ජාත්‍යන්තර භූ කාලානුක්‍රමික සටහන හෙවත් භූ විද්‍යා කාල පරිමාණය

ඩී එස් අනුශාන් මුණසිංහ
සහකාර කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය
Dsamunas_2019@kln.ac.lk

සංක්ෂේපය

පෘථිවිය නිර්මාණයේ පටන් වර්තමානය දක්වා සමස්ථ භූ විද්‍යා කාලය ඒ ඒ කාල වකවානු සුවිශේෂී වූ ලක්ෂණ හා ජීවින් අනුව බෙදා දැක්වීම International Chronostratigraphic Chart – geologic time scale (GTS) හෙවත් භූ විද්‍යා කාල පරිමාණය අනුව සිදු වෙයි. එමෙන්ම මෙයින් පෘථිවියේ සමස්ත ජීව කාලය හැඟවේ. වාර්ෂිකව සිදුකරනු ලබන පර්යේෂණ ඇසුරෙන් භූ කාලානුක්‍රමික සටහන යාවත්කාලීන වන අතරම මෙම ලිපිය සම්පාදනයේ දී ස්ථරායනය පිළිබඳ අන්තර්ජාතික කමිටුව විසින් 2020 වර්ෂය සඳහා සම්පාදිත භූ කාලානුක්‍රමික සටහන භාවිතයට ගනු ලැබීය. මෙම අධ්‍යනය සඳහා ක්ෂේත්‍ර නොවන ගවේෂණ ක්‍රමය භාවිතයට ගත් අතර දත්ත එක්රැස් කිරීම සඳහා සාහිත්‍යය විමර්ශනය හා අන්තර්ජාල ගවේෂණය යන විධික්‍රම යොදාගනු ලැබිය. එහිදී සිද්ධි අධ්‍යයන සම්බන්ධ පුර්ව පර්යේෂණ වලට ප්‍රමුඛත්වය දෙනු ලැබිය. එමෙන්ම පිළිබඳව භූ විද්‍යා කාලය සිංහල භාෂාවෙන් සම්පාදිත ලිපි අල්ප අතර එම හිදැස පිරවීමේ අරමුණින් මෙම ලිපිය සම්පාදනය කරනු ලැබීය.

භූ විද්‍යා කාල පරිමාණය
භූ විද්‍යා කාල පරිමාණය

ප්‍රමුඛ පද: පෘථිවිය, කාලානුක්‍රමික සටහන, භූ විද්‍යා කාලය, ස්ථරායනය, ජීවින්

හැඳින්වීම – භූ විද්‍යා කාල පරිමාණය

පෘථිවිය නිර්මාණයේ පටන් වර්තමානය දක්වා සමස්ථ භූ විද්‍යා කාලය ඒ ඒ කාල වකවානු සුවිශේෂී වූ ලක්ෂණ හා ජීවින් අනුව බෙදා දැක්වීම භූ විද්‍යා කාල පරිමාණයේ දී සිදු වෙයි. මෙම බොහොමයක් ජීවින් පාෂාණීභූත හෙවත් ෆොසිල ලෙසින් හමුවන අතර එම ෆොසිල පෘථිවිය මතුපිට සිට අවසාදිත ස්ථර ආකාරයෙන් රැඳී පවතී. මෙම අවසාදිත ස්ථර භූ කාලානුක්‍රම ඒකක ලෙසින් හඳුන්වනු ලබයි. මුල් කාලීනව භූ විද්‍යා කාල පරිමාණය ගණනය කිරීමේදී සාගරයට ලවණ එකතුවන අනුපාතය ගණනය කිරීම, අවසාදිත තැම්පත් වීමේ සීඝ්‍රතාවය ගණනය කිරීම හා පෘථිවිය සිසිල් වීමේ අනුපාතය ගණනය කිරම ආදී ක්‍රමවේදයන් භාවිතයට ගනු ලැබීය. නුතනයේ දී ඒ සඳහා බහුල වශයෙන් විකිරණශීලි ක්ෂයවීම යොදා ගනු ලබයි. මෙය නිර්මාණය කරනුයේ ස්ථරායනය පිලිබඳ අන්තර්ජාතික කොමිසම හා සම්බන්ධ භූ විද්‍යාඥයින් හා පාෂාණීධාතු විද්‍යාඥයින්ගෙන් සමන්විත කමිටුවක් මගිනි.
නුතන ගණනය කිරීම් අනුව අදින් වසර බිලියන 4.6 ක් දක්වා අතීතයට දිව යන පෘථිවි ඉතිහාසය භූ විද්‍යා කාල පරිමාණය අනුව පිළිවෙලින් අවරෝහණ පෙළගැස්ම අනුව eon, eras, periods, epoch, හා Stages රාශියකට බෙදා දැක්වෙයි. මෙම වදන් සඳහා සිංහල යෙදීම් තරමක් ගැටළු සහගත බැවින් Eon සඳහා මහා භූ යුගය යන්න ද Eras සඳහා යුගය යන්න ද Periods සඳහා කාලපරිච්ඡේදය යන්න ද Epochs සඳහා වකවානුව යන්න ද Stages සඳහා අවධි යන්න ද මෙම ලිපියේ දී යොදනු ලැබේ.

