මහනුවර, නාගරික උරුම සංරක්ෂණය හා ප‍්‍රජා සහභාගීත්වය

අරුණ රාජපක්ෂ

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.

හැඳින්වීම

ආචාර්ය අරුණ රාජපක්ෂ

උරුම සංරක්ෂණය බහුවිධ පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීමෙන් සිදු වන කි‍්‍රයාදාමයක් වන අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් උරුම ක්ෂේත‍්‍රය තුළ සහ හාත්පස ජීවත් වන ප‍්‍රදේශීය ප‍්‍රජාව නො සලකා හැරීමේ හෝ ප‍්‍රතිලාභ අහිමි වීමේ තත්වයකට මුහුණ පෑමට සිදු වී ඇත. උරුම කළමනාකරුවන් හා සැලසුම්කරුවන් මුහුණ දී ඇති ප‍්‍රබල අභියෝගයක් වන්නේ උරුම සම්පත් සංරක්ෂණය සහ ප‍්‍රජා යහසාධනය අතර තුලනයක් ඇති කිරීම ය. දියුණු වෙමින් පවතින රටවල උරුම ක්ෂේත‍්‍ර සංරක්ෂණයේ දී සහ සංවර්ධනයේ දී පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීම හා සහයෝගය ප‍්‍රවර්ධනය කිරීම සඳහා විවිධ කි‍්‍රයාමාර්ග ගෙන ඇති අතර සාර්ථක ප‍්‍රතිඵල ලබා ඇත්තේ ඉන් අතළොස්සක් පමණි. මෙහි දී තර්ක කරන්නේ තිරසාර උරුම සංරක්ෂණය හා තිරසාර ප‍්‍රජා ජීවන පැවත්ම අවියෝජනීය ලෙස සම්බන්ධ වූ කාරණාවන් බවත්, උරුම සැලසුම්කරණයේ ප‍්‍රධාන අරමුණ විය යුත්තේ උක්ත කාරණා අතර විඝටනාත්මක තත්ත්වයන් අවම කිරීම තුළින් සමස්ත තිරසාරභාවය උදා කිරීම බවත්ය. පර්යේෂකයින් ඔවුන්ගේ න්‍යායාත්මක අධ්‍යයන සහ භාවිතාව තුළන් පෙන්වා දෙන කරුණක් නම් පාර්ශ්වකරුවන්ගේ සම සහභාගීත්වය සහ සහයෝගීතාව මෙන් ම ප‍්‍රදේශීය ප‍්‍රජා මැදිහත්වීම උරුම කළමනාකරණයේ අරමුණ හා පරමාර්ථ සඵල කර ගැනීම සඳහා ඉතා වැදගත් බවයි. Luxen (2004) පෙන්වා දෙන පරිදි උරුම කළමනාකරණ ක්ෂේත‍්‍රය තුළ ඉතා විවේචනාත්මකව සංවාදයට බඳුන්ව වන ගැටලු වන්නේ උරුමය කාගේ ද? කවුරුන් විසින් නිර්වචනය කරනු ලබන්නේ ද? කවුරුන් සඳහා ද? කෙසේ සංරක්ෂණය කළ යුතු ද? සංරක්ෂණය කළ යුත්තේ ඇයි? කවුරුන් සඳහා සංරක්ෂණය කරන්නේ ද? ආදියයි. උරුමය ගෝලීයකරණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය දශක කීපය තුළ විශේෂයෙන් ජගත් උරුම ක්ෂේත‍්‍රයන්හි උරුම සංරක්ෂණ ප‍්‍රතිපත්ති මූලධර්ම සහ ප‍්‍රවේශ ඍජුවම බටහිර බලපෑමට ලක් වී ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර මට්ටමින් හා ජාතික මට්ටම්වලින් උරුමය ආරක්ෂා කිරීම හා කළමනාකරණය සම්බන්ධ වන නීතිරීති සහ සම්මුති සකස් වීමේ ප‍්‍රවණතාවක් දැකගත හැකි අතර, එම බටහිර කේන්ද්‍රීය ද්‍රව්‍ය මූල සංරක්ෂණ ප‍්‍රවේශයන්ගේ විශේෂත්වයක් වන්නේ ඇතැම් ආගමික පූජනීය උරුම ක්ෂේත‍්‍රයන්ගේ සංකීර්ණ ජීවමාන මානය ආමන්ත‍්‍රණය කිරීමට සමත් නො වන සරල සහ රේඛීය භාවයයි. මෙම පර්යේෂණය තුළින් උත්සාහ කරන්නේ පසුගිය දශක තුන තුළ සංරක්ෂණයට බඳුන් වූ පූජනීය ජගත් උරුම නගරයක් වන මහනුවර නගරය ආශ‍්‍රය කර ගනිමින් උරුම ක්ෂේත‍්‍ර සංරක්ෂණ ප‍්‍රවේශයන් නැවත පරීක්ෂා කර බැලීමකි. පසුගිය දශක කීපය තුළ මහනුවර පූජනීය නගර සන්දර්භය තුළ නූතනත්වය හා සාම්ප‍්‍රධායිකත්වය යන උභතෝකෝටිකය අතර විඝටනාත්මකව වර්ධනය වෙමින් පවත්නා වූ ප‍්‍රවණතා හා ගැටලු රැසක් හඳුනාගත හැකි ය. ඒවා නාගරික සන්දර්භයේ මානව, සාමාජීය, ආර්ථික, භෞතික හා ආයතනමය මානයන් හා ඍජුවම සම්බන්ධ ය. මෙම පර්යේෂණය තුළින් පූජනීය ජගත් උරුම නගර සංරක්ෂණ හා කළමනාකරණ අර්බුද මෙන් ම වෘත්තිකයන් අනුගමනය කළ නෛතික, පරිපාලන හා සැලසුම් ප‍්‍රවේශ ඇගයීමට ලක් කෙරේ.

මෙම පර්යේෂණයේ ස්වභාවය සලකා බැලීමේ දී, සංස්කෘතික උරුම සම්පත් ඇගයීම, උරුම ස්ථාන පරිවර්තන ක‍්‍රියාවලිය (සැලසුම් හා සැලසුම් ක‍්‍රියාත්මක කිරීම) ඇගයීම, අපේක්‍ෂා හා අත්දැකීම් ඇගයීම, සිදුකරන බැවින් ප‍්‍රධාන වශයෙන් ගුණාත්මක ක‍්‍රමවේද ද අතිරේක වශයෙන් ප‍්‍රමාණාත්මක දත්ත ද භාවිත කෙරෙන මිශ‍්‍ර උපායමාර්ග ප‍්‍රත්‍යෙක අධ්‍යයන ප‍්‍රවේශය, සහභාගීත්ව ප‍්‍රජා ඇගයීම් ප‍්‍රවේශය, සැලසුම් ඇගයීම් ප‍්‍රවේශය ප‍්‍රධාන වශයෙන් උපයෝගි කොට ගන්නා ලදි. මෙම පර්යේෂණය ජගත් උරුම ක්‍ෂේත‍්‍රය තුළ උරුම සංරක්‍ෂණය සහ ප‍්‍රජා සහභාගීත්වය පිළිබඳව වන බැවින් තත් ක‍්‍රියාදාමයන්හි පාර්ශ්වකරුවන් වන ප‍්‍රාදේශීය ප‍්‍රජාව, සංචාරක ප‍්‍රජාව, උරුම කළමනාකරණ ප‍්‍රජාවගේ අදහස්, ආකල්ප සහ හැසිරීම ඉතාම ප‍්‍රයෝජනවත් වන බැවින් සහභාගී නිරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡා, ක්‍ෂේත‍්‍ර අධ්‍යයන ආදී ක‍්‍රමවේද භාවිත කෙරිණ.

නගර සංරක්ෂණය සහ ප‍්‍රජා සහභාගීත්වය

නගර සංරක්ෂණ (Urban conservation) සංකල්පය නූතන යුගයේ අදහසකි. නූතන අදහසින් ඓතිහාසික නගර උරුමයේ නියෝජනයක් ලෙස නිර්වචනය වන්නේ 19 වන සියවසේ අග භාගයේ දී හා 20 වන සියවසේ මුල් භාගයේ දීය. දහනව වන සියවස අග භාගයේ Comilo Sitte (1965) නගර සැලසුම්කරණ ශික්ෂණය හරහා ඓතිහාසික නගරයන් සතු සෞන්දර්යාත්මක අගය නූතන නගරයට සාපේක්ෂව ඇගයීමට ලක් විය. ඔහුගේ 1889 ‘කලාත්මක මූලධර්මවලට අනුව නගර සැලසුම්කරණය’ (City planning according to artistic principles) නම් කෘතියේ දී නූතන නගර සංවර්ධනයේ දී ඓතිහාසිකත්වය අඛණ්ඩව තේරුම් ගත යුතු බව පෙන්වා දෙයි (Bandarin and Van Oers 2012). නගර සැලසුම් ශිල්පියකු වූ Patric Geddes (2010) ඔහුට සම කාලීන ව සෞන්දර්යාත්මක හා දෘශ්‍යමය කෝණයකින් නගරය දුටු අයෙක් වන අතර නගරය භෞතික මෙන් ම සාමාජීය අංග ලක්ෂණයන්ගේ අන්තර් කි‍්‍රයාවක් තුළින් ඓන්ද්‍රීයව පරිණාමය වන්නක් ලෙස විග‍්‍රහ කරයි. විසිවන සියවසේ දෙවන භාගයේ දී ඉතාලියානු ජාතික වාස්තුවිද්‍යාඥයකු මෙන් ම නගර සැලසුම් ශිල්පියකු වන Gustavo Giovannoni නගර සංරක්ෂණය සඳහා තාක්ෂණික ප‍්‍රවේශය නිර්වචනය කළ අතර නාගරික උරුමය (Urban Heritage) යන වචන භාවිතය හඳුන්වා දෙන ලදී. ඔහු ඓතිහාසික නගර සංරක්ෂණයට හා කළමනාකරණයට අදටත් පදනම වන පූර්ණ ක‍්‍රමවේදයක් හා ප‍්‍රවේශයක් වර්ධනය කිරීම සම්බන්ධයෙන් ද වැදගත් වේ. Gustavo Giovannoni (1931) දැඩි ලෙස ඓතිහාසික නාගරික මධ්‍යස්ථාන කෞතුකාගාර මෙන් අකි‍්‍රය බවට පත් කිරීම කෙරෙහි විරුද්ධ වූ අතර ඓතිහාසික ස්මාරකයන්හි නිර්මිත පරිසර සංරක්ෂණයේ අවශ්‍යතාව, ඒකාබද්ධ සැළසුම්කරණ ක‍්‍රමවේදය වැනි ප‍්‍රවේශයන් අවධාරණය කරන ලදි (Bandarin, and Van Oers 2012). ඔහුගේ ප‍්‍රවේශයන් දෙස සූක්ෂමව නිරීක්ෂණය කරන විට 20 වන සියවසේ දෙ වන භාගයේ ජාත්‍යන්තරව වර්ධනය වූ සංරක්ෂණ ප‍්‍රතිපත්ති සඳහා බලපෑමක් කළ පුරෝගාමී චරිතය ලෙස හඳුන්වා දීම බොහෝදුරට සාධාරණ ය.

දෙ වන ලෝක යුද්ධ අවධියෙන් පසු එළඹෙන දශක කීපය තුළ ලෝකය පුරා සංවිධානාත්මක ලෙස ඓතිහාසික නාගරික උරුමයන් හායනයක් සිදු වන්නට විය. 1950-1960 දශකවල පළමුවෙන් ම යුරෝපානු හා උතුරු ඇමෙරිකානු රටවල් ද ඉන් අනතුරුව 1960-1970 දශක වන විට ලතින් ඇමෙරිකානු රටවල් සහ අරාබිකරයේ රටවල් ද, අවසාන වශයෙන් සහ අරාබිකරයේ රටවල් ද මේ කි‍්‍රයාවලියට මුහුණ දුන් අතර මේ රටවල මේ කි‍්‍රයාවලිය තවමත් අඛණ්ඩව සිදු වෙමින් පවතී (Tung 2001). මෙම කි‍්‍රයාවලිය අබිමුව ඓතිහාසික නාගරික උරුම අගයන් ආරක්ෂා කිරීමේ සංවේදීත්වයෙන් පසු වූ සංරක්ෂණවේදීන්, සැලසුම් ශිල්පීන්, වාස්තු විද්‍යාඥයින් හා තාක්ෂණික ශිල්පීන් ගේ මැදිහත් වීමෙන් නාගරික සංරක්ෂණය අරමුණු කර ගත් ප‍්‍රතිපත්ති සහ නෛතික රාමු සම්පාදනය වීමක් විවිධ රටවල සිදු වන්නට විය (Larkham 1996). උක්ත ප‍්‍රතිපත්තිවල මුඛ්‍ය පරමාර්ථය වූයේ තත් නගරයන්හි ස්මාරක හා භෞතික ව්‍යුහයන් සංරක්ෂණය තුළින් ස්ථානීය අනන්‍යතාවන් හා අගයන් නඩත්තු කිරීම හා නාගරික උරුමයන්හි සමාජීය අදාළත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාම ය. මෙම ප‍්‍රාරම්භක අවධිය තුළ උරුම සංරක්ෂණය පිළිබඳ ගැටලු සහ සීමාවන් යම් ප‍්‍රමාණයකට ආමන්ත‍්‍රණය කිරීම යුනෙස්කෝ සංවිධානය මගින් සකස් කරන 1972 ජගත් උරුම ප‍්‍රඥප්තිය (World heritage convention 1972) සහ 1976 නයිරෝබි නිර්දේශයන් (Nairobi recommendations 1976) හරහා සිදු වේ. ප‍්‍රදේශ සංරක්ෂණයේ දී සමාජ, සංස්කෘතික හා ආර්ථික සාධක පුළුල් ලෙස වැදගත් වන බව පෙන්වා දෙන අතර නාගරික භෞතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාව අතර සංවේදීතාව අවධාරණය කරමින් එය ආරක්ෂා කිරීමේ දී හා අඛණ්ඩ කළමනාකරණයේ දී රාජ්‍ය ආයතනවල සහ පුරවැසියන්ගේ වගකීම පැහැදිලි කෙරේ. නාගරීක උරුම සංරක්ෂණය පිළිබඳව වැනිස් ප‍්‍රඥප්තිය තුළ වූ රික්තකය සහ නාගරික උරුමයටම විශේෂ වූ සංරක්ෂණ ගැටලු ආමන්ත‍්‍රණය කිරීම සඳහා අයිකොමොස් සංවිධානය විසින් විශේෂ ප‍්‍රඥප්තියක් ලෙස ඓතිහාසික නගර හා නාගරික ප‍්‍රදේශ සංරක්ෂණය සඳහා වූ ප‍්‍රඥප්තිය (Charter for the conservation of historic towns and urban areas 1987) නැතහොත් ‘වොෂින්ටන්  ප‍්‍රඥප්තිය’ (Washington Charter) හඳුන්වා දෙනු ලැබී ය. පුළුල් ව ඓතිහාසික නාගරික ප‍්‍රදේශ හා ඒවා සංරක්ෂණය පිළිබඳ ව කැප වූ පළමු ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය මෙය වන අතර එහි නාගරික උරුමය පිළිබඳ නිර්වචනය තුළ වැදගත් නව හඳුන්වා දීම් ද ඇතුළත් වේ. ඓතිහාසික නගරය නිර්වචනය කිරීමේ දී එහි හාත්පස පරිසරය සහ එහි සාමාජීය අගයන් (Social values) සහ ප‍්‍රජා සහභාගීත්වය වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සංරක්ෂකයින් සහ සැලසුම්කරුවන්ට සිය කි‍්‍රයාවලියේ දී මුහුණ පෑමට සිදු වන ප‍්‍රධාන ගැටලු ද විශේෂ ලෙස සඳහන් කර ඇත. ඒ නිසාම ප‍්‍රජා මැදිහත්වීම ප‍්‍රධාන යාන්ත‍්‍රණයක් ලෙස වැදගත් බැවින් ප‍්‍රඥප්තියේ සටහන් 3 සහ 15 ප‍්‍රජා සහභාගීත්වය, මැදිහත්වීම සහ අධ්‍යාපනය පිළිබඳ අවධාරණය කරන අතර, සටහන් 5 සංරක්ෂණ සැලසුම් සඳහා ප‍්‍රජාව සහයෝගය දැක්විය යුතු බව පවසයි.

