨියෙන් ශ‍්‍රී ලංකාවේ අම්බලම් පිළිබඳව තොරතුරු වාර්තා කොට ඇත.

වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ

මාතර රත්මලේ පිහිටි දෙ මහල් අම්බලමේ මූලික සැලැස්මට අනුව ප‍්‍රධාන අංග (කුටි) තුනකින් යුක්ත ය. දිවයිනේ සෙසු ස්ථානවල පිහිටා තිබෙන අම්බලම් සමඟ සැසඳීමේ දී මෙම ඉදිකිරීම විශාලත්වයෙන් යුක්ත ඉදිකිරීමකි (ඡායාරූප අංක 1 බලන්න). අම්බලමට ඇතුළුවන ප‍්‍රධාන පිවිසුම ඉදිරිපිට මණ්ඩපයක් (ස්තෝප්පුවක්) පැවති බවට සාධක පවතී. අම්බලමේ නවාතැන් ගන්නා අභ්‍යන්තර ගෘහය විශාලව මහල් ආකෘතියට දක්වා ඇත. එහි පහළ මහලෙහි හිඳ ගැනීමට ප‍්‍රමාණවත් ආසන දක්නට ලැබෙන අතර රාතී‍්‍ර පහන් කිරීමට අම්බලමට පැමිණෙන මගියාගේ අවශ්‍යතාව පිනිස ඉහළ කුටිය සකසා ඇත.

අම්බලමේ ඉදිරි පස මණ්ඩපය (ස්තෝප්පුව) වර්තමානයේ දක්නට නොලැබුණ ද ඉදිරිපස වාඩිවීමට තිබූ පඩි ප‍්‍රධාන දොරටුව දෙ පස දක්නට ලැබේ (සැලසුම අංක 1 බලන්න). මෙම ස්තෝප්පුව ආවරණය වන පරිදි ලී වලින් සකස් කරන ලද වහලයක් තිබූ බවට ද සාධක පවතී. එම වහලය බිම් මට්ටමේ සිට මීටර් 4ක් පමණ උසකින් අම්බලමේ ඉහළ මහලට සම්බන්ධ කොට ඇති අතර ඉදිරි පස පේකඩ සහිත ලී කණු තුනකට වහලය ඉදිරිපසින් සම්බන්ධ වී තිබූ බව ගැමියන් සඳහන් කරයි. මෙම මණ්ඩපයේ දිග මීටර් 4ක් පමණ වන අතර පළල මීටර් 2ක් පමණ වේ. එහි ගෙබිම සැකසීම සඳහා ගල් අතුරා ඇති අතර ගැමියන්ට හිඳ ගැනීමට සකස් කරන ලද පඩිය ගඩොලින් බැඳ හුණු බදාමයෙන් පිරියම් කොට ඇත. එහි දළ වශයෙන් උස සෙන්ටිමීටර් 38කි. පළල සෙන්ටිමීටර් 45ක් පමණ වේ. අම්බලමේ අභ්‍යන්තර පළමු කොටසෙහි ද මගියන්ට වාඩි වීම සඳහා පඩි තිබූ බවට සාධක පවතිී. ඇතුළත බිත්තිවලට සම්බන්ධ එම පඩි දිගින් මීටර් 3ක් පමණ වන අතර පළල සෙන්ටිමීටර් 54 ක් පමණ වේ. ඒ අනුව අභ්‍යන්තර පළමු කොටසෙහි ඉතා පහසුවෙන් විසි දෙනෙකුට පමණ හිඳගෙන ඉතා පහසුවෙන් කථා කළ හැකි පසුබිමක් පැවති බව පැහැදිලි වේ.