රූපය 1- ජාත්‍යන්තර භූ කාලානුක්‍රමික සටහන හෙවත් භූ විද්‍යා කාල පරිමාණය
රූපය 1- ජාත්‍යන්තර භූ කාලානුක්‍රමික සටහන හෙවත් භූ විද්‍යා කාල පරිමාණය

හේඩියන් මහා භූ යුගය

භූ විද්‍යා කාල පරිමාණය අනුව වඩාත් ඈතම මහා භූ යුගය හේඩියන් ලෙස හඳුන්වයි. මෙය අදින් වසර මිලියන 4600 පමණ පටන් අදින් වසර 4030 දක්වා ව්‍යාප්තව තිබිණි. මෙම මහා භූ යුගය යුග දෙකට බෙදා දැක්වෙන අතර වසර මිලියන 4600 සිට වසර මිලියන 4004 කාලය චාඕෂියන් යුගය ලෙසද එතැන් සිට වසර මිලියන 4030 දක්වා යුගය ජැක් හිල්සියන් හෙවත් ජාකොබියන් යුගය ලෙසින් ද හඳුන්වයි. මෙම යුගය සුර්ය ග්‍රහ මණ්ඩලයේ හා පෘථිවියේ ආරම්භය හා මුලික සකස්වීම් සම්බන්ධයෙන් වැදගත් යුගය වෙයි. චාඕෂියන් යුගය ඉහළ කැල්සියම් හා ඇළුමිනියම් සංයුතියක් සහිත උල්කා වර්ෂාවන්ගෙන් පිරි පැවති කාලයක් වන අතර ජාකොබියන් යුගය වනවිට පෘථිවි කබොලේ මුලික සකස්වීම් ආරම්භ විය. මෙම යුගය පිලිබඳ වැදගත් සාධක රාශියක් ඕස්ට්‍රේලියාවේ යිල්ගාර්න් ආවාටය ආශ්‍රිත ජැක් හිල්ස් ග්‍රීන් ස්ටෝන් පටිය ආශ්‍රයෙන් හඳුනාගෙන ඇත.

ඇකියන් මහා භූ යුගය

මීළඟට උදාවන මහා භූ යුගය ඇකියන් වන අතර එය අදින් වසර මිලියන 4030 සිට අදින් වසර මිලියන 2420 පමණ දක්වා පැවතුණි. මෙය යුග තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් අදින් වසර මිලියන 4030 සිට මිලියන 3490 දක්වා පැවති පෑලියෝකියන් යුගය , එතැන් සිට වසර මිලියන 2780 දක්වා පැවති මේසෝකියන් යුගය හා එතැන් සිට වසර මිලියන 2420 දක්වා පැවති නියෝකියන් යුගය වෙයි.