නාගරික උරුම ක්ෂේත‍්‍රයන්හි උරුම සංරක්ෂණයේ දී පුරවැසි සහභාගීත්වය තීරණාත්මක සාධකයකි. නාගරික සන්දර්භයේ සිදු කරනු ලබන සැලසුම් සම්පාදන කි‍්‍රයාවලියේ දී තීරණ ගැනීමේ කි‍්‍රයාවලිය සඳහා සහභාගී කර ගැනීම සාර්ථකත්වය සඳහා වන උපාය මාර්ගයකි. මෑත කාලයේ ජගත් පරිමාණයෙන් විශේෂඥයින්, විද්වතුන් සහ ජාත්‍යන්තර සංවිධාන නාගරික උරුම ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් අධ්‍යාපනයේ දී උක්ත කරුණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. Arnstein (1996) සහභාගීත්ව සංකල්පය තුළින් පෙන්වා දෙන්නේ සැලසුම්කරණ කි‍්‍රයාදාමය සඳහා පුරවැසි සහභාගීත්වය සාර්ථක වන තරමට ව්‍යාපෘතීන්හි හා වැඩසටහන්වල සාර්ථකත්වය රඳා පවතින බවයි. උක්ත කරුණ පිළිබඳ බරා ප‍්‍රඥප්තියේ (Burra Charter) අවධාරණය කරනු ලබන්නේ උරුම සංරක්ෂණ වැඩසටහන්වල තිරසාරභාවය (Sustainability) අතිශයින් ම ප‍්‍රජා සහභාගීත්වය හා බැඳී පවතින්නක් බවයි (ICOMOS 1999). විසිවන සියවසේ අවසාන භාගය වන විට උරුම සංරක්ෂණ ක්ෂේත‍්‍රයේ නිරත වූවන්ගේ ස්ථාවරය වී ඇත්තේ නාගරික උරුම සංරක්ෂණ වැඩසටහන් හඳුනා ගැනීම, සංරක්ෂණය, කළමනාකරණය හා අධීක්ෂණයේ දී ප‍්‍රජාව භාවිත කළ යුතු බව වන අතර, පර්යේෂණ තුළින් පෙන්වා දී ඇත්තේ ද උරුම සංරක්ෂණය කර ගැනීම උදෙසා පුරවැසි සහභාගීත්වය වැදගත් වන බවයි.

නූතන ඓතිහාසික ස්ථාන සංරක්ෂණයේ දී ප‍්‍රධාන ගැටලුවක් වී ඇත්තේ සංරක්ෂණ හා සංවර්ධන කි‍්‍රයාකාරකම් සඳහා ප‍්‍රජා සහසම්බන්ධතාව ඌණ වීම සහ ඒවා හුදෙක් වාස්තුවිද්‍යාඥයින්, සැලසුම් ශිල්පීන්, පුරාවිද්‍යාඥයින් ආදී වෘත්තිකයින්ගේ ඇගයීම් මත පදනම් වූ හුදු වෘත්තීමය කි‍්‍රයාකාරකම් වීමයි. මේ නිසා ස්ථානීය ජීවය, ප‍්‍රතිරූපය පිළිබඳ ව නේවාසික ප‍්‍රජාව හා වෘත්තික ප‍්‍රජාව අතර පරස්පර විරෝධී දැකීමක් ජනනය වීම නොවැළැක්විය හැකි ය. මේ තත්ත්වය ස්ථානයක තිරසාරත්වය සම්බන්ධයෙන් තීරණාත්මක ය. Hayden (1995) පෙන්වා දෙන්නේ සංරක්ෂණ කි‍්‍රයාවලියේ දී වෘත්තීමය බල අධිකාරය මත උක්ත දෙපාර්ශ්වයේ නොගැළපීම් කි‍්‍රයාවට නැගීම ප‍්‍රජා අසහනකාරී තත්ත්වයක් දක්වා ගමන් කිරීමට හේතුවන බව ය. අවසානයේ මේ තත්ත්වය සංරක්ෂණ වැඩසටහන්හි අපේක්ෂිත පරමාර්ථ මුදුන් පමුණුවා ගත නොහැකි ව උඩු යටිකුරු වීමට හේතු වේ. Strauss (1961), Hayden (1995) හා  Silva (2001) පෙන්වා දෙන්නේ නගරය පිළිබඳව එහි පුරවැසියන් සිතන ආකාරය තේරුම් නො ගෙන ඒ තුළ සිදු වන සංවර්ධන මගින් නාගරීකරණ සහ නාගරික සාමාජීය හැසිරීම් කි‍්‍රයාවලින් තේරුම් ගත නො හැකි බවයි. මේ තුළින් අවධාරණය කෙරෙන්නේ සංරක්ෂණ කි‍්‍රයාවලියේ ප‍්‍රජා මතවාදයන් හා සහභාගීත්වයේ වැදගත්කමයි.

උරුම සංරක්ෂණයේ දී අතිශයින් වැදගත් ලක්ෂණයක් ලෙස ජාත්‍යන්තර තලයේ මෑත කාලීනව හඳුනා ගන්නා ලද සංකල්පයක් නම් ‘ස්ථානීය ජීවය’ (Spirit of place) පිළිබඳ සංකල්පයයි. එය කිසියම් ස්ථානයක විශේෂ ගති ලක්ෂණ මත පදනම් ව දැනෙන ගුණාත්මක අත්දැකීමක් වන අතර ස්ථානීය ස්පර්ශනීය ගති ලක්ෂණ (ගොඩනැඟිලි, භූ දර්ශන, වස්තු, මිනිසුන්ගේ කි‍්‍රයාකාරකම් ආදිය මෙන්) සංකේතාත්මක ගති ලක්ෂණ මත පදනම් වූවක් වේ. එබැවින් කිසියම් ස්ථානයක මෙම ගති ලක්ෂණය හුදෙක් අතීතයට සම්බන්ධ වූවක් නො වන අතර වර්තමාන ස්ථානීය හැසිරීම් රටාවේ ප‍්‍රතිඵලයකි. එබැවින් කිසියම් ස්ථානයක ස්ථානීය ජීවය සංරක්ෂණය කිරීම යනු ස්ථානීය අතීත හා වර්තමාන ස්පර්ශනීය මෙන් ම අස්පර්ශනීය ගතිලක්ෂණ රැක ගැනීමට කටයුතු කිරීමයි. ඓතිහාසික නගරයක සංරක්ෂණය යනු ද එම නගරයේ පරිසර සන්දර්භයේ ජීවය කළමනාකරණය කිරීමේ කි‍්‍රයාවලියයි. එහෙයින් සංරක්ෂණ හා සංවර්ධන ප‍්‍රතිපත්තීන්හි ප‍්‍රධාන පරමාර්ථයන් විය යුත්තේ ස්ථානීය ජීවය හා සම්බන්ධ කේන්ද්‍රීය මානයන් අභිවර්ධනය කරන අතරතුර අන්තරායකර මානයන් මුලිනුපුටා දැමීමයි.

නගර සංරක්ෂණ හා කළමනාකරණ කි‍්‍රයාවලියේ දී තත් ක්ෂේත‍්‍රය පිළිබඳ ව ප‍්‍රජාවගේ දැනුම, දැක්ම, ඇගයීම, ප‍්‍රමුඛතාවන් හඳුනා ගැනීම මගිින් අතීතය පිළිබඳව දැක්මත්, අනාගතය පිළිබඳ ව අපේක්ෂාවනුත් නොසලකා හැරිය නොහැකි ය. එබැවින් නගර සංරක්ෂණය හා සංවර්ධන කි‍්‍රයාවලියේ දී සාර්ථකත්වය සම්බන්ධයෙන් ද ප‍්‍රජාමතය තීරණාත්මක වේ. Lynch (1972) පෙන්වා දෙන්නේ ද ඓතිහාසික නාගරික ප‍්‍රදේශයක් සංවර්ධනයේ දී වර්තමානයේ ඒ තුළ ජීවත් වන ප‍්‍රජාවගේ දැක්ම වැදගත් වන බවයි. එයට ඔවුන්ගේ අතීතය සහ අනාගතය පිළිබඳ ව දැක්ම සහ ආකල්පයන් වර්තමාන දැක්ම තුළින් තීරණය වන බැවිනි. ප‍්‍රජාවගේ වත්මන් ආකල්පය සංරක්ෂණ වැඩසටහනක තීරණාත්මක සාධකයක් වන්නේ එහි දී ප‍්‍රජාව සිය සංස්කෘතික භූ දර්ශනයේ ඉතිහාසය පිළිබඳ ව දක්වන ඇගයීම සහ වෙනස්වීම් සමගින් එය නඩත්තු කිරීමට දක්වන ආකල්පය මත ය. ඕනෑම සංරක්ෂණ ප‍්‍රතිපත්තියක අරමුණ වන්නේ ද ප‍්‍රජා උරුමය ඇගයීමත් ඒ තුළින් ප‍්‍රජා යහසාධනයත් ය. කිසියම් ඓතිහාසික ස්ථානයක ප‍්‍රතිරූපයට හානි පැමිණෙන්නේ නම් ඉන් ඇඟවෙන්නේ පළමුව ප‍්‍රජාව එහි අගයන් පිළිබඳ ව නොතැකීම හා දෙ වනුව එහි ඉතිහාසය තුළ අනුස්මරණාත්මක ගති ලක්ෂණ නො වීම වීමට පුළුවන. ප‍්‍රජාව එහි අගයන් පිළිබඳ ව නො සලකා කටයුතු කරන්නේ නම් එම අගයන් ආරක්ෂා කිරීම, මනා භාවිතය මෙන් ම දැනුවත් කිරීම මගින් ඔවුන්ගේ උරුමය සමග අර්ථවත් සබඳතාවක් වර්ධනය කිරීමට හැකියාව තිබේ. එසේ ම සංරක්ෂණ සංවර්ධන සැලසුම් තුළින් උරුමය ඇගයීම පිළිබඳ ප‍්‍රජා ආකල්පයන් වර්ධනය කළ හැකි ය. මෙහි දී ප‍්‍රජාව සැලසුම්කරණ, කි‍්‍රයාත්මක කිරීම් සහ නඩත්තු කි‍්‍රයාවලීන් සඳහා බද්ධ කර ගැනීමට හැකි වේ.

මහනුවර උරුම නගර සංරක්ෂණය

වර්තමාන ‘මහනුවර’ අගනුවර සේ යොදා ගනිමින් පැවති සිංහලයේ අවසන් රාජධානිය කන්ද උඩරට හෙවත් මහනුවර රාජධානියයි. සිරිවර්ධනපුර, සෙංකඩගලපුර ලෙසින් ද හඳුන්වන ලද මහනුවර පුරවරය දිවයිනේ අවසන් රජ පරපුරේ දේශපාලන බලකොටුව විය (සෙනෙවිරත්න, 2001). පළමු වැනි විමලධර්මසූරිය රජු විසින් කි‍්‍රස්තු වර්ෂ 1592 දී ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද මෙම රාජධානිය 1815 දී එහි අන්තිම රජු වූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ යටතට පත් වීමත් සමග අවසන් විය. ඉංගී‍්‍රසීන්ට පළමුව පෘතුගීසීන් හා ලන්දේසීන් විසින්ද මෙම නගරය විනාශ කර දැමූ බව පෙනේ (සෙනෙවිරත්න 34, 35 පි). එදා මෙදාතුර මෙය ප‍්‍රධාන නගරයක් වූ නිසාම මහනුවර ලෙස හැඳින්වේ. බි‍්‍රතාන්‍ය පාලන සමය තුළ මහනුවර නගරය ප‍්‍රධාන නගරයක් ලෙස වර්ධනය වූ අතර, එම කාලය තුළ දී යටත් විජිත වාස්තුවිද්‍යා ලක්ෂණ සහිත ගොඩනැඟිලිවලින් සමන්විත නගරයක් බවට පත් විය. බි‍්‍රතාන්‍යයන් විසින් නගරයේ සිදු කරන ලද පරිවර්තනයේ තරම සහ ස්වරූපය ඔවුන්ගේ දෘෂ්ටිකෝණයෙන්ම තේරුම් ගැනීම සඳහා ඩේවිගේ ප‍්‍රකාශය උපුටා දැක්වීම ප‍්‍රමාණවත් ය.

“අප මහනුවරට ඇතුළු වූ දා සිට අප පරමාර්ථය වූයේ නගරය දියුණු කිරීම වුව ද අප කළ දෙයින් ලත් ප‍්‍රතිඵලය ඉඳුරා වෙනස්ය. අප බොහෝ ගොඩනැඟිලි කඩා බිඳ දැමූ නමුත් ඉදි කළේ ස්වල්පයකි…. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් අපට අයිතිව පැවති සුළු කාලය තුළ දී නගරයේ ශෝභාව බෙහෙවින් පිරිහුණි. දැන් නගරය මුල් නගරයේ නෂ්ටාවශේෂයක් මෙන් ස්වදේශීන්ට පෙනෙනු නියතය. අවුරුදු කීපයක දී පැරණි නගරයේ කිසිම සළකුණකුදු ඉතිරි නොවී මෙහි ඉංගී‍්‍රසි නගරයක් බිහි විය හැකි යයි අනුමාන කළ හැක” (ඩේව් දුටු ලංකාව 2002).