සැලසුම අංක 1

අම්බලමේ උඩු මහළට නැඟීම සඳහා ලී වලින් සකස් කරන ලද පඩි පෙලක් (තරප්පු පෙළක්) පැවති බවට සාධක යටි මහලේ වම් පැත්ත කෙලවරෙහි දක්නට ලැබේ. එහි දී තරප්පු පෙළ බිත්තියට සම්බන්ධ කොට පැවත් බව හඳුනාගත හැකි ය. අම්බලමේ ඉහළ මහල සකස් කිරීමේ දී හරස් අතට ලී බාල්ක 7ක් පමණ අතුරා ඊට උඩින් සෙන්ටිමීටර් 4ක් පමණ ඝණ කමින් යුක්ත ලෑලි අතුරා ඇත. වර්තමාන නිවසක දක්නට ලැබෙන ලී සිවිලිමක ආකෘතිය එහි දක්නට ලැබෙන අතර බාහිර අලංකරණය සහ ඉහළ මහළේ සිටින මගීන්ගේ පහසුව එමඟින් අපේක්ෂා කළ බව සඳහන් කළ හැකි ය.

මෙම ගොඩනැඟිල්ලේ ඉදිරිපස හැර සෙසු බැමි ගඩොලින් බැඳ හුණු පිරියම් කොට ඇත. ඉදිරිපස ප‍්‍රධාන කුළුණු දෙක චතුරස‍්‍රාකාර හැඩයකින් යුක්තව ප‍්‍රධාන වහලට සම්බන්ධ කොට ඇති අතර ඒවායේ කුළුණු හිස් සරල ලීස්තර කැටයම්වලින් සරසා ඇත. පහළ මහලේ ඉදිරිපස මීටර් 5ක් පමණ උසකින් යුක්ත කෙටි තාප්පය මත ඉදිකර ඇති කුඩා කුළුණු සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර එහි විශ්කම්භය සෙන්ටිමීටර් 96ක් පමණ වේ. මෙම කුළුණු හිස්වල ද සරල ලීස්තර කැටයම් දක්නට ලැබෙන අතර එම කුළුණු ඉහළ මහළ සැකසීම සඳහා යොදා ඇති බාල්ක හරස් අතට අතුරා තිබීම විශේෂ වේ (ඡායාරූප අංක 2 හා සැලසුම අංක 2 බලන්න).

සැලසුම අංක 2 බලන්න

ඡායාරූප අංක 2

නුවර යුගය නියෝජනය කරන අම්බලම්වල ලැබෙන සම්ප‍්‍රදායික කැටයම් රත්මලේ දෙ මහල් අමබලමෙහි දක්නට නො ලැබෙන බව කිව යුතු ය. එහි ඉදිරිපස කුළුණුවල දක්නට ලැබෙන කැටයම්වල ද සරල හා චාම් බවක් දක්නට ලැබේ. ඇතැම් විට අම්බලමේ ඉදිරිපස කොටසෙහි තිබූ ලී කණුවල පේකඩ සහිත කැටයම් දක්නට තිබුණ ද වර්තමානයේ ඒවා දක්නට නොලැබෙන නිසා ඒ පිළිබඳව පැහැදිලි කරුණු අනාවරණය නොවේ. මහනුවර යුගයේ ඉදිකරන ලද බොහෝමයක් අම්බලම්වල කුළුණු ශීර්ෂයෙහි විචිත‍්‍රවත් කැටයම් සහිත පේකඩ දක්නට ලැබුණ ද මෙහි එම ලක්ෂණය දක්නට නොලැබෙන බවද කිව යුතු ය. ඊට ප‍්‍රධාන හේතුව වන්නට ඇත්තේ ඉදිරිපස අලංකරණය සඳහා ලී කණු වෙනුවට ගඩොළින් කරන ලද සිලින්ඩරාකාර කුළුණු යොදා ගැනීමත් ඉදිකිරීම සම්පූර්ණයෙන්ම ගඩොළු නිර්මාණය කර තිබීම නිසා විය හැකි ය.