රූපය 1- ඇකියන් මහා භූ යුගයේ අනුයුග (උපුටා ගැනීම https://www.britannica.com/ වෙතිනි)
රූපය 1- ඇකියන් මහා භූ යුගයේ අනුයුග (උපුටා ගැනීම https://www.britannica.com/ වෙතිනි)

පෑලියෝකියන් යුගය කාලවකවානුව නැවතත් කාල පරිචේද දෙකකට බෙදා දැක්වෙන අතර අදින් වසර මිලියන 4030 සිට අදින් වසර මිලියන 3810 දක්වා කාලපරිච්ඡේදය අකස්ටන් ලෙසින් හඳුන්වනු ලබන අතර ස්තරායානුකුල දත්ත වාර්තාව ආරම්භ වනුයේ මෙම යුගයේ පටන්ය. එමෙන්ම දැනට හමුවන පෘථිවියේ පැරණිතම පාෂාණ වන අකස්ටා ග්නයිස් මෙම කාලපරිච්ඡේදය නියෝජනය කරනු ලබන අතරම කැනඩාවේ ස්ලෙව් ආවාට ප්‍රදේශයෙන් මෙම කාලය සම්බන්ධ භූ විද්‍යාත්මක සාධක රාශියක් අනාවරණය වෙයි. අකස්ටන් හි අවසානයත් සමග ආරම්භ වී අදින් වසර මිලියන 3490 දක්වා දිවෙන කාලය ඉසුආන් කාල පරිච්ඡේදය ලෙස හඳුන්වනු ලබන අතර පළමු වරට සුප්‍රාක්‍රස්ටල් පාෂාණ නිර්මාණය වීම ආරම්භ වෙයි. මෙම කාලපරිච්ඡේදය පිලිබඳ වැදගත් සාධක රාශියක් බටහිර ග්‍රීන්ලන්තයේ උතුරු අත්ලාන්තික් ආවාටය ආශ්‍රිත සුආ සුප්‍රාක්‍රස්ටල් පටියෙන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඉසුආන් හි අවසානයත් සමග මෙසෝකියන් යුගය ආරම්භ වන අතර එය කාලපරිච්ඡේද දෙකක් ඔස්සේ හඳුනාගත හැකිය. වසර මිලියන 3490 පටන් වසර මිලියන 3020 දක්වා පැවති කාලය වාල්බ්‍රියන් කාල පරිච්චේදය ලෙසින්ද එතැන් පටන් වසර මිලියන 2780 දක්වා පැවති කාලය පොන්ගොලාන් ලෙසින්ද හඳුන්වයි. පළමු ප්‍රාථමික ජිවින්ගේ අන්වික්ෂීය ෆොසිල ඉතා හොඳින් වාල්බ්‍රියන් කාලපරිච්ඡේදය ට අයත් ශිලාගෝලිය කබොල ස්ථර අතර සුරැකිව පවතින අතර ඕස්ට්‍රේලියාවේ පිල්බරා සුපර්ගෘප් හී වාර්ර්වූනා සමුහය ප්‍රදේශය ඒ සඳහා සාධනීය සාධක සපයයි. පොන්ගොලාන් කාලපරිච්ඡේදය තුළ මහද්වීපික ද්‍රෝණියේ හා ස්ථාවර ක්ෂුද්‍ර ජිවින්ගේ හා ප්‍රභාසංස්ලේෂි බැක්ටීරියාවන් ගේ සම්ප්‍රාප්තිය සිදු වෙයි. මෙම කාලයට අයත් සාධක හමුවන ස්ථානයක් ලෙසට ඕස්ට්‍රේලියාවේ පිල්බරා ආවාටය පෙන්වා දිය හැකිය.

පොන්ගොලාන් කාලපරිච්ඡේදයෙහි අවසානයත් සමග ආරම්භ වන නියෝකියන් යුගය කාලපරිච්ඡේද දෙකකට බෙදා දැක්වෙන අතර අදින් වසර 2780 පටන් වසර මිලියන 2630 දක්වා කාලය මෙතානියන් ලෙසින්ද එතැන් පටන් වසර මිලියන 2420 දක්වා කාලය සිඩේරියන් ලෙසින්ද හැඳින්වේ. ගෝලීය ගිනිකඳු විදාරණයන් සැලකිය යුතු මට්ටමින් අඩු වූ අතර මෙම කාලපරිච්ඡේද පිලිබඳ සාධක පිළිවෙලින් ඕස්ට්‍රේලියාවේ ෆොර්ටෙස්කු සමුහයේ මවුන්ට් රෝයි බැසෝල්ට් , මවුන්ට් බ්රූස් සුපර්ගෘප් හා හැම්ර්ස්ලි සමුහයේ මර්රා මම්බා ප්‍රදේශ වලින් හමු වෙයි.