නිදහසින් පසු නගරය තුළ කොන්කී‍්‍රට් භාවිතයෙන් ගොඩනැඟිලි ඉදිවන්නට වූ අතර මේ තත්ත්වය තුළ පෞරාණික වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ ක‍්‍රමානුකූලව වියැකී යන්නට වූයෙන් මෙම බලපෑම් මහනුවර උරුම නගරය තුළ පාලනය කිරීමේ අරමුණින් දළදා මාළිගාව අවට ප‍්‍රදේශය 1946 නගර හා ග‍්‍රාම නිර්මාණ පනත යටතේ 1971 දී පූජනීය ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණ. ඒ අනුව එම පූජනීය කලාපය තුළ භූමි පරිහරණය නියාමනය කරමින් පාලනය කරන ලද අතර ආගමික, ඓතිහාසික, වාස්තුවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක හෝ කලාත්මක ස්වරූපයේ ව්‍යුහයන් හා ස්ථාන සංරක්ෂණය සඳහා පමණක් අවසර දෙන ලදි. පූජනීය ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලද මුත් කොටුදැල් නගරය තුළ වලව් ආදී පැරණි ගොඩනැඟිලි වෙනස් කිරීම්, විනාශවීම් සහ නව ඉදිකිරීම් වැළැක්වීමට නොහැකි විය. මෙම උක්ත පැරණි ගොඩනැඟිලි වෙනුවට නව ගොඩනැඟිලි ස්ථානගත වෙමින් සිදුවන වෙනස්කම් හේතුවෙන් මහනුවර පැරණි නගරයේ පෞරාණිකත්ව ලක්ෂණයට නොගැළපෙන තත්ත්වයක් නිර්මාණය වන්නට විය.

1977 න් පසුව රටේ ඇති වූ විවෘත ආර්ථික පසුබිම තුළ වාණිජමය අවශ්‍යතාවන් උදෙසා නගරයේ බොහොමයක් ගොඩනැඟිලි කොන්කී‍්‍රට්, ඇළුමිනියම් හා වීදුරු භාවිතයෙන් නිමා වන්නට වීමත් සමග නගරයේ පෞරාණික ස්වභාවය ශීඝ‍්‍රයෙන් විකෘති වන්නට වූ බව පෙනේ. 1980 වසරේ දියත් වූ යුනෙස්කෝ ශ‍්‍රී ලංකා සංස්කෘතික ත‍්‍රිකෝණ සංකල්පයේ දක්‍ෂිණ අන්තය නියෝජනය කළේ මහනුවර ඓතිහාසික නගරයයි. මෙකී පසුබිම තුළ 1980 වනවිට යුනෙස්කෝ ශී‍්‍ර ලංකා සංස්කෘතික ති‍්‍රකෝණ වැඩසටහන යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මහනුවර මාළිගා සංකීර්ණය, දේවාල සංකීර්ණය, මල්වත්ත සහ අස්ගිරි විහාර සංකීර්ණ ප‍්‍රතිසංස්කරණ හා සංරක්‍ෂණ කටයුතු ආරම්භ කිරීම සිදු විය. මේ වනවිට කොටුදැල් නගරය තුළ සිදුවෙමින් පැවති පෞරාණික උරුම හායනය මධ්‍යම සංස්කෘතික අරමුදලේ බලධාරීන් අවබෝධ කරගෙන සිටි අතර, 1983 වසරේදී මෙම තත්ත්වය පිළිබඳව විධිමත් තක්සේරුවක් සිදු කරන ලදි. මේ සඳහා රජය අග‍්‍රාමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් කමිටුවක් පත් කළ අතර ඔහුගේ වගකීම වූයේ මුහුණ දී ඇති තර්ජනාත්මක තත්ත්වයන් අධ්‍යයනය කර සංවර්ධන පීඩනය පාලනය කිරීම සඳහා සුදුසු මැදිහත්වීම් නිර්දේශ කිරීම ය. කමිටුව විසින් නිර්දේශ කළ පරිදි 1984 මහනුවර මහනගර සභා ප‍්‍රදේශය 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ නාගරික සංවර්ධන ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර එහි පිහිටි දළදා මාළිගාව අවට ප‍්‍රදේශය පූජා ප‍්‍රදේශයක් (Sacred area) ලෙස නම් කෙරිණ (ගැසට් පත‍්‍රය අංක 301-1984 ජුනි 08). උක්ත ගැසට් කරන ලද පූජා ප‍්‍රදේශ සැලසුම් යෝජනා ක‍්‍රමය මගින් පූජා භූමි ප‍්‍රදේශයේ මායිම් නිර්ණය කරන ලද අතර, එම භූමි ප‍්‍රදේශය තුළ දළදා මාළිගාව හා සම්බන්ධ කටයුතු පවත්වා ගෙන යාමේ කාර්යයට අනුකූල නොවන භාවිතාවන්, සංවර්ධනයන් සීමා කිරීම, වාහන ගාල් කිරීමේ ඉඩකඩ සැපයීම, ප‍්‍රදේශය තුළ වාස්තු විද්‍යාත්මක භූමි දර්ශනාත්මක හා පාරිසරික තත්ව ප‍්‍රවර්ධනය කිරීම, උක්ත ප‍්‍රදේශය තුළ හා ඒ අවට දැන්වීම් පුවරු පිහිටුවීම හා ප‍්‍රචාරක දැන්වීම් පුවරු පාලනය කිරීම ආදී අරමුණු සහිතව දියත් විය. වගකිවයුතු බලධාරින් විසින් උරුම නගරයේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ලද උක්ත කි‍්‍රයාමාර්ග හේතුවෙන් 1988 වසරේදී ජගත් උරුම නගරයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරන ලදි. මෙසේ ප‍්‍රකාශයට පත් කරන ලද උරුම නගරයේ පැහැදිලි සීමාවන් දක්වා නොතිබුණත් ඒ වනවිට ප‍්‍රකාශයට පත්කර තිබූ පූජා නගර ප‍්‍රදේශය (Sacred city area) ජගත් උරුම නගරයේ සීමා ලෙස සැලකිණ. ඒ අනුව පූජා භූමි ප‍්‍රදේශය මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පිළියෙල කරන ලද අංක ඩී/32/07/02 දරන සිතියමෙහි මායිම් ලකුණු කර ඇති පරිදි උතුරට හෝර්ටන් ආර්යා මාවත, නැගෙනහිරට හෝර්ටන් ආර්යා මාවත හා වැව පාරින් ද, දකුණට සංඝරාජ මාවත හා දළදා විදියෙනුත්, බස්නාහිරට ඩී.එස්. සේනානායක වීදිය, බෙනට් සොයිසා වීදිය, දේව වීදිය සහ දිසාපති නිළ නිවාස භූමියෙනුත් සීමා වේ. මසේ ජගත් උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව මහනුවර නගරයේ තථ්‍යතාව (Authenticity) ආරක්ෂා කිරීමේ කටයුතුවල නිරත වූ බලධාරීන්ට පසක් වූ කරුණක් වන්නේ නාගරික ක්ෂේත‍්‍රයේ ගුණාංග ආරක්‍ෂා කිරීමට නම් පූජනීය නගර සීමාවෙන් ඔබ්බෙහි වූ ප‍්‍රදේශය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවයි. මෙම දැක්මෙහි ප‍්‍රතිඵලයක් ලෙස 1988 වසරේ සමස්ත කොටුදැල් නගරය කෙරෙහි අවධානය යොමු කරමින් විදේශීය වාස්තු විද්‍යාඥයකු වූ Christoph Hanske (1988) ගේ ප‍්‍රධානත්වයෙන් මෙහෙයවන ලද කණ්ඩායමක් විසින් වාස්තු විද්‍යාත්මක ව්‍යුහයන් පිළිබඳ තක්සේරුවක් සිදු කිරීමයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස කාල රාමුව අනුව ගොඩනැඟිලි අවදි පදනම් කරගත් වර්ගීකරණයක් (periodical classification) සිදු විය. මෙම වර්ගීකරණය පහත පරිදි ය.

සංරක්ෂණය කළ යුතු ගොඩනැඟිලි (90)
සංරක්ෂණයට නිර්දේශිත ගොඩනැඟිලි (165)
වෙනස් කිරීම් සිදු කළ හැකි ගොඩනැඟිලි (293)
දියුණු කිරීම හෝ විනාශ කිරීම සිදු කළ හැකි ගොඩනැඟිලි (259)
1850ට පෙර සහ එම කාලයට අයත් ගොඩනැඟිලි 44
1850 – 1900 අතර කාලයට අයත් ගොඩනැඟිලි 166
1900 – 1950 අතර කාලයට අයත් ගොඩනැඟිලි 320
1950 – 1988 අතර කාලයට අයත් ගොඩනැඟිලි 277
එකතුව 807

 

මෙහි අරමුණ වූයේ සංරක්‍ෂණය කළ යුතු ගොඩනැඟිලි තවදුරටත් විනාශ වීමෙන් වළක්වා ගැනීමටත්, දියුණු කිරීම් සහ අලූත්වැඩියා කිරීම්වල දී සංරක්‍ෂණ ක‍්‍රියාමාර්ග ගැනීමත්, නව ඉදිකිරීම් සඳහා නීතිරීති කි‍්‍රයාත්මක කිරීම වුවත් මෙම ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම හා මුදුන් පමුණුවා ගැනීම අතිශයින් දුෂ්කර වූ කාර්යයක් වූ බව පෙනේ. පූජනීය ප‍්‍රදේශය තුළ සංවර්ධන කටයුතු පාලනය කිරීම පහසු වුවත් කොටුදැල් නගරය තුළ හා ඒ අවටත් සංවර්ධන කටයුතු පාලනය කිරීම දුෂ්කර කාර්යයක් වී ඇත. විශේෂයෙන් 80 දශකයේ අගභාගයේ හා 90 දශකයේ මුල් භාගයේ වාණිජමය හා පරිපාලනමය අවශ්‍යතා සඳහා නීති විරෝධි ඉදි කිරීම් බහුලව සිදු වූ අතර, අනුමත ඉදිකිරීම් ද ජගත් උරුම අගයන් (Heritage values) හා නොගැළපෙන ස්වරූපයේ ඒවා විය.

උක්ත පසුබිම තුළ මහනුවර මහනගර සභාවේ මැදිහත් වීමෙන් 1992 වසරේ දී පුරපතිට උපදෙස් දීමට සහ අනාගත සංවර්ධනයන් මෙහෙයවීම සහ පාලනය කිරීම සඳහා, මහනුවර ලෝක උරුම නගර උපදේශක කමිටුව (World Heritage City Kandy Advisory Committee) ස්ථාපිත කළ අතර එම කමිටුවේ ප‍්‍රධාන කාර්යයක් වූයේ මහනුවර නගරය සඳහා පෞරාණිකත්වය මෙන්ම නූතනය සංකලනය වූ ප‍්‍රධාන සැලැස්මක් මගින් සමතුලිත සංවර්ධනයක් සඳහා වූ ප‍්‍රධාන සැලැස්මක් (Master plan) සකස් කිරීම ය. නගර සැලසුම් ශිල්පීන්, වාස්තුවිද්‍යාඥයින්, පුරාවිද්‍යාඥයින්, පරිසර විද්‍යාඥයින්, ආර්ථික විද්‍යාඥයින්, භූ ගර්භ විද්‍යාඥයින්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් හා ආචාර්යවරුන් ආදීන්ගෙන් සැදුම්ලත් උක්ත කමිටුව විසින් සම්පාදිත 1999 සංරක්ෂණ හා සංවර්ධන සැලැස්ම සම්පාදිත ය.

1979 මාර්තු මස 7වන දා අංක 26/8 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ඇමතිවරයා විසින් 1978 අංක 41 දරන නාගරික සංවර්ධන පනතේ 3 (1) සහ (2) වගන්ති යටතේ නාගරික සංවර්ධන බල ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති මහනුවර නගරයේ භෞතික සංවර්ධනය සඳහා අවසන් වරට සම්පාදිත නෛතික පදනමක් සහිත සැලැස්ම වන්නේ 2002.4.27වැනි දින සිට 2016 අවසානය දක්වා බලපැවැත්වෙන මහනුවර නාගරික සංවර්ධන බල ප‍්‍රදේශය සඳහා වූ සංවර්ධන සැලැස්මයි.

පසුගිය දශක කීපය තුළ මහනුවර පූජනීය නගර සන්දර්භය තුළ නූතනත්වය හා සාම්ප‍්‍රධායිකත්වය යන උභතෝකෝටිකය අතර විඝටනාත්මකව වර්ධනය වෙමින් පවත්නා වූ ප‍්‍රවණතා හා ගැටලු රැසක් හඳුනාගත හැකි ය. ඒවා නාගරික සන්දර්භයේ මානව, සාමාජීය, ආර්ථික, භෞතික හා ආයතනමය මානයන් හා ඍජුවම සම්බන්ධය. සාම්ප‍්‍රදායික ජන සංයුතිය වෙනස්වීමත්, ඒ හරහා සාම්ප‍්‍රදායික නගරය උරුම කරගත් කි‍්‍රයාකාරකම් සහ සාම්ප‍්‍රදායික ජීවන රටාව බිඳ වැටීමත් දශක කීපයක් තුළ නගරයේ නිර්මිත පරිසර කි‍්‍රයාකාරීත්වය සැලකිය යුතු ලෙස බිඳ වැටීමට හේතු විය. විශේෂයෙන් 70 දශකයෙන් පසුව රට තුළ ඇති වූ ආර්ථික පරිවර්තනයන් ද මෙම හායනය තීව‍්‍ර කිරීමට බලපා ඇත.

1980 න් පසුව එළඹි කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය හා මහනුවර මහ නගර සභාව විසින් ගන්නා ලද සාධනීය නගර සංරක්ෂණ හා සංවර්ධන සැලසුම් ප‍්‍රවේශ හා නෛතික ප‍්‍රවේශ හරහා උක්ත හායනකාරී තත්වයන් යම් ප‍්‍රමාණයකට අවම කිරීමට හැකි වී ඇතත් ඒ පිළිබඳව සෑහීමට පත් විය නොහැකි ය. නෛතික ප‍්‍රතිපාදනවල කි‍්‍රයාකාරීත්වයේ දුර්වලතා, ප‍්‍රජා දැනුවත් භාවයේ ඌණතා මෙන් ම උරුම නගරයේ පරිපාලන ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා ද හේතුකොටගෙන නව ගොඩනැඟිලි ද්‍රව්‍ය භාවිතය, පරිමාණයෙන් හා හැඩයෙන් නොගැලපෙන ගොඩනැඟිලි හඳුන්වා දීම, විවෘත අවකාශ අඩු වීම ආදිය නගරය තුළ සිදු වන නව සංවර්ධන පීඩනයේ ලක්ෂණ ලෙස හඳුනා ගත හැකි ය.