අම්බලමේ වහලය සැකසීම සඳහා එම ප‍්‍රදේශයට ආවේනික කොස් පරාල බහුල වශයෙන් යොදාගෙන තිබේ. එහි හරස් අතට පියසි 4කින් යුක්ත වහලක් එහි දක්නට ලැබේ. පියසි හතරෙහි පරාල ඉහළ කෙලවරින් එක්කොට බිත්තියට සම්බන්ධ ලී බාල්ක උඩ සරල මඩොල් කුරුපාවට සම්බන්ධ කොට ඇත (ඡායාරූප අංක 3 බලන්න). වහලය සෙවිලි කිරීම සඳහා පෙති උළු යොදා ඇති අතර පියසි සම්බන්ධ වන ස්ථාන ආවරණය කිරීම සඳහා ප‍්‍රමාණයෙන් විශාල වහල් උළු ද යොදා ඇත.

ඡායාරූප අංක 3

සාම්ප‍්‍රදායික අම්බලම් ආශි‍්‍රතව දැකගත හැකි පැන් තාලිය හෙවත් පිං තාලිය මෙහි දක්නට ලැබේ. අම්බලමට පැමිණෙන මඟියන්ගේ පිපාසය නිවීම අරමුණින් ස්ථාපිත පැන් තාලිය රත්මලේ අම්බලමේ ඉදිරිපස දකුණු කෙලවර තිබූ බවට ගැමියන් සඳහන් කරයි. වර්තමානයේ ඒ හා සම්බන්ධ සාධක කිසිවක් දක්නට නොලැබුණ ද මීටර් 1ක් පමණ උසකින් යුක්ත පැන්තාලියක් ගඩොළින් සකස් කරන ලද වේදිකාව මත ආවරණයක් සහිතව තිබූ බව කියැ වේ.

රත්මලේ අම්බලම හා බැඳුණු සංස්කෘතික සන්දර්භ

ශ‍්‍රී ලංකාවේ දැනට ඉතිරි වී ඇති විශාලතම දෙ මහල් අම්බලම ලෙස සැලකෙන රත්මලේ අම්බලම පිහිටා තිබෙන ග‍්‍රාමයේ නාමය පිළිබඳව ප‍්‍රසිද්ධ ජනප‍්‍රවාද කිහිපයක් පවතී. ද්‍රවිඩයන්ට එරෙහිව සටනක් කළ දුටුගැමුණු කුමාරයා සේනාව රැස් කොට මෙම ප‍්‍රදේශය හරහා මාගමට යාමේ දී ඔහු හා බැඳුණු සිද්ධි කිහිපයක් මඟින් ප‍්‍රදේශ කිහිපයකට ග‍්‍රාම නාම ලැබුණු බව ජනප‍්‍රවාදයේ කිය වේ. එහි දී දුටුගැමුණු කුමාරයාට ආහාර ලබා දුන් මහළු කාන්තාවක් නිසාවෙන් අප රැක දුන් අර්ථයෙන් අපරැක්ක ග‍්‍රාම නාමය ව්‍යවහාර වූ බවත් දුටුගැමුණු කුමාරයා පානය කිරීම සඳහා මහළු කාන්තාවකගෙන් ජලය ඉල්ලා සිටි අවස්ථාවක කිරි නැලියක් ලබා දීම නිසා කිරිනැලිය ග‍්‍රාමයට නම් ලැබුණු බව කලාපීය ගැමියන් අදට ද විශ්වාස කරති. ඊට අමතරව මෙම ප‍්‍රදේශයේ මලියදේව මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා විශාල ප‍්‍රමාණයක් වැඩ සිටි ප‍්‍රදේශයක් ලෙස ද හඳුන්වයි. රත්මලේ අම්බලමට කිලෝමීටර් 1ක් පමණ දුරින් පිහිටි ඓතිහාසික කුරුබුරේ විහාරයට ආසන්න ගල්පොත්ත නම් ස්ථානයේ දුටුගැමුණු කුමාරයා ස්නානය කළ බවත් එම ස්ථානයට ආසන්නව වැඩ සිටි රහතන් වහන්සේලා දැක නමස්කාර කොට රහත්මලේ යනුවෙන් ප‍්‍රකාශ කළ හෙයින් පසු කාලීනව රත්මලේ යනුවෙන් ව්‍යවහාර වූ බව කියැ වේ (සම්මුඛ සාකච්ඡාව, එස්.එන්.පී. රංජිත් මහතා සමඟ 2017.9.23).