ප්‍රොටෙරොසොයික් මහා යුගය

අනතුරුව ආරම්භ වන කාලවකවානුව ප්රෝටෙරෝසොයික් මහ භූ යුගය වන අතර එය අදින් වසර 2420 පටන් අදින් වසර මිලියන 541 දක්වා ව්‍යාප්තව පැවතිනි. මෙම මහා භූ යුගය ද නැවත යුග තුනකට බෙදා දැක්වෙන අතර ඉන් පළමුවැන්න වසර මිලියන 1600 දක්වා පැවති පැලියෝප්රෝටෙරෝසොයික් යුගය වේ. දෙවැනි භූ යුගය එතැන් පටන් වසර මිලියන 1000 දක්වා පැවති මෙසෝප්රෝටෙරෝසොයික් යුගය වන අතර තෙවැන්න වන නියෝප්රෝටෙරෝසොයික් යුගය වසර මිලියන 541 දක්වා වූ කාලයක් පැවතින. පැලියෝ ප්‍රොටෙරෝසොයික් යුගය පිළිවෙලින් සිඩේරියන්, රයිශියන්, ඔරෝසිරියන් හා ස්ටාතේරියන් යනුවෙන් කාලපරිච්ඡේදයන් හතරකට බෙදා දක්වයි. ඒවා අදින් වසර මිලියන 2300, 2050, 1800 හා 1600 දක්වා ව්‍යාප්තව පැවතිනි. ගෝලීය උෂ්ණත්වය තව දුරටත් පහළ බසින ලද අතර පළමු වරට ග්ලැසියර් තැම්පත් වීම ආරම්භ විය. වායුගෝලයට ඔක්සිජන් මුදා හැරීම ආරම්භ වූ අතරම ක්‍ 13 සමස්ථානික අධික කැප් කාබොනේටයන් හි ආගමනය ද සිදු විය. මෙය ලොමාගුන්ඩි ජටුලි සමස්ථානික ආගමනය ලෙස හඳුන්වයි. මෙම ක්‍රියාවලියේ අවසානයත් සමග ගෝලීය ගිනිකඳු විදාරණයන් සමග යකඩ සකස් වීමේ ක්‍රියාවලිය ද ආරම්භ විය. කැනඩාවේ කොබෝල්ට් සමුහය හා හුරෝනියන් සුපර්ගෘප්, දකුණු අප්‍රිකාවේ රූයිබර්ග් සමූහය, භූෂ්වෙල්ඩ් මැග්මටික් ප්‍රාන්තය, කාප්යාල් ආවාටය හා කුඑට්ස්ජර්යි යමහල් සැකැස්ම, පෙචෙන්ගා ග්‍රීන්ස්ටෝන් පටිය හා ෆෙනොස්කැන්ඩියා වැනි ප්‍රදේශ වලින් මෙම කාල වකවානුවට අයත් සාධක ලැබෙයි. ප්‍රථම යූකැරියෝටික ජිවින්ගේ ආගමනය ද සිදු විය. ඔවුන් ශක්ති නිෂ්පාදන මයිටෝකොන්ඩියා දැරුහ.