මහනුවර නගරය උරුම කරගත් ස්මාරක ගොඩනැඟිලි විවිධ තත්වයන් යටතේ පසු වේ. සමහර ස්මාරක (විශේෂයෙන් ආගමික ස්මාරක සහ විශේෂ ගොඩනැඟිලි) අනවරත නඩත්තු කි‍්‍රයාවලියකට ලක් වන අතර තවත් සමහරක් ජරාජීරණ ස්වරූපයෙන් පසු වේ. ඒ අතර අතරමැදි තත්ත්වයේ පසුවන ගොඩනැඟිලි ද පවතී. නගරයේ ගොඩනැඟිලි පිළිබඳ ව්‍යුහාත්මක හා වාස්තුවිද්‍යාත්මක ඇගයීමක් 1988 කි‍්‍රෂ්ටෝප් හන්ස්කි ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කර වර්ගීකරණයක් ඉදිරිපත් කර ඇත. එම හඳුනාගැනීමට අනුව,

සංරක්ෂණ කළයුතු ස්මාරක  90 (12‍%)
ලැයිස්තුගත සංරක්ෂණ නිර්දේශිත ගොඩනැඟිලි  165 (20‍%)
වෙනස් කළ හැකි ගොඩනැඟිලි  293 (36‍%)
දියුණු කළ යුතු විනාශ කළ හැකි  259 (32‍%)
එකතුව  807 (100‍%)

 

එහෙත් උක්ත වර්ගීකරණයට අනුව විධිමත් වර්ගීකරණයක් හෝ ඇගයීමක් සිදු වී නො මැති අතර එදා මෙදාතුර නගරයේ නිර්මිත පරිසරයට සිදුව ඇති වෙනස්කම් අසීමිත බැවින් වර්තමාන තත්ත්වය තේරුම් ගැනීමට නව ඇගයීමක් අවශ්‍යව ඇත.

සමාලෝචනය

මහනුවර නගරයේ වර්තමාන වාස්තුවිද්‍යාත්මක පරිහාණියේ ස්වරූපය අධ්‍යයනය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවස්තු අඥාපනතේ නෛතික ප‍්‍රතිපාදනයන්ට අනුගතව ආරක්‍ෂිත ස්මාරක ලෙස ගැසට් කරන ලද (2004/8/22 අංක 1356) ගොඩනැඟිලි සංකීර්ණ අපගේ විශේෂ අවදානයට ලක් විය (වගුව 1). පසුගිය දශක කීපය තුළ උරුම නගරයේ ඓතිහාසික ගති ලක්ෂණ සඳහා අහිතකර ලෙස බලපෑම් කළ බොහෝ කරුණු නිරීක්ෂණය කළ හැකි විය.

  • දුර්වල නඩත්තුව
  • නොගැලපෙන අලුත්වැඩියා කිරීම්
  • ස්මාරක හා ගොඩනැඟිලි අතහැර දැමීම
  • නොගැලපෙන ස්වරූපයේ හා පරිමාණයේ නව ඉදිකිරීම්
  • නීතිවිරෝධී අවිධිමත් ඉදිකිරීම්
  • යෝග්‍ය නොවන ගොඩනැඟිලි ද්‍රව්‍ය භාවිතය
  • කඩා ඉවත් කිරීම් හා උපක‍්‍රමශීලි මුලිනුපුටා දැමීම් ආදිය අතර හඳුනා ගත හැකි ය (රාජපක්ෂ 2017, 381-382.පි.).

ගොඩනැඟිලි හිමිකරුවන් හට පවත්නා වූ මූල්‍යමය හිඟය හේතුවෙන් බොහෝ ස්මාරක නඩත්තුවෙන් තොරව දුර්වල තත්වයක පවතී. එහි අවසන් ප‍්‍රතිඵලය ගොඩනැඟිලි භාවිතයකින් තොරව අතහැර දැමීමයි. රාජ්‍ය ආයතනමය පහසුකම්, ඇගයීම් හා මැදිහත්වීම් නොමැති වීම මෙන් ම, පවත්නා නෛතික රෙගුලාසිවල බලපෑම හේතුවෙන් මෙම අවසාන විනාශ වීමට ඉඩ හැර බලා සිටීමට සිදුව ඇති බව පෙන්වා දිය හැකි ය. වර්ෂා කාලවල දුබල වහලය තුළින් අභ්‍යන්තරයට ජලය ගමන් කිරීමට සලස්වා වහලය සහ ව්‍යුහය කඩා වැටීමට සලස්වන ලද අවස්ථා රැසක් නිරීක්ෂණය කළ හැකි විය.

නව විධිමත් නඩත්තු හා සංරක්ෂණ මැදිහත්වීමක් කිරීමට අවශ්‍යතාවක් නොමැති විට අඩු වියදමකින් ද්‍රව්‍ය හා ශ‍්‍රම භාවිතාවක් මගිින් ස්මාරකයට නොගැළපෙන අලුත්වැඩියා කිරීම් සිදු කිරීමට ගොඩනැඟිලි හිමිකරුවන් පෙළඹෙයි. මෙබඳු තත්ව කාලයක් තිස්සේ සිදු වීම මගින් තත් වාස්තුවිද්‍යාත්මක නිර්මාණ බොහෝමයක් වර්තමානය වන විට විකෘතීන් බවට පත් වී ඇත. බොහෝ ස්මාරක සඳහා වීදුරු, ක්ලැඩින්, කොන්කී‍්‍රට් ආදී නොගැළපෙන ද්‍රව්‍යයන්ගෙන් නිම වූ දොරජනෙල් භාවිතය සුලබ දර්ශනයක් වේ. ගොඩනැඟිලිවල සැබෑ හිමිකරුවන් සමහර විට නගරයෙන් බැහැර වෙනත් ස්ථානවල පදිංචියට යාම නිසා හෝ අයිතිය පිළිබඳ ගැටලු සහගත තත්වයන් මත හෝ සංරක්ෂණ හෝ නඩත්තු කිරීම් අවශ්‍යතා නොමැති බැවින් අතහැර දමන ලද වටිනා ගොඩනැඟිලි නගරය තුළ දැක ගත හැකියි. නගරය තුළ භූමියේ වටිනාකම පැවතිය ද ඒ සඳහා ආයෝජනය කිරීම පිණිස බොහෝ අය පසුබට වන බවක් පෙන්නුම් කරයි.

නූතන නාගරික ජීවිතයේ විවිධ අවශ්‍යතා මත පැරණි ගොඩනැඟිලි ස්මාරක සඳහා නව එකතු කිරීම් බහුලව සිදු වෙමින් පවතින අතර ඒ හේතුවෙන් අභ්‍යන්තර සහ බාහිර මූලික වාස්තුවිද්‍යාත්මක ගති ලක්ෂණ සඳහා බලපෑමක් ඇති කෙරේ. විශේෂයෙන් ජලවිදුලි සැපයුම්, අමතර කොන්කී‍්‍රට් මහල් එකතු කිරීම්, කාමර වෙන් කිරීම්, ඉදිරිපස වීදුරු සහ කැලැඩික් ඇලුමිනියම් මුහුණත් සවිකිරීම්, යකඩ දොරටු සවිකිරීම්, ගෙබිම් ටයිල් කිරීම්, නාම පුවරු එල්ලීම් වැනි කි‍්‍රයාකාරකම් මෙහි ලා හඳුනා ගතහැකි අතර ඒවා පෞරාණික නගර ලක්ෂණවලට සානුකම්පික එකතු කිරීම් නොවේ. ඒ මගින් ජගත් උරුම නගරයේ තථ්‍යතාව සහ ඒකාබද්ධතාවට මෙන් ම අද්විතීය විශ්වීය අගය සඳහා ද අහිතකර ලෙස බලපෑම් එල්ල කර ඇත. පැරණි නගරයේ වීදි දෙපස පිහිටි බොහෝමයක් තනි හෝ දෙමහල් සිංහල උළු සෙවිලි කළ නේවාසික ගොඩනැඟිලි විය. එහෙත් වර්තමානය වන විට වාණිජ අවශ්‍යතා සඳහා සිදු කළ වෙනස්කම් නුවර වාස්තුවිද්‍යාවේ රිද්මය ගිලිහී යාමට හේතු වී ඇත.

ගොඩනැඟිලි ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සැලකීමේ දී මෑත කාලීනව පෞරාණික ගොඩනැගිලි සඳහා නොගැලපෙන භාවිත රැසක් හඳුනාගත හැකි ය. ගොඩනැගිලි මුහුණත් (Facade) වාණිජ අවශ්‍යතා සඳහා වෙනස් කිරීමේ දී වීදුරු, ඇලුමිනියම්, ක්ලැඩින්, ටයිල්, ඇස්බැස්ටස් යොදා ගැනීම බහුලව දක්නා ලැබේ. මෙහි දී ප‍්‍රධාන ගැටලුවක් වී ඇත්තේ පෞරාණික සාම්ප‍්‍රදායික ද්‍රව්‍ය හා ක‍්‍රමවේද භාවිතය සඳහා දක්වන අකමැත්ත ය. එක් අතකින් එය මූල්‍යමය ගැටලුවක් ලෙස මෙන් ම, ඒවායේ අගය පිළිබඳ නොදැනුවත් භාවය පිළිබඳ ගැටලුවක් ද වේ. බොහෝ ගොඩනැඟිලිවල වහල, වියන, ජනෙල්, දොරවල්, පියගැට, ගෙබිම, මතු මහල දැවයෙන් සිදු කර ඇති බැවින් ඒවා කාලයාගේ ඇවෑමෙන් නඩත්තු නො කිරීම නිසා දිරාපත් වී ඇත. ඒ සඳහා නවීන ද්‍රව්‍ය භාවිත වෙමින් පවතී. එබැවින් සංරක්ෂණ ආයතන විසින් සාම්ප‍්‍රදායික ද්‍රව්‍ය ඒ සඳහා යොදා ගැනීම, අධික පිරිවැය ආවරණය සඳහා ආධාර ලබා දීම, ඒවායේ අගය පිළිබඳව දැනුවත් භාවය වර්ධනය කිරීම, සාම්ප‍්‍රදායික සැලසුම් ක‍්‍රමවේද භාවිතය ඇගයීමට ලක් කිරීම සහ ප‍්‍රවර්ධනය වැනි කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. දළදා මාළිගාව, සතර මහා දේවාල, මල්වතු අස්ගිරි උභය මහා විහාර ආදිය සාම්ප‍්‍රදායික ද්‍රව්‍ය තාක්ෂණය සහ සැලසුම් ක‍්‍රමවේද අනුව සංරක්ෂිත ගොඩනැඟිලි උදෙසා කදිම නිදසුන් වේ.

වගුව 1 – මහනුවර නගරයේ නාගරික සංවර්ධන අධිකාරිය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරන ලද ස්මාරක හා පැරණි ගොඩනැඟිලි

මෑතක දී ලෝක උරුම කමිටුව විසින් සංරක්ෂණය කරන ලද ගිරාගම වලව්ව නොගැලපෙන ද්‍රව්‍ය ඉවත් කිරීම හා සාම්ප‍්‍රදායික සැලසුම් ද්‍රව්‍ය සහ තාක්ෂණය භාවිතය මගින් සිදු කරන ලද කදිම ගොඩනැඟිලි සංරක්ෂණය කිරීමක් ලෙස වෘත්තිකයින් විසින් පෙන්වා දෙනු ලැබේ. එහෙත් නගරයේ පුරවැසියන් සමග සාකච්ඡා කිරීමෙන් පැහැදිලි වූයේ ඔවුන් එබඳු සංරක්ෂණ ප‍්‍රවේශයක් පිළිබඳව දක්වන උදාසීන බවයි. එයට ප‍්‍රධාන හේතුව අධික පිරිවැයක් දැරීමට සිදු වීම ය.

පෞරාණික ගොඩනැඟිලි සහ ඒවායේ කොටස් සූක්ෂ්ම ලෙස කඩා ඉවත් කිරීම හා ඒ වෙනුවට වාස්තු විද්‍යාත්මකව නොගැළපෙන නව ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් බොහෝ වීදිවල ආවේණික ගති ලක්ෂණ ගිලිහී යමින් පවතී. ඇතැම් නගර වැසියන් පැරණි ගොඩනැඟිලි ක‍්‍රමානුකූලව විනාශ වී යාමට සලස්වා ඒවා අනාරක්ෂිත ගොඩනැඟිලි බවට පත් කොට, අනතුරුව නීත්‍යනුකූලව ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ හා නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය සහිතව නව කිරීම් සඳහා කි‍්‍රයාකරන අවස්ථා ද හඳුනාගත හැකි ය. මහනුවර නාගරික සංවර්ධන ප‍්‍රදේශය සඳහා සංවර්ධන සැලැස්මේ II වන වෙළුමේ 70 වන වගන්තියට අනුව යම් ගොඩනැඟිල්ලක් අනාරක්ෂිත බවට ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් සහතික කරනු ලැබ තිබේ නම්, පදිංචිකරුවන් හෝ මහජනයාට අනතුරුදායක එවැනි ගොඩනැඟිල්ලක් අලුත්වැඩියා කරන ලෙස හෝ කඩා දමන ලෙස හෝ එහි අනතුර ඉවත්වන අන්දමේ වෙනත් අත්දැකීමකින් කි‍්‍රයා කරන ලෙස අධිකාරිය විසින් ඒ ගොඩනැඟිල්ලේ අයිතිකරුට නියම කළ හැකි ය (සංවර්ධන සැලැස්ම 2002, 33 පි.). නාගරික සංවර්ධන බල ප‍්‍රදේශය සඳහා සංවර්ධන සැලැස්මේ II වෙළුමේ IV වන උපලේඛනයේ ‘ඌ’ ආකෘතියේ දැක්වෙන ගොඩනැඟිල්ලක හෝ ව්‍යුහයේ හිමිකරුවාට හෝ නිවැසියාට එම ගොඩනැඟිල්ල හෝ ව්‍යුහය කඩා බිඳ දැමීම, ප‍්‍රතිසංවර්ධනය කිරීම, වෙනස් කිරීම හෝ වැඩිදියුණු කිරීම තහනම් ය. මෙම නීතිමය තත්ත්වය කෙතරම් උල්ලංඝනයට ලක් වී ඇත් ද යන්න ඉතා පැහැදිලි ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හා නාගරික සංවර්ධන අධිකාරියට වාර්තා වී ඇති බොහෝමයක් ගොඩනැඟිලි නීති උල්ලංඝනය කිරීම්, කොටස් එකතු කිරීම්, අලුත්වැඩියා කිරීම්, කඩා බිඳ දැමීම් හා ප‍්‍රති සංවර්ධනය කිරීම් සමග සම්බන්ධ වේ. එහෙත් මෙලෙස වාර්තා වූ තත්ත්වයන්ට අමතරව තවත් බොහෝ උල්ලංඝනය කිරීම් සිදු වී ඇති අතර එයට හේතු වී ඇත්තේ ගොඩනැඟිලි ප‍්‍රමිතීන් හා සැලසුම් රෙගුලාසි උල්ලංඝනය කිරීම් නිරීක්ෂණය කිරීමට හා පාලනය කිරීමට විධිමත් පසුවිපරම් යාන්ත‍්‍රණයක් නොමැති වීමයි. ඒ සඳහා ආයතන අතර සහ ප‍්‍රජාව අතර සම්බන්ධීකරණය දුර්වල වීම, ප‍්‍රමාණවත් කාර්යමණ්ඩල ධාරිතාවක් නො මැති වීම වැනි කරුණු හේතු වී ඇත.