අදින් වසර 109කට පමණ පෙර D.D. Setunga හෙවත් සැරයන් මුත්තා යන ආදරණීය නාමයෙන් හඳුන්වන ගැමියකුගේ මූලකත්වයෙන් ඉදිකරන ලද රත්මලේ දෙ මහල් අම්බලම ඉපැරණි සිංහල සමාජවල පැවති සාමූහික සබැඳියාව මත ඉදිකරන ලද්දකි. මෙම ඉදිකිරීම සඳහා තත්කාලීන සමාජයේ රත්මලේ ග‍්‍රාමයේ ප‍්‍රභූ පවුලක් ලෙස ජීවත් වූ සේතුංග පරපුර ඒ සඳහා සෘජු දායකත්වය සැපයූ බව නොරහසකි. සේතුංග පරපුරේ සිව් වන පරම්පරාව නියෝජනය කරන දොන් ගුණදාස සේතුංග මහතාට තම ආදිතමයන් පිළිබඳව ඇත්තේ මහත් අභිමානයකි. ඔහු සඳහන් කරන ආකාරයට සේතුංග පරපුරේ ආදිතමයා සැලකෙන දොන් දියෝනිස් සේතුංග තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ගම්වාසීන්ගේ සහයෝගය සහිතව මෙම අම්බලම ඉදිකොට ඇත. දොන් දියෝනිස් සේතුංග ප‍්‍රභූවරයාගෙන් පැවත එන මෙම පරපුර පිළිවෙළින් දොන් සැරයන් සේතුංග, දොන් හෙන්ද්‍රික් සේතුංග, දොන් ගුණදාස සේතුංග හා දොන් දිල්රුක්ෂි නයනා සේතුංග ආදී පරම්පරා හතරක පමණ ඉතිහාසයකට උරුමකම් කියයි (සම්මුඛ සාකච්ඡාව, ගුණදාස සේතුංග මහතා සමඟ, 2017.09.23).

මීට දශක තුනකට පමණ පෙර එනම් 80 දශකය දක්වා රත්මලේ අම්බලමේ භාවිතමය අගය ද විවිධත්වයක් ගනී. මාතර කැකනදුර හා දික්වැල්ල මාර්ගයට ආසන්නව රත්මලේ සිව් මංසලේ ඉදි වූ මෙම අම්බලමේ ප‍්‍රභවය සඳහා ඊට ආසන්න මීටර් 100ක් පමණ දුරින් පිහිටි ඉපැරණි රත්මලේ වෙළෙඳපොළ හේතු වූ බව සඳහන් වේ. තත්කාලීන සමාජයේ මාතර දිසාවේ පැවති විශාලතම පොළ ලෙස පිළගැනෙන රත්මලේ පොළට ගන්දර, කෝට්ටගොඩ, දෙවුන්දර, අපරැක්ක, දික්වැල්ල, රදම්පල ආදී ප‍්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණ ඇත. තම ඉඩම්වලින් ලබාගත් කොස්, දෙල්, පුවක්, ආදී ද්‍රව්‍යය මෙන්ම කෝපි, කුරුඳු, කරාබු නැටි ආදී කුළු බඩු වර්ග විකිණීමට හා මිලට ගැනීමට බොහෝ දෙනෙක් රත්මලේ පොළට පැමිණ ඇත. ඊට අමතරව මාළු, කරවල, මී කිරි, එළ කිරි හා කිතුල් පැණි ලබා ගැනීම සඳහා ද දුර පළාත්වලින් මෙම ස්ථානයට වෙළෙඳුන් පැමිණ තිබේ. දුර පළාත්වලින් බඩු මිල දී ගැනීමට මෙන්ම විකිණීමට වෙළෙඳුන් බොහෝ දෙනෙකු පැමිණ ඇත්තේ බර කරත්ත හා පොඩි කරත්තවල බඩු පුරවාගෙන ය. එම වාණිිජ ප‍්‍රජාවගේ ප‍්‍රයෝජනය උදෙසා රත්මලේ පොළට ආසන්නව දෙ මහල් අම්බලම ඉදි වූ බව කියැ වේ (සම්මුඛ සාකච්ඡාව, එම).