රූපය 2- ප්‍රොටෙරෝසොයික් යුගයේ සිදු වූ විශේෂ සිදුවීම් (උපුටා ගැනීම - https://earthhow.com වෙතිනි)
රූපය 2- ප්‍රොටෙරෝසොයික් යුගයේ සිදු වූ විශේෂ සිදුවීම් (උපුටා ගැනීම – https://earthhow.com වෙතිනි)

අනතුරුව මෙසෝප්රෝටෙරෝසොයික් යුගය ආරම්භ වන අතර එය පිළිවෙලින් කැලිම්මියාන්, එක්ටාසියන් හා ස්ටේනියන් ලෙසින් තුනකින් සමන්විත වන අතර ඒවා අදින් වසර මිලියන 1600 පටන් පිළිවෙලින් 1400,1200 හා 1000 දක්වා පැවතින. මෙම කාලවකවානුවේදී සල්පර් අවශෝෂක සාගරික තැන්පතු, පළමු ඇක්‍රිටාර්ච් හා යෝධ සල්පර් ඕර් තැන්පතු නිර්මාණය ආරම්භ විය. මෙම යුගය තුළ පරිසරය යම් ස්ථායිතාවයකට පත් වූ අතරම ගැඹුරු සාගර පතුල් වල ඔක්සිහරණ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක විය. එමෙන්ම පළමු මහාද්වීපය වන රොඩීනියාව නිර්මාණය වනුයේද මෙම කාලපරිච්ඡේදය තුළය. අනතුරුව නියෝප්රෝටෙරෝසොයික් යුගය ආරම්භ වන අතර එය පිළිවෙලින් ටෝනියන්, ක්‍රියොගේනියන් හා එඩියාකාරන් යන කාලපරිච්ඡේද වලින් සමන්විත වේ. මෙය පිළිවෙලින් අදින් වසර මිලියන 1000 පටන් 850, 630 හා 541 දක්වා පැවතිණි. මේ යුගයේදී අනොමලියාවන් ගේ හා එඩියාකාරන් සතුන්ගේ ආගමනය සිදුවිය. මෙම යුගයේ මුල් කාලපරිච්ඡේද වන ටෝනියන්, ක්‍රියොගේනියන් වකවානු ප්‍රධාන වශයෙන් අයිස් යුගයන් නියෝජනය කරනු ලබන අතර ක්‍රියොගේනියන් කාලපරිච්ඡේදය අවසාන වන විට ගෝලීය ග්ලැසියර්කරණය නිමාවට පත්වෙයි.

හේඩියන්, ඇකියන් හා ප්‍රොටෙරොසොයික් මහ භූ යුග එක්ව ගත්කල එය ප්‍රීකෙම්බ්‍රියන් සුපිරි භූ යුගයක් නිර්මාණය කරයි.
ප්‍රීකෙම්බ්‍රියන් යුගයේ අවසානයත් සමග ආරම්භවන යුගය අදින් වසර මිලියන 541 දී ආරම්භ වී වර්තමානය දක්වාම පවතින අතර පැනෙරොසොයික් යුගය ලෙස හඳුන්වයි. මෙම මහා භූ යුගය තවත් භූ යුග ත්‍රිත්වයකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් පැලියෝසොයික්, මෙසෝසොයික් හා සෙනොසොයික් යුගය ලෙසින් හඳුන්වයි.