උක්ත ගැටලු සඳහා විසඳුම් සෙවීමේ දී අප විසින් සංරක්‍ෂණය කළ යුක්තේ කුමක් ද? සංරක්‍ෂණය කළ යුක්තේ ඇයි? කවුරුන් සඳහාසංරක්‍ෂණය කරන්නේ ද? ආදී ස්ථානීය බද්ධ ගැටලු ආමන්ත‍්‍රණය කළයුතු වේ. මෙහි දී නාගරික උරුම සංරක්‍ෂණ ප‍්‍රවේශයක් ලෙස යෝග්‍ය පුනර්භාවිත සංකල්පය (Adaptive reuse) නාගරික සන්දර්භයේ සාමාජීය, ආර්ථික හා භෞතික මානයන් ආමන්ත‍්‍රණය කරන සාධනීය පිළිතුරක් කරගැනීමේ හැකියාව පවතී. නාගරික වාස්තුවිද්‍යාත්මක අංග සංරක්ෂණයේ දී යෝග්‍ය පුනර් භාවිතාව සංකල්පය සංරක්ෂණමය මැදිහත්වීමක් ලෙස ඓතිහාසික ගොඩනැඟිලි අතහැර දැමීමෙන්, ගරා වැටීමෙන් වළක්වා ඒවායේ ජීවන කාලය දීර්ඝ කිරීමේ ක‍්‍රමවේදයක් ලෙස පිළිගෙන ඇත. ඒ තුළින් ගොඩනැඟිලිවල යල් පැන ගිය උපයෝගීතාවන් පරිවර්තනයකට ලක් කර නාගරික සන්දර්භයේ නූතන අවශ්‍යතාවන්ට සරිලන ලෙස නව භාවිතාවන් හඳුන්වා දීම සිදු වේ. නාගරික සන්දර්භයක් තුළ යෝග්‍ය පුනර් භාවිතාව භෞතික, ආර්ථිකමය මෙන් ම පාරිසරික දෘෂ්ටිකෝණයන්ගෙන් සලකන විට සංරක්ෂණයේ දී ඉතා යහපත් ප‍්‍රවේශයකි. එම ප‍්‍රවේශය හරහා නිසැක වශයෙන් ම තත් ගොඩනැඟිලිවල හිමිකරුවන්ගේ සහ පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වයට යහපත් බලපෑමක් උදා කරන අතර සංචාරකයින්ට මෙන් ම ඒවා භාවිත කරන්නන් හට ද සුභවාදී බලපෑම් ඇති කරයි.

මහනුවර ජගත් උරුම නගරයේ පෞරාණික ගොඩනැඟිලි සම්බන්ධයෙන් යෝග්‍ය පුනර්භාවිතාවේ ස්වරූපය අධ්‍යයනයේ දී පැහැදිලි වන කරුණක් නම් සංවේදී ආගමික ගොඩනැඟිලි සම්බන්ධයෙන් වැදගත් වෙනස් ප‍්‍රතිසංස්කරණමය ප‍්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවයි. උදාහරණ ලෙස දළදා මාළිගාව සහ සතර දේවාල, අස්ගිරි හා මල්වතු විහාර, කි‍්‍රස්තියානි, මුස්ලිම් දේවස්ථාන හා ඒවායේ පෞරාණික උපයෝගීතාවන් තුළ ම ප‍්‍රතිසංස්කරණය කර ඇත. ජගත් උරුම නගරයක් ලෙස ඒවායේ උපයෝගීතාමය තථ්‍යතාව පවත්වා ගැනීම වැදගත් වන බැවිනි. යෝග්‍ය පුනර්භාවිතාව සංකල්පය කි‍්‍රයාවට නැගීමේ දී යෝග්‍ය නව භාවිතාවක් තෝරා ගැනීම තීරණාත්මක කරුණකි. Highfield (1987)ට අනුව යෝග්‍ය භාවිතාවන් ලෙස පෙන්වා දෙන සිල්ලර වෙළෙඳාම, කාර්යාල, කර්මාන්ත, ගබඩා, හෝටල, නිවාඩු නිකේතන, නේවාසික ස්ථාන, ආගමික හෝ සාමාජීය කි‍්‍රයාකාරකම් සඳහා පහසුකම්, සුභසාධන පහසුකම්, සෞඛ්‍ය මධ්‍යස්ථාන, කෞතුකාගාර, කලාගාර මෙන් ම නේවාසික, වාණිජ සහ මිශ‍්‍ර නේවාසික, වාණිජ කර්මාන්ත භාවිතාවන් සහ Tiesdell et al 1996, p. 69) අවධාරණය කරන සංචාරක කර්මාන්ත, නේවාසික සහ වාණිජ කර්මාන්ත උපයෝගීතාවන් සම්බන්ධයෙන් මහනුවර සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගෙන තිබේ.

දළදා මාළිගාව අවට පූජා භූමි ප‍්‍රදේශය තුළ ස්මාරක පුනරුත්ථාපනය අරමුණු කරගෙන එම ප‍්‍රදේශයේ පූජනීයත්වයට අදාළ නොවන භාවිතාවන් (අධිකරණ කටයුතු, කාර්යාල, රක්ෂිත බන්ධනාගාර, තොග වෙළෙඳ කටයුතු) ඉවත් කිරීම, සංවර්ධනයන් පාලනය කිරීම සහ ගොඩනැඟිලි ප‍්‍රමිතීන් පැනවීම ආදී කි‍්‍රයා මාර්ග තුළින් කටයුතු කරමින් සිටින අතර උක්ත කි‍්‍රයාකාරකම් නිසා ප‍්‍රජාවගේ පාර්ශ්වයෙන් විවිධ අභියෝගයන් ද එල්ල වෙමින් පවතී. උදාහරණයක් ලෙස දේව වීදියේ පිහිටි නීතීඥ ගොඩනැඟිල්ල නාගරික සංවර්ධන අධිකාරිය මගින් සංචාරක අවශ්‍යතාවන් සඳහා ප‍්‍රතිසංස්කරණයට ගන්නා ලද තීරණයේ දී එහි හිමිකරුවන් තීරණ ගැනීමේ කි‍්‍රයාවලිය සඳහා ප‍්‍රමාණවත් ලෙස බද්ධ කොට නො ගැනීම තත් ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රමාද වීමට හේතු වී ඇත. මින් පැහැදිලි වන්නේ නව භාවිතාවන් හඳුන්වාදීමේ දී සංචාරකයින්ගේ මෙන් ම ප‍්‍රජාවගේ අවශ්‍යතාවන් පිළිබඳවද මනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි. ප‍්‍රජා අවශයතාවන් හා නොගැලපෙන භාවිතාවන්ට ප‍්‍රජා සහභාගීත්වය ලබාගැනීම අභියෝගාත්මක ය. උරුම ක්ෂේත‍්‍ර සැලසුම්කරණයේ හා සංරක්ෂණයේ නිරත වෘත්තිකයින් හා ප‍්‍රජාව ඉලක්ක ගත කර සිදු කළ ප‍්‍රශ්නාවලි ගවේශනයෙන් හා සම්මුඛ සාකච්ඡාවන්ගෙන පැහැදිලි වන කරුණු කිහිපයකි (රාජපක්ෂ 2017, 281-308.පි.). සමස්තයක් වශයෙන් සියලු දෙනා ම මහනුවර නාගරික උරුමයේ අගය පිළිබඳ සංවේදී වුවත්, ගොඩනැඟිලි සංරක්ෂණය හා සංරක්ෂණ ක‍්‍රමවේද පිළිබඳ මතවාද විවිධ වේ. විශේෂයෙන් පුරාවිද්‍යාඥයින්, වාස්තුවිද්‍යාඥයින් හා සංරක්ෂණ වෘත්තිකයින් මහනුවර නගරයේ A,B,C,D වශයෙන් වර්ගකර ඇති සමස්ත ගොඩනැඟිලි පද්ධතිය නාගරික උරුම ගති ලක්ෂණයේ විශේෂ අංගයක් වන බැවින් සංරක්ෂණය කිරීමේ උපයෝගිතාව හා වැදගත්කම පිළිබඳ සංවේදී වන අතර සැලසුම් ශිල්පීන් නගරයේ C හා D පන්තියේ ගොඩනැඟිලි නූතන වාණිජ කටයුතුවලට මෙන් ම සංවර්ධනයට බාධාවක් සේ සලකා ඉවත් කළ යුතු බව අවධාරණය කරයි. එයට හේතු ලෙස ඔවුන් විසින් පෙන්වා දෙනු ලබන්නේ ඒවා ව්‍යුහාත්මක දුර්වලතා හේතුවෙන් අකාර්යක්ෂම මෙන් ම එහි හිමිකරුවන්ට ඒවා නඩත්තුව සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම ය. එසේ ම එම ගොඩනැඟිලි බොහොමයක් නාගරික ප‍්‍රජාවගේ ගුණාත්මක ජීවන පැවැත්මට ද ගැටලු මතු කර ඇත.

නගරයේ වාණිජමය උපයෝගිතාව අනුව සැලකීමේ දී නගර සැලසුම් ශිල්පීන් හා දේපළ සංවර්ධකයින් මෙන් ම ප‍්‍රජාව ඒ පිළිබඳව සැලකිලිමත් ය. ගොඩනැඟිලි භාවිතය සඳහා කල්බදු ක‍්‍රමයට ගැනුම්කරුවන්, ආකර්ෂණය හා ගැනුම්කරුවන් රඳවා තබා ගැනීමට ගැටලු මතු වී ඇත. එබැවින් වෙළෙඳපළ අගය හා අලෙවි කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සලකා බැලීමේ දී බොහෝ අය විකල්පයක් ලෙස තෝරා ගන්නේ සංරක්ෂණය නොව කඩා ඉවත් කොට ප‍්‍රතිසංවර්ධනය කිරීමේ ප‍්‍රවේශයයි. එහෙත් ඊට ප‍්‍රතිවිරුද්ධව විකල්පයක් ලෙස වාස්තුවිද්‍යාඥයින් හා සංරක්ෂණ ශිල්පීන් ප‍්‍රකාශ කරන්නේ යෝග්‍ය පුනර්භාවිත සංකල්පය තුළින් සංරක්ෂණය සඳහා උක්ත අගයයන් ලබා ගත හැකි බවකි. ගොඩනැඟිලි හිමිකරුවන් හා භාවිත කරන්නන් මතු කරන ප‍්‍රධාන කරුණක් නම් දැරීමට සිදුවන වැය හා ප‍්‍රතිලාභ අතර පරතරයයි. බොහෝ ගොඩනැඟිලි ව්‍යුහාත්මක දුබලතාවලින් යුත්ක බැවින් ඒවා ශක්තිමත් කිරීම වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය අධික ය. එහි දී සාපේක්ෂව පුනර්භාවිතාව ආර්ථිකමය වශයෙන් ප‍්‍රතිඵල රහිත ක‍්‍රියාවක් සේ තක්සේරු කෙරේ.

නාගරික උරුම සැලසුම්කරණය හා සංරක්ෂණයේ නිරත වෘත්තිකයින් හට අනාගතයේ තීරණ ගැනීමේ දී නාගරික තිරසාරභාවය පිළිබඳ සලකා බැලීමට සිදු වේ. එහි දී විධිමත් ඇගයීමක දී ආර්ථික, පාරිසරික හා සමාජීය ප‍්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කිරීමට සිදු වේ. එහි දී හුදෙක් ආර්ථික විභවතාව මත පමණක් බර තබා තීරණ ගැනීම හරහා නිරායාසයෙන් කඩා ඉවත් කිරීමේ හා ප‍්‍රතිසංවර්ධනය කිරීමේ විකල්පය දෙසට දෝලනය වීම නොවැළැක්විය හැකි ය. එපරිද්දෙන් ම හුදෙක් හිමිකාර සාම්ප‍්‍රදායික ප‍්‍රජාව, සාම්ප‍්‍රදායික වාස්තුවිද්‍යාව (යටත්විජිත, මහනුවර) පවත්වා ගැනීම වැනි උරුම මාන හා ප‍්‍රජා මාන මත බර තබා තීරණ ගැනීමෙන් ද නගරය වාණිජමය වශයෙන් අගයක් රහිත, පුරාණ ගොඩනැඟිලි සහිත අවකාශයක් බවට පත්වීම ද නොවැළැක්විය හැකි ය. එබැවින් මේ තුළ තුලනයක් අවශ්‍ය වේ. මහනුවර සංවර්ධන හා සංරක්ෂණ සැලසුම මගින් උපායමාර්ගිකව උක්ත තුලනය ඇති කිරීමට මේ දක්වා සමත්ව නැති බව අපගේ නිරීක්ෂණයයි.

යෝග්‍ය පුනර් භාවිත සංකල්පය කි‍්‍රයාවට නැගීම සංකීර්ණ කි‍්‍රයාදාමයක් වන බැවින් එහි දී පවත්නා වූ නෛතික රෙගුලාසි ද සමහර විට බාධාවන් බවට පත් වෙමින් ව්‍යාපෘති ප‍්‍රමාදයට හේතු වේ. උදාහරණයක් ලෙස පූජා භූමි ප‍්‍රදේශය සහ ඊට අනුබද්ධ නගර මධ්‍ය භාවිතාවන් හඳුන්වා දීම තුළින් නගරයේ පැරණි මිශ‍්‍ර භාවිතාව මුලිනුපුටා දැමීමක් සිදු වන අතර ඒ හරහා සංරක්ෂිත ප‍්‍රදේශය භෞතිකව සුන්දර වුවත් නගරයේ සැබෑ මූල ප‍්‍රාණයට ඉන් බලපෑමක් සිදු වීම නොවැළැක්විය හැකි ය. උදාහරණ ලෙස පූජා භූමියට සමීප කලාපය සංරක්ෂණය කළ යුතු කලාපයක් ලෙස හඳුනාගෙන ඇති අතර එම කලාපය තුළ වාණිජ කටයුතු සීමා කිරීමත් (බැතිමතුන් සඳහා නවාතැන්, පළතුරු, රස කැවිලි, පූජා භාණ්ඩ වෙළෙඳ සැල්, ආපන ශාලා, කුඩා බැංකු සහ සන්නිවේදන මධ්‍යස්ථාන) සිදු කෙරේ. එමෙන් ම ගොඩනැඟිලි නවීකරණ හා අලුත්වැඩියා කිරීම් මෙන්ම නව සංවර්ධන කාර්යයන් සඳහා 2001 නොවැ 08 අංක 1209/09 දරන ගැසට් පත‍්‍රය මගින් සීමා පනවා ඇත.