පසු දින උදේ වරුවේ පැවැත්වෙන පොළට රාත‍්‍රී කාලයේ සිටම වෙළෙඳුන් විවිධ පළාත්වලින් රත්මලේ හංදියට පැමිණි බව සියැසින් දුටු ගැමියන් වර්තමානයේ ද ජීවත් වෙති. ඔවුන් සඳහන් කරන ආකාරයට රත්මලේ පොළට පැමිණෙන වෙළෙඳුන් දින දෙකක් පමණ දෙ මහල් අම්බලමේ ලැගුම් ගනිති. පොළ පැවැත්වෙන පෙර දින රාත‍්‍රියේ පැමිණ වෙළෙඳාම සඳහා සූදානම් වන අතර එම කටයුතු අවසන් වී එදින රාත‍්‍රි කාලයේ විඩාව නිවා ගැනීම සඳහා අම්බලමේ ගත කොට පසු දින තම ගම් රට බලා පිටත්වන බව කියැ වේ (සම්මුඛ සාකච්ඡා, එම). ඇතැම් විට තමන්ගේ වෙහෙස මෙන්ම ගැල් සමඟ පැමිණි ගවයන්ගේ වෙහෙස නිවාලීම අරමුණින් වෙළෙඳුන් අම්බලමේ රාත‍්‍රී ගත කරන්නට ඇති බව සිතිය හැකි ය. විවිධ පළාත්වලින් පැමිණෙන ඔවුන් රාත‍්‍රී කාලයේ අම්බලමේ වෘතාන්තය ඉතා රසවත් බව ගැමියන් සඳහන් කරයි. විවිධ පළාත්වලට ආවේණික ජන කතා, රස කතා මෙන්ම උපමා කතා බොහෝමයක් ඒ ආශ‍්‍රිතව අසන්නට ලැබේ. දිවා කාලයේ වෙහෙස වී වෙළෙඳාමේ පැමිණි ගැමියන් අම්බලමෙහි උඩු මහළෙහි ලන්තෑරුමක් දල්වාගෙන සහෘද හැඟීමෙන් වෙළෙඳාම් කටයුතු පිළිබඳව මෙන්ම දෛනික ජනජීවිතය පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇත.

වෙළෙඳාමට අමතරව පත්තර කවි කොළ කියැවීම, නයි නැටවීම, නාට්‍ය පෙන්වීම හා සර්කස් ආදී සන්දර්ශන තම ජීවිකාව කරගත් පිරිස් අම්බලමේ රාතී‍්‍ර කාලයේ ගත කරන දිනවල මධ්‍යම රාත‍්‍රී වන තෙක්ම විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කළ බව කියැ වේ.

පැරණි ජන සමාජයේ පැවති සැහැල්ලු බව, හැදියාව හා එකමුතුකම ප‍්‍රදර්ශනය කරන අම්බලම සංස්කෘතිය හා බැඳුණු වැදගත්ම අංගය වන්නේ ජාති බේද, ආගමික හා කුල බේදවලින් හා දුප්පත් පොහොසත් බේදයකින් තොරව සාමූහිකව කටයුතු කිරීමයි. රත්මලේ ගැමියන් සඳහන් කරන ආකාරයට අම්බලමේ රාත‍්‍රී ගත කරන සියලු දෙනා කිසිඳු භේදයකින් තොරව රාත‍්‍රී ආහාර පිස සාමූහිකව අනුභව කළ බව කියැ වේ.