කේම්බ්‍රියන් කාලපරිච්ඡේදය

අදින් වසර මිලියන 541 න් ආරම්භ වී වසර මිලියන 251.902 දක්වා පැවති පැලියෝසොයිකය තවත් කාලපරිච්ඡේද 6 කට බෙදා දක්වනු ලබයි. ඉන් පළමු වැන්න අදින් වසර මිලියන 541 පටන් වසර මිලියන 485.4 දක්වා පැවති කේම්බ්‍රියන් කාලපරිච්ඡේදය වෙයි. කේම්බ්‍රියන් කාලය තව දුරටත් වකවානු සතරකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ටෙරෙනේඋවියන්, ශේණිය 02, ශේණිය 03 හා ෆුරොන්ජියන් වකවානු ලෙසින් හඳුන්වනු අතර ඒවා පිළිවෙලින් අදින් වසර මිලියන 541 පටන් 521, 509, 497 හා 485.4 දක්වා පැවතුණි. ටෙරෙනේඋවියන් වකවානුව තවදුරටත් අවධි දෙකකට බෙදා දැක්වෙන අතර ඒවා ෆෝර්චුනියන් හා අවධිය 02 ලෙසින් හඳුන්වයි. මෙම අවධිය සම්බන්ධ භූ විද්‍යාත්මක සාධක රාශියක් කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලන්තයේ ෆෝචුන් තුඩුව ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇත. අනතුරුව එළඹෙන ශේණිය 02 වකවානුව 3 හා 4 ලෙසින් අවධි දෙකකට බෙදා දැක්වෙයි. අනතරුව එළඹෙන ශේණිය 03 වකවානුව අවධිය 5, ඩ්‍රමියන් හා ගුෂැන්ජියන් යනුවෙන් අවධි 3කට බෙදා දක්වයි. ඩ්‍රමියන් අවධිය සම්බන්ධයෙන් භූ විද්‍යාත්මක සාධක ඇමරිකා එක්සත් ජනපදයේ ඌටා හී ඩ්‍රම් කඳු ප්‍රදේශයෙන් ද ගුෂැන්ජියන් අවධිය සම්බන්ධයෙන් චීනයේ ලුයිසි, ගුෂැං, හුනාන් ප්‍රදේශයන්ගෙන් ද හමුවෙයි. අනතුරුව එළඹෙන ෆුරොන්ජියන් වකවානුව පයිබියන්, ජියැංෂානියන් හා අවධිය 10 යනුවෙන් අවධි 03ක් යටතේ හඳුනාගත හැකිය. පයිබියන් අවධිය සම්බන්ධයෙන් භූ විද්‍යාත්මක තොරතුරු චීනයේ හුනාන් හී පයිබි ප්‍රදේශයෙන් ද ජියැංෂානියන් සම්බන්ධයෙන් භූ විද්‍යාත්මක තොරතුරු චීනයේ ඩුබියන්, ෂෙජියැන්ග් ප්‍රදේශයෙන් ද අනාවරණය වෙයි. පළමු කොඩාටාවන්ගේ ආගමනය මෙම යුගයේදී සිදු විය. ප්‍රමුඛ ජීව විශේෂ ලෙසට මුහුදු අපෘෂ්ටවංශින් වන ට්‍රයිලොබයිට්ස්, ප්‍රියාපුලිඩ් පණුවන්, ස්පොන්ජ්, අක්‍රීය බ්‍රැචියෝපොඩ් (නොකැඩූ ලාම්පු බෙල්ලන්) පෙන්වා දිය හැකිය. ඇනෝමලෝකැරිඩ්ස් මෙකලවාසය කළ විශාල විලෝපිකයෙක් විය. එඩියාකාර ජීවින් නෂ්ටව ගිය අතරම ඇල්ගී හා දිලීර තවදුරටත් සිය පැවැත්ම තහවුරු කර ගත්හ. දක්ෂිණ ධ්‍රැවය ආශ්‍රිතව ගොන්ඩ්වානා උපරිමහාද්වීපය බිහිවීම සිදු විය. සමුදුරු ජිවින්ගේ මුල්ම භෞමික සංචරණයේ සලකුණු හෙවත් ලාංඡන ෆොසිල මෙම යුගයේදී හමු වයි.විශේෂයෙන්ම උතුරු ඇමරිකානු හා යුරෝපා මහද්වීපයේ කඳුවැටි නිර්මාණයත් සමග මෙම යුගය නිමාවට පත් වි තිබෙයි.

රූපය 3- කේම්බ්‍රියන් යුගයේ දර්ශක ෆොසිලයක් ලෙස හැදින්වෙන ට්‍රයිලොබයිට්ස් ජීවී විශේෂය (උපුටාගැනීම - https://wildaboututah.org ඇසුරෙනි)
රූපය 3- කේම්බ්‍රියන් යුගයේ දර්ශක ෆොසිලයක් ලෙස හැදින්වෙන ට්‍රයිලොබයිට්ස් ජීවී විශේෂය (උපුටාගැනීම – https://wildaboututah.org ඇසුරෙනි)