නගරය තුළ ගොඩනැඟිලි එහි මුල් අයිතිකරුවන්ගෙන් ගිලිහී මෑත කාලීනව වෙනත් මධ්‍යම පාන්තික වාණිජ අරමුණු සහිත කණ්ඩායමක් අතට පත් වීම ද යෝග්‍ය පුනර්භාවිතා සංකල්පය කි‍්‍රයාත්මක කිරීමෙහි ලා අභියෝගාත්මක ලෙස බලපා ඇත. නව නාගරික මධ්‍යම පාන්තිකයන්ගේ ආකල්පයන් හා අවශ්‍යතාවන් මුල් අයිතිකරුවන්ට හා පදිංචිකරුවන්ට සාපේක්ෂව වෙනස් වන අතර එය නගරයේ සංස්කෘතික තිරසාරභාවයට අභියෝගයක් වී ඇත. මේ අතරින් සුළු පිරිසක් සිය ගොඩනැඟිලිවල භෞතික තත්ත්වය වැඩිදියුණු කිරීමේ දී සංවේදී ව කටයුතු කළත්, බහුතරයක් වාණිජ ප‍්‍රජාව වාණිජ අවශ්‍යතා උදෙසා නෛතික සීමා උල්ලංඝනය කරමින් විනාශකාරී ලෙස වැඩිදියුණු කිරීම්වල නිරත ව සිටී. මේ තත්ත්වය සඳහා නෛතික බලය සහිත ආයතනයන්ගේ නිද්‍රාශීලී බව ද හේතු වී ඇත. අවසානයේ එය නගරයේ තථ්‍යතාව හා ඒකාබද්ධතාවට දැඩි ලෙස අහිතකර බලපෑම් එල්ල කර ඇත.

මහනුවර පූජනීය නගර ප‍්‍රජාවගේ ආකල්ප හා මතවාද විමසුමේ දී ඔවුන්ගේ ඓතිහාසික නගරයන්හි ප‍්‍රතිරූපයට අදාළ ගතිලක්ෂණ වන පූජනීයත්වය, අධ්‍යාත්මක අගය, සංකේතාත්මක අරුත් මෙන් ම ඒ හා බද්ධ වූ ආගමික කි‍්‍රයාකාරකම්, අභිචාර, ජනශ‍්‍රැති ආදිය පිළිබඳව ද මහත් වූ ශ‍්‍රද්ධාවකින් හා ඇගයීමකින් අදහස් ප‍්‍රකාශ කරන ලදි. මේ තුළින් උරුම නගරයන්හි කේන්ද්‍රීය අගයන් (Core meanings) පිළිබඳ ව සංරක්ෂණයේ වෘත්තීමය ප‍්‍රජාවට කදිම අවබෝධයක් ලබා ගත හැකි අතර ඒ හරහා සැලසුම් ප‍්‍රවේශ තුළින් සංරක්ෂණ කි‍්‍රයාදාමය තුළ ප‍්‍රවර්ධනය කළ යුතු අගයන් පිළිබඳ ව අවබෝධයක් ලැබේ. එබැවින් උරුම කළමනාකරුවන්ගේ වගකීමක් වන්නේ උක්ත උරුම නගර ප‍්‍රතිරූපයට අදාළ කේන්ද්‍රීය අගයන් සංරක්ෂණයට උපාය මාර්ගික කටයුතු කිරීමයි. එසේ ම ප‍්‍රජාව තවදුරටත් උරුමය පිළිබඳ ප‍්‍රවර්ධන කි‍්‍රයාකාරකම්, මාධ්‍ය වැඩසටහන්, පුවත්පත් තොරතුරු, ස්මරණය ආදිය හරහා දැනුවත් කිරීම ඔස්සේ ප‍්‍රජා සහභාගීත්වය හා සංවේදීතාව වර්ධනය කළ හැකි වේ. ඒ තුළින් උරුම නගරයන්හි කේන්ද්‍රීය අගයන් ප‍්‍රජාවගේ සංවේදීත්වය තුළින්ම ආරක්ෂා වන අතර ඒ හරහා සංචාරක කර්මාන්තය තුළින් ද ආකර්ෂණීය ඉල්ලුමක් ජනිත වේ. මෙය නගරයේ ආර්ථික සංවර්ධනයට බලපාන අතර ප‍්‍රජා යහසාධනයට නිරායාසයෙන් ම හේතු වේ.

කිසියම් උරුම ක්ෂේත‍්‍රයක උරුමය සංරක්ෂණයේ දී තත් සංස්කෘතික භූ දර්ශනය සහ ප‍්‍රජා අනන්‍යතාවන් පවත්වා ගැනීම අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් ක්ෂේත‍්‍රය සංස්කෘතික වෙනස්වීම් සම්බන්ධයෙන් ගතික නාගරික ක්ෂේත‍්‍රයක් වන විට සංවර්ධන කි‍්‍රයාකාරකම් සඳහා පීඩනය අනිවාර්ය අංගයක් වන අතර ඒ හරහා සංස්කෘතික අනන්‍යතා සඳහා තර්ජනයක් එල්ලවීම නො වැළැක්විය හැකි ය. මේ නිසා ම උරුම සංරක්ෂණ කි‍්‍රයාකාරකම් සංස්කෘතික වෙනස්වීම් සඳහා ප‍්‍රතිචාරාත්මක යාන්ත‍්‍රණයක් විය යුතු අතර ඒ හරහා සංස්කෘතික අනන්‍යතා පවත්වා ගනිමින් අපේක්ෂිත සංවර්ධනයන් සඳහා පහසුකම් සැපයිය හැකි වනු ඇත. ඒමගින් භෞතික පරිසරයේ වෙනස්වීම් පාලනයක් සිදු වේ. මෙම ප‍්‍රවේශය වේගවත් සංස්කෘතික හා පාරිසරික වෙනස්වීම් සහිත ක්ෂේත‍්‍රයකට වැදගත් වේ.

ඓතිහාසික උරුම සංරක්ෂණ කි‍්‍රයාදාමය පීඩනයන් ජනනය කරන කි‍්‍රයාවලියක් ද වේ. විශේෂයෙන් සංවර්ධන පාලන යාන්ත‍්‍රණය හරහා සංවර්ධනය ඓතිහාසික සැකැස්ම හා භූ දර්ශනය වෙනස් වීම සඳහා බලපෑම් කරනු ලබන කරුණක් ලෙස සැලකීම හරහා පහසුකම් සංවර්ධනයන් මෙන් ම පවත්නා ගොඩනැඟිලි භෞතික ලෙස වෙනස්වීම් පාලනය කෙරේ. මේ කි‍්‍රයාදාමය තුළින් නිදහස සීමා වීම මහනුවර නගරයේ වෙළෙඳ ප‍්‍රජාවට මෙන් ම සංවර්ධනය අපේක්ෂා කරන්නවුන්ට අසහනයක් ඇති කරයි. සංරක්ෂිත නිර්මිත පරිසරය නගරයේ වෙනස්වන අවශ්‍යතා සඳහා නොගැළපෙන විට අසහනය තවදුරටත් පැවතීම සිදු වේ. ජීවමාන ඓතිහාසික නගරයක් වන මහනුවර නගරයේ සංරක්ෂණ ප‍්‍රතිඵලවල අනම්‍ය බව හා සංරක්ෂණ ආයතනයන්හි අකාර්යක්ෂම තත්ත්වයන් පිළිබඳව ප‍්‍රජා ආකල්පයන් අතිශයින් විවේචනාත්මක ය. සියලු සංරක්ෂණ තීරණ සැලසුම් ශිල්පීන් හා වාස්තුවිද්‍යා ශිල්පීන් හා පුරාවිද්‍යාඥයින් විසින් ගනු ලැබීම තුළ නගරයේ ජීවත් වන ප‍්‍රජාවගේ අවශ්‍යතාවන් අමතක කර ඇති බවට ප‍්‍රජා විවේචනයක් පවතී. එසේම සංරක්ෂණ වැඩසටහන් හරහා සමහර ප‍්‍රජා කණ්ඩායම්වලට සිය දේපළ අත හැරීමට සිදු වී ඇති අතර ඒ සඳහා ප‍්‍රමාණවත් ලෙස වන්දි ගෙවීමක් සිදු වී නොමැත. මේ තත්ත්වයන් තුළ පීඩාවට හා අසහනයට පත් කණ්ඩායම්වලින් එල්ල වන විරෝධය සංරක්ෂණ වැඩසටහන් හා සැලසුම් සඳහා තවදුරටත් බාධා පමුණුවයි.

සංරක්ෂණ කි‍්‍රයාදාමයේ දී ප‍්‍රජා අපේක්‍ෂාවන් හා පොරොන්දු වූ පරිදි කටයුතු සිදු නො වීම පිළිබඳ ව ද ප‍්‍රජාව තුළ ඇත්තේ අසහනයකි. ප‍්‍රධාන වශයෙන් උරුම නගරයේ සංරක්ෂණ කි‍්‍රයාදාමය පරමාර්ථ කීපයක් සාක්ෂාත් කර ගත යුතු වේ. පළමුව සංස්කෘතියේ වැදගත් සංස්කෘතික ගති ලක්ෂණවල අවිච්ජින්නතාව පවත්වාගෙන යාම, දෙවනුව භෞතික හා සමාජ ආර්ථික පරිසරයේ යෝග්‍ය වර්ධනය හා වෙනස්කම්වලට පහසුකම් සැලැස්වීම සහ සංරක්ෂණ කි‍්‍රයාදාමය ඌණ ජීවන සංවර්ධන කි‍්‍රයාදාමයක් බවට පත් කිරීම, සංස්කෘතියේ අවිච්ජින්නතාව හා වෙනස්වීම කළමනාකරණයේ දී වෙනස් කළ යුත්තේ කුමක් ද අඛණ්ඩව පවත්වාගෙන යා යුත්තේ කුමක් ද යන්න තේරුම් ගැනීම හා ඒ ද්වයේ මනා තුලනය ද වැදගත් වේ. මේ කි‍්‍රයාදාමය අර්ථවත් ලෙස සිදු කිරීමේ දී සමස්ත ප‍්‍රජාවගේ අපේක්ෂාවන් ද සැලකිල්ලට ගැනීම වැදගත් වේ.

නගරයේ උරුම සංරක්ෂණ කි‍්‍රයාදාමය හා බැඳුණු අභියෝග හා ගැටලු නිරීක්ෂණය කර බලන විට එම කි‍්‍රයාදාමය සාර්ථක කර ගැනීමෙහි ලා උපාය මාර්ග කීපයක් අනුගමනය කිරීම යෝග්‍ය බව පෙනේ. ඒ අතර ආකල්පමය වෙනස්වීම, උපරිම ප‍්‍රජා සහභාගීත්වය, සංස්කෘතියේ හා නිර්මිත පරිසරයේ කේන්ද්‍රීය හා පරිධිය ලක්ෂණ හඳුනා ගැනීම, ක‍්‍රමික සංවර්ධනය හා සංරක්ෂණ සහ ප‍්‍රධාන අන්තර් ආයතන සබඳතාව වැඩිදියුණු කිරීම හා මූල්‍යමය සහාය වැඩිදියුණු කිරීමට කටයුතු කිරීම උචිත ය.

සංරක්ෂණ වැඩසටහනේ සාර්ථකත්වය උදෙසා වඩා වැදගත් වන්නේ පුරවැසි ප‍්‍රජාවගේ ආකල්පමය වෙනස් වීමයි. ලෝක උරුමයක් බවට පත්වීම හරහා ප‍්‍රජාව නගරයේ අනාගතය පිළිබඳ ව දැඩි අපේක්ෂා සහගත බවකින් පසුවීම හා පසු කාලීන සංරක්ෂණ හා සංවර්ධන කි‍්‍රයාකාරකම් හරහා අපේක්ෂිත පරමාර්ථ ඉටු නො වීම තුළ ලෝක උරුමය සංර්ධනයට බාධාවක් වැනි මතවාදයන් ප‍්‍රජාව තුළ දක්නට ලැබේ. මේ තත්වයට බලපා ඇත්තේ සංරක්ෂණ වැඩසටහන් තුළ පවතින ප‍්‍රජාවට ලබා දී ඇති පොරොන්දු ඒ අයුරින් සංරක්ෂණ කි‍්‍රයාදාමය තුළ කාර්යක්ෂමව හා ප‍්‍රතිඵලදායී ලෙස කි‍්‍රයාත්මක නො වීමයි. මෙහි දී ප‍්‍රජාව සංරක්ෂණ කි‍්‍රයාදාමය දෙස වඩා යථාර්ථවාදීව බැලීමට, එනම් එහි අවශ්‍යතා, පරමාර්ථ, සීමාවන් හා ප‍්‍රතිඵල පාර්ශ්වකරුවන් වන බලධාරීන්ට මෙන් ම ප‍්‍රජාවට පැහැදිලි වීම වැදගත් වේ. එසේ නො වීම තුළ සංරක්ෂණ වැඩසටහන් පිළිබඳ ව විඝටනාත්මක විවිධ මතවාදයන් ජනිත වීම සමස්ත කි‍්‍රයාදාමයට ම හානිකර වේ. ප‍්‍රජාව තුළ පෞරාණික නිර්මිත පරිසර අංග කිසිදු වෙනසක් නො කොට ආරක්ෂා කිරීම පිළිබඳ අදහසත්, සංරක්ෂණය ඓතිහාසික නගරයේ සංවර්ධනයට බාධාවක් සේ දකින ඍණාත්මක ආකල්පයත් යන කාරණා දෙකම සංරක්ෂණ කි‍්‍රයාදාමය සඳහා හානිකර ය. එසේ ම උරුම සංරක්ෂණ බලධාරීන් තුළ පවත්නා ආකල්පයක් වන්නේ උරුම සංරක්ෂණ ගැටලු තේරුම් ගැනීමට තරම් ප‍්‍රමාණවත් දැනුමක් ප‍්‍රජාවට නොමැති බවයි. එසේ නොමැති නම් එය ලබා දීම බලධාරීන්ගේ වගකීමක් වන අතර ඔවුන් නොසලකා හැරීමේ හෝ ආන්තිකකරණයට ලක් කිරීමේ ආකල්පය වෙනස් විය යුතු වේ. එසේම දණඩනයට වඩා දිරි දීමේ ප‍්‍රවේශය මෙහි දී වඩාත් ප‍්‍රයෝගික ය. මේ තුළින් සැලසුම්කරුවන් වන බලධාරීන් හා ප‍්‍රජාව අතර පවත්නා දුරස්බව පහ වී යන අතර දෙපාර්ශ්වයට සංරක්ෂණ කි‍්‍රයාකාරකම් පිළිබඳව වඩා යථාර්ථවාදී වීමට අවකාශයක් උදා කොට අනේ්‍යාන්‍ය අවබෝධය තුළින් වඩාත් යහපත් ප‍්‍රතිඵල ලබා ගැනීමට හැකියාව සැලසේ. සංරක්ෂණ කි‍්‍රයාදාමය නිසා බලපෑමට ලක් වන සියලු පාර්ශ්වකරුවන් ආරම්භයේ සිට සම්බන්ධ කර ගැනීම සඳහා විධිමත් දැනුවත් කිරීම් වැඩසටහන් හා අදහස්, ප‍්‍රතිචාර ලබා ගැනීමේ යාන්ත‍්‍රණයක් පැවතිය යුතු වේ. දැනට මහනුවර නගර සභාව මගින් කි‍්‍රයාත්මක ලෝක උරුම කමිටුව මෙහි දී යම් ප‍්‍රමාණයකට ගැටලු හා මත ගැටුම් අවම කර ගැනීමේ යාන්ත‍්‍රණයක් ලෙස කි‍්‍රයාත්මක වේ.