රත්මලේ පොළට පැමිණි වෙළෙඳුනට අමතරව දික්වැල්ල – කැකනදුර හරහා මාතර උසාවියට ගමන් කරන බොහෝ දෙනෙක් ගිමන් නිවා ගැනීම සඳහා රත්මලේ අම්බලම යොදාගෙන ඇත. ඊට අමතරව, මාතර නගර දක්වා කරත්තවල පොල්අතු පටවාගෙන වෙළෙඳාමෙහි යන වෙළෙඳුන් තම නැවතුම් පොළ ලෙස යොදාගෙන ඇත්තේ රත්මලේ අම්බලමයි. එසේම මාතර දිසාවේ සිට කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන් බොහෝ දෙනෙකු රත්මලේ අම්බලමේ නතර වී රාත‍්‍රී ගත කොට යාමට වැඩි රුචිකත්වයක් දක්වන බව කියැ වේ. ඇතැම් විට කතරගම වන්දනාව සඳහා කොළොම්තොටින් ගැල්වලින් හා පා ගමනින් බෙන්තොට හරහා මාතරට පැමිණෙන වන්දනාකරුවන් කැකනදුර හරහා රත්මලේ අම්බලමට පැමිණ රැයක් නතර වී පසුදින දික්වැල්ල, අම්බලම්තොට, හම්බන්තොට පැරණි මාර්ගය ඔස්සේ කතරගම බලා පිටත්වන්නට ඇති බව උපකල්පනය කළ හැකි ය.

ඒ අනුව බොහෝ විට කොළොම්තොටින් කතරගම වන්දනාව සඳහා පැමිණෙන මඟියන් ඒ සඳහා භාවිත කළ පහසුම ගමන් මාර්ගයට යාව රත්මලේ අම්බලම පිහිටි බව පෙනේ. එසේ නොවන්නට කඹුරුපිටිය, අකුරැස්ස මෙන්ම ගාලු දිශාවේ සිට කතරගම වන්දනාවේ පැමිණි ගැමියන් බොහෝ දෙනෙකු තම ගමන් මාර්ගයේ නැවතුම්පොළක් ලෙස රත්මලේ අම්බලම භාවිත කළ බව සඳහන් කළ හැකි ය. ඒ අනුව, අපට පැහැදිලි වන්නේ රත්මලේ අම්බලම නිදා ගැනීමට මෙන්ම ගිිමන් හැරීම සඳහා ද යොදා ගෙන ඇති බවයි.

තම විඩාව නිවාගැනීම සඳහා අම්බලම භාවිත කරන මඟියන්ගේ පිපාසය නිවා ගැනීම සඳහා අම්බලමේ ඉදිරිපස පිං තාලියක් තිබූ අතර එයට අවශ්‍ය ජලය පිරවීම සහ පිරිසිඳු කිරීම ගම්වාසීන්ගේ මූලිකත්වයෙන් සිදු වේ. ඊට අමතරව, අම්බලමට පැමිණෙන මඟියන්ගේ පිපාසය නිවා ගැනීම සඳහා ඒ සඳහාම වෙන් වූ පිං වත්තක් (පොල් ගස් සහිත ඉඩමක්) වෙන්කර තිබීම ද විශේෂ වේ. අම්බලමට ආසන්න පොල් ඉඩමක එක් කොටසක් ඒ සඳහා වෙන්කර ඇති අතර එම සීමාවෙන් තම පිපාසය නැතිකර ගැනීමට ප‍්‍රමාණවත් කුරුම්බා (ප‍්‍රාදේශීය ව්‍යවහාරය – වෑවර) කඩාගත හැකි බව සඳහන් වේ.