ඔර්ඩෝවිසියන් කාලපරිච්ඡේදය

කේම්බ්‍රියන් කාලයේ හි අවසානයත් සමග එළඹෙන ඔර්ඩෝවිසියන් කාලපරිච්ඡේදය අදින් වසර මිලියන 485.3 පටන් වසර මිලියන 443.8 දක්වා පැවතිණි. මෙම කාලපරිච්ඡේදය වකවානු තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් පහළ ඔර්ඩෝවිසියන්, මධ්‍ය ඔර්ඩෝවිසියන් හා ඉහළ ඔර්ඩෝවිසියන් වකවානු ලෙස බෙදා දැක්වේ. අදින් වසර මිලියන 485 න් ආරම්භ වී වසර මිලියන 470 න් ගෙවීයන පහළ ඔර්ඩෝවිසියන් වකවානුව තවදුරටත් ට්‍රමෙඩෝසියානු හා ෆ්ලොයියන් යනුවෙන් අවධි දෙකකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් කැනඩාවේ ග්‍රීන් පොයින්ට්, නිව්ෆවුන්ඩ්ලන්ඩ් හා ස්වීඩනයේ ඩයබස්බ්‍රොටෙට්, හන්බර්ග් හඳුනා ගත හැකිය. අදින් වසර මිලියන 470 න් ආරම්භ වී වසර මිලියන 458.4 න් ගෙවීයන මධ්‍ය ඔර්ඩෝවිසියන් වකවානුව තවදුරටත් ඩැපින්ජියන් හා ඩැරිවිලියන් යනුවෙන් අවධි දෙකකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් චීනයේ හුවාංවාචැං, යිචැං, හුබෙයි හා චීනයේ හුවාංනිටැං, ෂෙජියැන්ග් ප්‍රදේශ හඳුනා ගත හැකිය. අදින් වසර මිලියන 458.4 න් ආරම්භ වී වසර මිලියන 443.8 න් ගෙවීයන ඉහළ ඔර්ඩෝවිසියන් වකවානුව තවදුරටත් සැන්ඩ්බියන්, කැටියන් හා හර්නන්ටියන් යනුවෙන් අවධි තුනකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් ස්වීඩනයේ ෆැගල්සාන්ග්, ස්කැනියා, ඇමරිකා එක්සත් ජනපදයේ බ්ලැක් නොබ්, ඔක්ලහෝමා හා චීනයේ වැන්ජියවාන්, යිචැං, හූබේ ප්‍රදේශ හඳුනා ගත හැකිය. පළමු අස්ථික ජීවින් බිහිවීම මෙකළ සිදුවිය. ප්‍රමුඛ ජීවි විශේෂ ලෙසට දිගු සෘජු කවච දරන සෙෆලෝපොඩාවන් , මුල් කොරල්, බ්‍රැචියෝපොඩාවන් (ඕර්තිඩා, ස්ට්‍රොෆොමෙනීඩා ආදිය), බයිවැල්වියාවන්, නෞටිලොයිඩ්, ට්‍රයිලොබයිට්, ඔස්ට්‍රාකෝඩ්, බ්‍රයෝසෝවා, බොහෝ වර්ගවල එකයිනොඩර්මෙටාවන් (ක්‍රිනොයිඩ්, සිස්ටොයිඩ් හා පසඟිල්ලන් ආදිය) හා අතු සහිත ග්‍රැප්ටොලයිට් ආදී සමුද්‍රජිවින් පේනවා දිය හැකිය. භෞමික හරිත ශාකයන්ගේ හා දිලීර ආගමනය සිදු විය. මෙම යුගය අවසාන වනවිට පෘථිවි ඉතිහාසයේ ප්‍රථම මහා නෂ්ට වීම සිදුවිය. මෙය ඕර්ඩොවිසියන් – සිලුරියන් නෂ්ටප්‍රාප්තිය ලෙසින් හඳුන්වයි. ටැභූලේට් හා රුගොස් කොරල්, බ්‍රැචියෝපොඩ්ස් (පෙන්ටමෙරිඩා, රයින්චොනෙලිඩා, ආදිය), ට්‍රයිලොබයිට්, මොලුස්කාවන්, ග්‍රැප්ටොලයිට් හා සියලු ක්‍රිනොයිඩ් ජිවින්ගේ ගේ නෂ්ටවිම මෙම මහා වඳවී යාමේදී සිදුව ඇත. මෙම යුගය වනවිට ගොන්ඩ්වානා, බෝල්ටිකා, සයිබීරියා හා ලොරෙන්ශියා යනුවෙන් මහද්වීප හතරක් පැවතුණි.