නගරය තුළ කි‍්‍රයාත්මක සැලසුම් කි‍්‍රයාත්මක වීම් පිළිබඳ ප‍්‍රජා දැනුවත් භාවය ඌණ වී ඇත්තේ ඒ පිළිබඳ ව යාවත්කාලීන තොරතුරු සන්නිවේදනය නො වීමයි. සහභාගීත්වය ලබා ගැනීමේ දී හුදු රැස්වීම්වලට සීමා වන අතර පුද්ගලික සම්මුඛ සාකච්ඡා, දුරකථන සමීක්ෂණ, පුහුණු සැසි, විවෘත සවන්දීම් වැනි ක‍්‍රමවල ඌණතාවක් පවතී. සංරක්ෂණ ව්‍යාපෘති පිළිබඳ දැනුවත් කරනු වස් මාධ්‍ය වැඩසටහන්, පුවත්, සඟරා, සංස්කෘතික අවස්ථා, උරුම සංචාරක තොරතුරු මධ්‍යස්ථාන අදිය සකි‍්‍රය වීම ආදිය වැදගත් වේ. දැනට ‘සෙන්කන්ඩ’, ‘මහනුවර’ වැනි පුවත්පත් උරුම නගරයේ ගැටලු පිළිබඳ මහජන නියෝජිතයන්, වෘත්තිකයින්, ප‍්‍රජා මූල සංවිධාන නායකත්වයන් හා වාණිජ ප‍්‍රජාව අතර ප‍්‍රජා කථිකාවක් සඳහා වේදිකාවක් මෙන්ම අවකාශයක් නිර්මාණය කිරීමට සමත් ව ඇතත්, මහනුවර කි‍්‍රයාත්මක තොරතුරු මධ්‍යස්ථානය (ලක්සල ගොඩනැඟිල්ල තුළ කි‍්‍රයාත්මක) ශාස්ත‍්‍රීය මට්ටමේ විවිධ දේශන හා සාකච්ඡා සිදු කළ ද පුරවැසි සහභාගීත්වය දිරි ගැන්වීමෙහි ලා හෝ ප‍්‍රවර්ධනයෙහි ලා ප‍්‍රමාණවත් මෙහෙවරක් ඉටු නො කරයි.

උරුම සම්පත් සංරක්ෂණය සහ කළමනාකරණය සඳහා ප‍්‍රාදේශීය ප‍්‍රජා මැදිහත්වීම ඌණ වීම කෙරෙහි බලපාන ප‍්‍රධාන කරුණක් ලෙස පෙනී යන්නේ ශී‍්‍ර ලංකාවේ පරිපාලන යාන්ත‍්‍රණය හා බැඳුණු ආයතනමය ව්‍යුහයේ ගැටලුකාරීත්වයයි. උදාහරණ ලෙස උරුම සංරක්ෂණ හා කළමනාකරණ, සංචාරක සංවර්ධන හා සැලසුම් සම්පාදනයේ දී රාජ්‍ය බලධාරීන් විසින් තීරණ ගැනීමේ ආකල්පය සාමාන්‍ය ප‍්‍රවේශයක් බවට පත් වී ඇත. මහනුවර ජගත් පූජනීය නගරයෙහි උරුම සංරක්ෂණය, කළමනාකරණය, සැලසුම්කරණය හා සංචාරක සංවර්ධන කි‍්‍රයාදාමයන්හි දී පරිපාලන යාන්ත‍්‍රණය විසින් ප‍්‍රජා සහභාගීත්වය විවිධාකාරයෙන්, එනම් විටෙක හුදු සංකේතාත්මක දැනුම් දීම්, උපදෙස් ලබා ගැනීම්වල සිට අවශ්‍ය පරිදි අත්තනෝමතින ලෙස හැසිරවීම දක්වා යොදා ගෙන ඇත. Tosun (2000) සඳහන් කරන්නේ මේ තත්ත්වය සංවර්ධනය වෙමින් පවත්නා රටවල සාමාන්‍ය තත්ත්වයක් බවයි. ප‍්‍රජාව සහ බැඳුණු ගැටලුවල දී වඩාත් ම යෝග්‍ය තීරණය ගැනීම ප‍්‍රජාවට නොපවරා ඔවුන් වෙනුවෙන් අවසන් තීරණ ගැනීම සිදු වේ. ප‍්‍රජාවට පවත්නා බල සීමාවන් තුළ උරුම සැලසුම්කරණය හා සම්බන්ධ ප‍්‍රතිපත්ති හා උපාය මාර්ග පිළිබඳ තීරණ ගැනීමේ දී එය හුදු දැනුම් දීමකට පමණක් සීමා වේ.

රූප සටහන 2 මහනුවර උරුම නගරයේ කළමනාකරණ යාන්ත‍්‍රණය (රාජපක්ෂ 2017, 122 පි.)

උරුම ක්ෂේත‍්‍රයන්හි උරුම කළමනාකරණය හා සංචාරක ව්‍යාපාර සංවර්ධනය හා බද්ධ වන රාජ්‍ය ආයතන ව්‍යුහය තුළ අභ්‍යන්තරික කි‍්‍රයාවලීන් සඳහා වෘත්තීමය සුදුසුකමක් නො මැති ප‍්‍රාදේශීය ප‍්‍රජාව බද්ධ කර ගැනීම ප‍්‍රතිඵල විරහිත මෙන් ම කාලය අපතේ යැවීමක් ලෙස සැලකේ. රජයේ වර්තමාන උරුම සංරක්ෂණ සැලසුම් ප‍්‍රවේශයන් හා කි‍්‍රයාත්මක කිරීම් විමසා බැලීමේ දී ප‍්‍රාදේශීය ප‍්‍රජාව හා සම්බන්ධතාව අතිශයින් සීමාසහිත ය. මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ප‍්‍රාදේශීය රාජ්‍ය ආයතනයන්හි අනම්‍ය නිලධාරීවාදී කි‍්‍රයාවලීන් යග උදාහරණ ලෙස රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන් උරුම සම්පත් කළමනාකරණය සඳහා යාන්ත‍්‍රණයක් ලෙස භාවිත කරන්නේ නෛතික අණපනත් හා ප‍්‍රතිපත්තීන් ය. එසේ ම ශී‍්‍ර ලංකාවේ නූතන අණපනත්වල ද ප‍්‍රජා මැදිහත්වීම සම්බන්ධයෙන් පවත්නේ අතිශයින් සීමා සහිත අවකාශයකි.

ගැටුම්කාරී තත්ත්වයන් ද ප‍්‍රාදේශීය ප‍්‍රජා මැදිහත්වීම අධෛර්යමත් වීමට බලපා ඇත. විශේෂයෙන් ජගත් උරුම නගරයන්හි සම්පත්වල අයිතිය සම්බන්ධයෙන් පවත්නේ සංකීර්ණ තත්ත්වයකි. මෙම සංකීර්ණ ආයතනමය යාන්ත‍්‍රණය එක් අරමුණක් වෙනුවෙන් ජාලගත වූ ලෝක උරුම කමිටුව පැවතිය ද ඒ හරහා ප‍්‍රජා මැදිහත්වීම් දිරි ගැන්වීම වෙනුවෙන් සිදු වන කාර්යභාරය සීමාසහිත බවක් උසුලයි (රූප සටහන 1). තත් කමිටු තුළ ප‍්‍රාදේශීය ප‍්‍රජා නියෝජනය ද සංකේතාත්මක මුහුණුවරක් ගෙන තිබේ. මේ සඳහා හේතු වන්නට ඇත්තේ රාජ්‍ය ප‍්‍රතිපත්ති උපායමාර්ග සම්බන්ධ තාක්ෂණික තීරණ ගැනීමේ කි‍්‍රයාවලියට ප‍්‍රාදේශීය ප‍්‍රජාවගේ සහභාගීත්වය යෝග්‍ය හෝ වැදගත් නොවේ ය යන රාජ්‍ය නිලධාරීන්ගේ ආකල්පය වන බැවිනි.

උරුම කළමනාකරණයේ දී ප‍්‍රදේශීය ප‍්‍රජා සහභාගීත්වය කෙරෙහි ස්ථානීය ඇල්ම පිළිබඳ ආකල්පයේ බලපෑම ද වැදගත් නිර්ණායකයකි. Gu සහ Ryan (2008) පෙන්වා දෙන්නේ ස්ථානීය ඇල්ම (Place attachment) පිළිබඳ කාරණය ප‍්‍රජා ආකල්පයන් සහ දැක්ම සඳහා බලපෑම් කළ හැකි සාධකයක් මෙන් ම ක්ෂේත‍්‍රයේ භූ දර්ශන වෙනස් කිරීම් හා සංවර්ධන කටයුතු සඳහා දක්වන චර්යාත්මක ප‍්‍රතිචාරයන් මැනීමේ නිර්ණායකයක් ලෙස ද භාවිත කළ හැකි බවයි. පූජනීය උරුම නගරයෙහි පර්යේෂණ ප‍්‍රතිඵලයන්ට අනුව මෙම ස්ථානීය ඇල්ම පිළිබඳ සාධකය විවිධ ජනවාර්ගික කණ්ඩායම්ල වයස් කණ්ඩායම්ල අධ්‍යාපන පසුබිම්, නේවාසික භෞමික අවකාශයන්, පදිංචි කාල සීමා ආදී කරුණු මත විවිධාකාර වේ. මෙකී විවිධත්වයන්ට සාපේක්ෂව ප‍්‍රජා සහභාගීත්වයේ ද විවිධත්වයක් පෙන්නුම් කෙරේ. උදාහරණ ලෙස මහනුවර පූජනීය නගරයේ සංස්කෘතික ගති ලක්ෂණ පිළිබඳ සංවේදී සිංහල බෞද්ධ පිරිස් මෙන් ම නගරයේ බහු සංස්කෘතික ගති ලක්ෂණ පිළිබඳ සංවේදී සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් පිරිස් නාගරික උරුම ස්මාරක සංරක්ෂණයට දැඩි නැඹුරුවක් දක්වන අතර, වාණිජ අභිලාෂයන් සහිතව ස්මාරකවල අයිතිය ලබා ගත් මෑත කාලීන හිමිකරුවෝ් ඒවායේ ස්මාරකමය අගය නොසලකා වෙනස් කිරීම්, නැවත ඉදිකිරීම් වැනි කි‍්‍රයාදාමයන් හි යෙදී සිටිති. ඔවුන්ගේ දැක්ම වනුයේ ලෝක උරුම නගර සංකල්පය ඔවුන්ලේ වාණිජ අභිලාෂයන්ට හා සංවර්ධනයට බාධාවක් යන්නයි. මහනුවර පූජනීය නගරයේ සාම්ප‍්‍රදායික පදිංචිකරුවන් ස්ථානීය අනන්‍යතාවන් (පූජනීයත්වය, ආධ්‍යාත්මික අගය, සංස්කෘතික අගය) සම්බන්ධයෙන් සංවේදී වන අතර මෑත කාලීන පදිංචිකරුවන් ස්ථානීය සංචාරක විභවතාව නිසා ආර්ථිකමය ප‍්‍රතිලාභ කෙරෙහි දැඩි සැලකිල්ලකින් පසු වේ. පූජනීය නගර උරුම සම්පත් සංරක්ෂණය වෙනුවෙන් ගනු ලබන කි‍්‍රයාමාර්ගයන්හි දී ඔවුන්ගේ අඳෝනාව වනුයේ උරුම සංරක්ෂණ කළමනාකරණ සංවර්ධන සැලසුම් තුළින් තම දිවි පැවැත්මට අහිතකර බලපෑමක් වන බවයි. උරුම නගරය කෙරෙහි සංවේදී පිරිස් උරුම සංරක්ෂණ කටයුතු සඳහා ධනාත්මකව බද්ධ වන අතර, ස්ථානීය විභවතාව (වාණිජ, සංචාරක) ආර්ථික දෘෂ්ටිකෝණයෙන් සලකා කටයුතු කරන පිරිස් සංචාරක ව්‍යාපාර සැලසුම්කරණ හා සංවර්ධන කටයුතු කෙරෙහි වැඩි රුචියක් දක්වනු පෙනේ. මේ අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ස්ථානීය උරුම සංරක්ෂණය පිළිබඳව ද, බහුතරයක් තරුණ ප‍්‍රජාව නගරයේ ආර්ථිකමය ප‍්‍රතිලාභ කෙරෙහි ද වැඩි නැඹුරුවක් දක්වන බව පෙනේ.

Tosun (2006) සඳහන් කරන පරිදි උරුම ක්ෂේත‍්‍රයක් තුළ හා අවට ජීවත් වන ප‍්‍රජාවගේ කැපවීමක් අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් මහනුවර පූජනීය නගරයේ ස්මාරක ගොඩනැඟිලි හිමි සාම්ප‍්‍රදායික අයිතිකරුවන් මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගය නම්, නගරය තුළ වාණිජ හා සංචාරක අවශ්‍යතා මත තරගකාරීව සිදු කෙරෙන ගොඩනැඟිලි නවීකරණ අනුවර්තන, පරිවර්තන සඳහා මූල්‍යමය කැප කිරීමක් කිරීමට නොහැකි වීමයි. මේ නිසා ම ඉල්ලුම ඌණ වූවත් විකල්පයක් ලෙස ස්මාරක ගොඩනැඟිලි බද්දට දීම, කල්බදු දීම, විකිණීම, අන්සතු කිරීම සිදු වන අතර ඒ තුළ ස්ථානීය ඇල්ම සහ සංරක්ෂණයට අභියෝග එල්ල වීම නො වැළැක්විය හැක්කකි. මහනුවර නගරය තුළ බොහෝමයක් පැරණි ගොඩනැඟිලි හා ස්මාරක උක්ත පසුබිම තුළ නීතිවිරෝධී ලෙස විනාශ මුඛයට පත් වූ අවස්ථා වාර්තා වී ඇත. මින් අවධාරණය කෙරෙන්නේ පැරණි ස්මාරක තුළින් ආර්ථික ප‍්‍රතිලාභල උදා කරන සංරක්ෂණමය මැදිහත්වීම් කෙරෙහි උරුම සංරක්ෂණය සම්බන්ධ රාජ්‍ය ආයතනවල කඩිනම් අවධානය යොමු විය යුතු බවකි.