බාහිර ප‍්‍රදේශවල සිට පැමිණෙන මඟියන්ට අමතරව රත්මලේ ග‍්‍රාමයේ වාසය කරන ගැමියන්ගේ පොදු අවශ්‍යතා ද අම්බලම ආශ‍්‍රිතව සිදු කොට ඇත. එහි දී වාර්ෂික ධර්ම දේශනා, ගම්පිරිත් ආදිය සිදු කර ඇත්තේ අම්බලම ආශි‍්‍රතව ය. ඊට අමතරව ග‍්‍රාමීය ජනතාව සම්බන්ධ රැස්වීම් හා පොදු කටයුතු බොහෝමයක් අම්බලම ආශ‍්‍රිතව සිදු කොට ඇත. වර්තමානයේ වුව ද රත්මලේ ග‍්‍රාමය ආශි‍්‍රතව සිදු කෙරෙන ගම්පිරිත්, ධර්ම දේශනා අම්බලම ආශ‍්‍රිතව සිදු කෙරෙති. විශේෂයෙන්ම මෙහි දී පොසොන් පොහොය නිමිති කරගෙන වැඩිහිටි සමිතිය හා තරුණයන් ඒකරාශී වී සිදු කරන වාර්ශික දන්සල විශේෂ වේ (සම්මුඛ සාකච්ඡා, එම).

වර්තමාන පසුබිම

රත්මලේ ග‍්‍රාමීය ජනතාවගේ ජනාවාසයේ ඉල්ලීම මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට යොමු වූ විශේෂ මෙම ඉදිකිරීම 2003 වර්ෂයේ දී පමණ සංරක්ෂණය කොට තහවුරු කරන ලද පුරාවිද්‍යාත්මක ස්මාරකයකි. මෙම ඉදිකිරීමේ මූලික සැලසුමට අනුව මහල් දෙකකින් හා එහි පහළ මහළට සම්බන්ධ කොට මණ්ඩපයක් හෙවත් පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ දක්නට ලැබෙන ස්තෝප්පුවකින් සමන්විත වුව ද වර්තමානයේ එහි ඉදිරි කොටස දක්නට නොලැබේ. මීට වසර කිහිපයකට පෙර ඉදිරිපස බස් රථයක් ගැටීම නිසා ඒ හා සම්බන්ධ සාධක සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

වර්තමානයේ මෙම ඉදිකිරීමට ආසන්නව නව බුදු මැදුරක් හා බෝධියක් රෝපණය කොට ඇත. එම හේතුව නිසා මෙම ස්මාරකයේ ඓතිහාසික අගයට හා බාහිර ස්වරූපයට විශාල හානියක් සිදු වී ඇති බව පෙනේ. තවද අම්බලම ආසන්න රෝපණය කර ඇති බෝධිය නිසාවෙන් එහි ශාඛමය බලපෑම පසු කාලීනව සෘජුව මෙම ස්මාරකයට එල්ල වීමේ ප‍්‍රවණතාව වැඩි ය. එපමණක් ද නොව රත්මලේ ග‍්‍රාමයේ වාර්ෂිකව සිදු කෙරෙන දන්සල් ආදී පොදු කටයුතු සඳහා මෙම ඉදිකිරීම යොදා ගත්ත ද සෙසු අවස්ථාවල ඒ පිළිබඳව කිසිවකුගේ අවධානය අවධානය යොමු නොවේ. වර්තමානයේ මානසික රෝගයකින් පෙලී සිටින පුද්ගලයකු අම්බලමේ නවාතැන් ගන්නා අයුරු දක්නට ලැබේ. ඒ හේතුව නිසාම කිසිදු නඩත්තු කටයුත්තක් සිදු නොවන බැවින් අම්බලමේ අභ්‍යන්තර පරිශ‍්‍රය විනාශ වී ඇති බව ද කිව යුතු ය (ඡායාරූප අංක 4 බලන්න).

ඡායාරූප අංක 4

ඉපැරණි රෝහණ ශිෂ්ටාචාරයේ ඓතිහාසික පසුබිම හා බැඳුණු විශේෂ මෙම නිර්මාණය භාවිතය යටතේ ඉදිරියට පවත්වාගෙන යාම අතිශයින්ම වැදගත් ය. එහි පූර්ණ වගකීම ඒ ආශි‍්‍රතව ජීවත් වන රත්මලේ ජනතාවට පැවරේ. ඊට අමතරව කලාපීය පාසල් හා උසස් අධ්‍යාපන ආයතනවල දරුවන්ගේ දැනුම පෝෂණය කිරීම සඳහා මෙන්ම සංචාරකයන් පැමිණෙන නැරඹුම් ස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන්නේ නම් ජීවමාන උරුමයක් පහසුවෙන් ඉදිරියට පවත්වාගෙන යා හැකි බව කිව යුතු ය.

සාරාංශය

දුරාතීතයේ සිට ශ‍්‍රී ලාංකේය සමාජය පොදු අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ගොඩනඟන ලද ඉදිකිරීම් අතර අම්බලමට හිමි වන්නේ විශේෂ ස්ථානය කි. ශ‍්‍රී ලාංකේය අම්බලමේ ප‍්‍රභවය පිළිබඳ නිරවුල් බවක් දක්නට නොලැබුණ ද මෙම ඉදිකිරීම පිළිබඳ ඓතිහාසික සාධක දිවයිනේ නොයෙක් ප‍්‍රදේශවලින් තොරතුරු වාර්තා වේ. විශේෂත්වය වන්නේ රත්මලේ දෙ මහල් අම්බලම මඟියන්ගේ දිවා කාලයේ වෙහෙස නිවන නැවතුම්පොළක් වශයෙන් මෙන්ම රාත‍්‍රී කාලයේ නවාතැන් ගත හැකි අංග සම්පූර්ණ ගෘහයක් ආකාරයට සකසා තිබීමයි. වාණිජ ප‍්‍රජාව, වන්දනාකරුවන්, විවිධ වෘත්තීවේදීන් ඇතුළු සමාන්‍ය ජනතාව තම දෛනික අවශ්‍යතා සඳහා රත්මලේ අම්බලම යොදාගත් බව පෙනේ. ඊට අමතරව රත්මලේ ග‍්‍රාමයේ අගමික, සාමාජික හා සංස්කෘතික කටයුතු කෙරෙහි අවධි ගණනවක සිට වර්තමානය දක්වා අත්‍යයන්තයෙන් බැඳුණු ජීවමාන උරුමයක් ලෙස හඳුනාගැනීම වඩාත් නිවැරදි ය.

තොරතුරු ලබා ගැනීම සඳහා සහය දැක්වූ ශාස්ත‍්‍රපති කුඩාබැඳිගම සුමන හිමි, සංවර්ධන නිලධාරි අසංක මංජුල මහතා ඇතුළු ගම්වාසී සියලු දෙනාට ගෞරවනීය ස්තූතිය පුදකරමි.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • දසනායක, රෝහිත (2000), අම්බලම සහ සමාජය, ආරිය ප‍්‍රකාශකයෝ, වරකාපොළ.
  • රත්නායක, කමල් පද්මකුමාර (2003), ටැම්පිට ගෙවල් සහ ඒ ආශ‍්‍රිත ගෘහ නිර්මාණ ශිල්පය, ඇස්.ගොඩගේ පොත් මැදුර, කොළඹ.
  • විතාන, ගුණසේන (2004), අම්බලම් සාහිත්‍යය, කුරුළු පොත් ප‍්‍රකාශකයෝ, රාජගිරිය.
  • ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය (1999), ප‍්‍රථම භාගය, වැලිපිටියේ සෝරත හිමි, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • සිංහල විශ්වකෝෂය (1963), පළමු වැනි කාණ්ඩය, ප‍්‍රධාන කර්තෘ මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, සංස්කෘතික දෙපාර්තමේන්තුව, කොළඹ.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2020.01.15 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

More articles

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -

Latest article

ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න

පුරාවිද්‍යා දැනුම බෙදා ගන්න උදව් කර වටිනා කෘතියක් දිනා ගන්න. ‘ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ යූ-ටියුබ් චැනලය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා...

මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බො‌තේජු ගෙනි. කථනය හා ගායනය සිතාරා මහලේකම්. ඡායාරූප අනුරාධ...

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.

සීගිරිය හා එහි රජ උයන

බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.
X
X