නාගරික උරුම ස්ථාන ප‍්‍රතිසංස්කරණයේ හා පුනරුත්ථාපනයේ ප‍්‍රධාන වැරැද්දක් නම් වෙනත් සංස්කෘතියකට අයත් අනන්‍යතාවන් සඳහා සැකසුණු ආකෘති අනුකරණය කර අනුගත කිරීමට කටයුතු කිරීමයි. මේ වන විට ලොව පුරා ඓතිහාසික නාගරික මධ්‍යස්ථාන සියයකට අධික සංඛ්‍යාවක් ජගත් උරුම ලේඛනයට ඇතුළත් කර ඇති අතර ඒ සියල්ල එකකින් අනෙකට වෙනස් වූ අනන්‍යතාවන් හා ගැටලුවලින් සමන්විත වේ. එහෙයින් කිසියම් නාගරික උරුම ක්ෂේත‍්‍රයක සාර්ථක ප‍්‍රතිඵල ගෙනදුන් ආකෘතියක් මේ අයුරින් අනන්‍යතාවන් සහිත තවත් නාගරික උරුම ක්ෂේත‍්‍රයක් සඳහා ප‍්‍රායෝගිකව යොදා ගැනීම ගැටලු සහගත ය. සෑම නගරයක්ම එහි පුරවැසියන්ගේ කිසියම් මනෝභාවයන්ගේ තත්ත්වයක් (State of mind) ප‍්‍රකට කරයි. එපරිද්දෙන් ම පූජනීය නගරයන් ද උසුලන්නේ ඒ ආශි‍්‍රත ප‍්‍රජාවගේ මනෝභාවයන්ගේ ප‍්‍රකාශයකි. එබැවින් එබඳු නගරයන්හි උරුම සංරක්ෂණය සඳහා මැදිහත්වීමේ දී විවිධ ජනවර්ගයන්ගේ මනෝභාවයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ.

නිගමනය

1988 දී යුනෙස්කෝ සංවිධානය මගින් මහනුවර පූජනීය ජගත් උරුම නගරයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම තත් උරුමය සංරක්ෂණය වැදගත් ජාතික අවශ්‍යතාවක් ලෙස පිළිගැනීමකි. එහෙත් දශක තුනකට ආසන්න කලකට පසුවත් තත් නාගරික උරුම සංරක්ෂණය පිළිබඳ අභියෝග හා ගැටලු විසඳී ඇති බවක් නොපෙනේ. උරුමයේ පාර්ශ්වකරුවන් අතර නාගරික උරුමයේ ස්වභාවය පිළිබඳ යථාවබෝධයක් නොවීම ප‍්‍රධාන ගැටලුවකි. උරුම ක්‍ෂේත‍්‍රයේ විවිධ පාර්ශ්ව කණ්ඩායම් (භික්ෂූන්, නේවාසික නාගරික ප‍්‍රජාව, ආයතනගත සැලසුම් ශිල්පීන්, වාස්තු විද්‍යාඥයින්, පුරාවිද්‍යාඥයින්, තාක්ෂණික ශිල්පීන්, දේපළ සංවර්ධකයින්, දේශපාලනඥයින්) අතර නාගරික උරුමය හා උරුම සංරක්‍ෂණය, උරුම ක්ෂේත‍්‍රයේ සංවර්ධනය පිළිබඳව මතවාදී විවිධතාව අතිශයින් ම සංකීර්ණ වේ. ඒ අතර විශේෂයෙන් නාගරික ප‍්‍රජාවගෙන් සැලකිය යුතු පිරිසක් නගරයේ සංරක්‍ෂණය සමාජ, ආර්ථික සංවර්ධනයේ මෙන් ම සංස්කෘතික අගය නඩත්තු කිරීමේ ක‍්‍රියාවලියක් ලෙස පිළිගැනීමට සුදානම් නොවීම අතිශයින් අභියෝගාත්මක ය. ජීවමාන ඓතිහාසික නගරයේ වැදගත් සන්දර්භය ආරක්ෂා කිරීම හා නඩත්තු කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් විසින් මහනුවර අද්විතීය නගරයක් වීමට බලපෑ කරුණු පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කළ යුතු වේ. එහි දී උරුමයේ ස්පර්ශනීය හා අස්පර්ශනීය සමස්ත ගති ලක්ෂණ ආරක්ෂා කළ යුතු වේ. හුදු වාස්තුවිද්‍යාත්මක ස්මාරක, ගොඩනැඟිලි සංරක්ෂණයෙන් පමණක් ස්ථානීය ජීවය ආරක්ෂා කළ නොහැකි ය.

උරුම සංරක්ෂණ හා කළමණාකරණ ක‍්‍රියාදාමය තුළ බල සබඳතා හා බල ධුරාවලිය ප‍්‍රධාන ගැටලු සහගත කරුණකි. බහු ආංශික හා ස්තරීභූත ආයතනමය ජාලය හා දුර්වල අන්තර් සබඳතාව කළමනාකරණ ක‍්‍රියාවලියේ දී ගැටලු සහගත වන අතර, මහනුවර පූජා නගරය සම්බන්ධයෙන් මහනුවර ලෝක උරුම කමිටුව තත් ක‍්‍රියාදාමය සක‍්‍රීය හා කාර්යක්ෂම කිරීමෙහි ලා සැලකිය යුතු මෙහෙවරක් සිදු කරයි. මේ හා සම්බන්ධ ආයතන තුළ ප‍්‍රදේශීය ප‍්‍රජා නියෝජනයක් නොවීම හා උරුම පාර්ශ්වකරුවන් ගේ ධුරාවලියේ පහළ ම ස්තරය ප‍්‍රජාව නියෝජනය කිරීම තුළ හා නිලධාරීන් ඔවුන් ගැටලුවක්, කළමනාකරණය කළයුතු මෙන් ම දැනුවත් කළ යුතු පිරිසක් ලෙස ආන්තිකකරණයට ලක් කොට තීරණ ගැනීමේ ක‍්‍රියාවලීන්ට සක‍්‍රීයව බද්ධ කර නොගැනීම උරුමයේ සැබෑ හවුල්කරුවන් ලෙස ඔවුන්ට නිසි හිමි නැත අහිමි කිරීමක් සේ සැලකිය හැකි ය. මෙම පසුබිම තුළ උරුම සංරක්ෂණ කටයුතු සඳහා ප‍්‍රජා සහභාගීත්වය ඌන වීම නොවැළැක්විය හැකි ය. ප‍්‍රජාව පිළිබඳ ආයතනගත නිලධාරීන්ගේ උක්ත ආකල්ප වෙනස් විය යුතු වේ. එනම් ප‍්‍රජාව තීරණ දැනුම් දිය යුතු, තීරණ ගැනීම සඳහා උපදෙස් පැතිය යුතු, එමෙන් ම තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට සාධනීය ලෙස සහභාගී කරගත යුතු පිරිසක් සේ සැලකිීම, සමානාත්මතා හා ප‍්‍රජාත‍්‍රන්තවාදී ප‍්‍රවේශය ප‍්‍රජාව හා බද්ධ ගැටලු බොහෝමයකට පිළිතුර වනු ඇත. ඒ මගින් ඔවුන්ගේ සහභාගීත්ව ධාරිතාව වර්ධනය වන අතර, උරුමය හා උරුම සංරක්ෂණය පිළිබඳ සෘණාත්මක ආකල්ප වෙනස් වීමටද හේතු වනු ඇත.

පසුගිය දශකත‍්‍රය තුළ නාගරික උරුමයේ සංරක්‍ෂණය වෙනුවෙන් සැලකිය යුතු කාර්යභාරයක් උරුමය වාර්තාකරණය, උරුම ලේඛනගත කිරීම, ප‍්‍රතිපත්ති සැලසුම් සංවිධානය, ආයතන ස්ථාපිත කිරීම, ගොඩනැඟිලි සංරක්ෂණය ආදී අංශවලින් ඉටු වී ඇත ද එහි කාර්යක්‍ෂමතාව හා ප‍්‍රතිඵලදායි බව සම්බන්ධයෙන් ගැටලු පවතී. නගරයේ බෞද්ධ පූජනීය අවකාශය (පුජාභූමි කලාපය වන දළදා මාලිගාව, සතර දේවාල, අස්ගිරි මල්වතු මහා විහාර) සංරක්‍ෂණය පිළිබඳ සතුටුදායක ප‍්‍රගතියක් අත් කරගෙන ඇතත් නගරයේ ලෞකික අවකාශය නියෝජනය කරන කොටුදැල් නගරයේ (Grid city) ගොඩනැඟිලි ස්මාරක සංරක්‍ෂණය පිළිබඳ වාස්තවික තත්ත්වය අධ්‍යයනයෙන් කඩා මුලිනුපුටා දැමීම, නඩත්තු දුර්වලතා, නොගැළපෙන අලුත්වැඩියා කිරීම්, ස්මාරක නොසලකා අතහැර දැමීම්, නොගැළපෙන පරිමාණයේ හා ස්වරූපයේ ඉදිකිරීම්, නීතීවිරෝධී අවිධිමත් ඉදිකිරීම්, යෝග්‍ය නොවන ගොඩනැඟිලි ද්‍රව්‍ය භාවිතය, වාණිජමය සංවර්ධනය ආදී ගැටලු හඳුනා ගත හැකි විය. මෙකී ගැටලු අභිමුව අභියෝගයට ලක්ව ඇත්තේ ජගත් උරුම නගරයේ අද්විතීය විශ්වීය අගයයි. උක්ත ගැටලු වඩාත් සංකීර්ණ ගැටලු බවට පත් ව ඇත්තේ මීට දශක කිහිපයකට පෙර සිදු කරන ලද සංස්කෘතික හා වාස්තුවිද්‍යා අගය පදනම් කරගත් වර්ගීකරණ මත පදනම්ව වර්තමාන සංරක්‍ෂණ හා සංවර්ධන තීරණ ගැනීමට යාම හේතුවෙනි.

නාගරික උරුමයේ විශේෂ නියෝජනයක් වන වාස්තුවිද්‍යාත්මක අගයක් සහිත ස්මාරක මුහුණ දී ඇති ඛේදනීය ඉරණමින් මුදා ගැනීමේ සංරක්‍ෂණමය උපාය මාර්ගයක් ලෙස යෝග්‍ය පුනර්භාවිත (Adaptive  reuse) සංකල්පය පිළිබඳව ප‍්‍රජා අවබෝධය පුළුල් කළ යුතු වේ. මේ මඟින් නාගරික උරුමයේ තිරසාරභාවය උදෙසා දායකත්වයක් සැපයේ. සියවස් කිහිපයක් ඇතුළත විවිධ මානව ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵලයක් ලෙස හා සංකීර්ණ ජාලයන් අතර සබඳතාවේ ප‍්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී ඇති ස්පර්ශිත හා අස්පර්ශිත නාගරික උරුම පරිසරය අප විසින් තේරුම් ගත යුත්තේ සමස්තයක් ලෙසයි. මහනුවර වැනි ජීවමාන පූජනීය ඓතිහාසික නගරයක සංකීර්ණ ගැටලු ආමන්ත‍්‍රණය කරන සංරක්‍ෂක ප‍්‍රවේශයක් මත එහි සාර්ථකත්වය රඳා පවතී.

ආශි‍්‍රත ග‍්‍රන්ථ නාමාවලිය

  • Arnstein, S. (1996). ‘A ladder of citizen participation’, Journal of the American Institute of Planners, pp. 216-224.
  • Appleyard, D. ((1979). The Conservation of European Cities, Cambridge, MITpress.
  • Bandarin, and Van Oers, F.R., (2012). The Historic Urban Landscape: Managing Heritage in an Urban Century, West Sussex, Willey-Blackwell.
  • Geddes, P. (2010). Cities in evolution: An Introduction to the Town Planning Movement and to the Study of Civics, Nabu Press.
  • Gu, H. and C. Ryan, (2008). ‘Place attachment, Identity and community impacts of tourism-the case of a Beiging Hutong’, Tourism Management, 29(4), pp. 637-647.
  • Hayden, D. (1995). The Power of Place. Urban Landscape as a Public History, Cambridge, Massachusetts: MIT Press.
  • Highfield, D. (1987). The Rehabilitation and re-use of old buildings, London & New York, Spon Press.
  • ICOMOS, (1987). The Washington Charter: Charter for the Conservation of Historic Towns and Urban Areas, Paris: ICOMOS.
  • ICOMOS, (1979). The Australia ICOMOS Charter for the Conservation of Places of Cultural Significance
  • Jencks, C. (1988). The Prince, the Architects and the New Wave Monarchy, London, Academy Editions.
  • Larkham, P.J. (1996). Conservation and the City, New York, Routledge.
  • Lynch, K. (1972). What Time is This Place? Cambridge, Massachusetts: MIT Press.
  • Luxen, J.L., (2004). ‘Reflection on the Use of Heritage Charters and Conventions’, Conservation: Getty Conservation Institute News Letter, 19(2), 4-9.
  • Silva, K.D., (2001).  ‘Preserving Historic Urban districts: Issues of culture change, Stress and culture- supportiveness’, in M.Edge (ed.). Old world new ideas: Environmental and cultural change and tradition in a shrinking world, Edmond, ok:  Environmental Design Research Association, pp. 15-21.
  • Sitte, C. (1965). City planning According to Artistic Principles. London: Collins.
  • Strauss, A.L., (1961) Images of the American city, New York: The free press of Glencoe.
  • Tiesdell et al. (1996). Revitalizing Historic Urban Quarters, Oxford:  Architectural Press.
  • Tosun, C. (2000). ‘Limits to Community Participation in the Tourism Development Process in Developing Countries’, Tourism Management (21), pp. 613–633.
  • Tung, A.M. (2001). Preserving the Worlds Great Cities, New York, Random House.
  • UNESCO, (1972). Convention concerning the Protection of the World Cultural and Natural Heritage, Paris.
  • රාජපක්ෂ, ඒ.එස්.ටී. (2017), ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික ති‍්‍රකෝණයේ පිහිටි පූජනීය නගරයන්හි උරුම කළමනාකරණය සහ සංචාරක ව්‍යාපාරය : අනුරාධපුරය සහ මහනුවර ලෝක උරුම ස්ථාන පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක්, දර්ශන විශාරද උපාධිය සඳහා ඉදිරිපත් කැරෙන පර්යේෂණ නිබන්ධය, පේරාදෙණි විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.
  • සෙනෙවිරත්න, ඒ. (2001) සිරි දළදා වරුණ, මරදාන: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • ඩේවි දුටු ලංකාව, පරි. එච්.එම්. සෝමරත්න, (2002) කොළඹ: ඇම්.ඩී. ගුණසේන සහ සමාගම,
  • නාගරික සංවර්ධන අධිකාරීය (2002), මහනුවර නගර සංවර්ධන සැලැස්ම, 33 පි.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.8.6 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
---------------------------------------------------------------------------------

2 COMMENTS

  1. Dear Mr. Rajapakshe,

    Your detailed paper gives a great impact on all the types of people who are in need to know information about Kandy in this context and especially, people who truely value their culture and heritage.

    Thank you and I highly appointe the knowledge you shared on this page.

    I wish you all success!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here