සිලුරියන් කාලපරිච්ඡේදය

ඕර්ඩොවිසියන් කාලයේහි අවසානයත් සමග එළඹෙන සිලුරියන් කාලපරිච්ඡේදය අදින් වසර මිලියන 443.8 පටන් වසර මිලියන 419.2 දක්වා පැවතිණි. මෙම යුගය වකවානු හතරකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ලැන්ඩෝවරි, වෙන්ලොක්, ලුඩ්ලෝ හා ප්‍රිඩෝලි ලෙස බෙදා දැක්වේ. අදින් වසර මිලියන 443.8 න් ආරම්භ වී වසර මිලියන 433.4 න් ගෙවීයන ලැන්ඩෝවරි වකවානුව තවදුරටත් රුඩානියන්, ඒරොනියන් හා ටෙලිචියන් යනුවෙන් අවධි තුනකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් එක්සත් රාජධානියේ මොෆාට් හී ඩොබ්ස් ලින්න්, ට්‍රෆොවර්, ලැන්ඩෝවරි හා සෙෆ්න් සෙරිග්, ලැන්ඩෝවරි ප්‍රදේශ හඳුනා ගත හැකිය. අදින් වසර මිලියන 433.4 න් ආරම්භ වී වසර මිලියන 427.4 න් ගෙවීයන වෙන්ලොක් වකවානුව තවදුරටත් ෂයින්වුඩියන් හා හෝමරියන් යනුවෙන් අවධි දෙකකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් එක්සත් රාජධානියේ හියුලිබ්‍රොක්, ඇපඩේල් හා විට්වෙල් කොපිස්, හෝමර් ප්‍රදේශ හඳුනා ගත හැකිය. අදින් වසර මිලියන 427.4 න් ආරම්භ වී වසර මිලියන 423 න් ගෙවීයන ලුඩ්ලෝ වකවානුව ගොර්ස්ටියන් හා ලුඩ්ෆෝර්ඩියා යනුවෙන් අවධි දෙකකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් එක්සත් රාජධානියේ පිච් කොපිස්, ලුඩ්ලෝ හා සනීහිල්, ලුඩ්ලෝ ප්‍රදේශ හඳුනා ගත හැකිය. අදින් වසර මිලියන 423 න් ආරම්භ වී 419.2 න් ගෙවීයන ප්‍රිඩෝලි වකවානුව පිලිබඳ සාධක හමුවන ස්ථානයක් ලෙසට චෙක් ජනරජයේ ප්‍රාග් හී පොසාරී නම් ස්ථානය පෙන්වා දිය හැකිය. භෞමික හරිත ශාක පරිසරයේ ස්ථාපිත වීම මෙකල සිදුවිය. ප්‍රථම භෞමික සත්වයන් ලෙසට කෘමීන්ගේ හා මකුළුවන්ගේ ආගමනය සිදු විය. මිලිපීඩස් හා ආත්‍රොප්ලූරයිඩ් ජිවින්ගේ ආගමනය සිදුවිය. පළමු හනුක මත්සයින් බිහිවිය. විශාල සමුද්‍රික ගොනුස්සන්ගේ ගහනය බහුල විය. ට්‍රයිලොබයිටාවන්ගේ හා මොලුස්කාවන් ප්‍රමුඛ ජීවින් විය. කොරල් විශේෂ මගින් ඉතා විශාල කොරල් පර නිර්මාණය කොට ඇති අතරම නම කොරල් විශේෂ හා මුහුදු උපුලන් විශේෂයන් ද පරිණාමය වි ඇත. කැලිඩෝනියන් කඳු වල සකස්වීම මෙම යුගය අවසානයේදී සිදු වි තිබෙයි.

රූපය 4- සිලූරියන් යුගයේ වූ සාගර පතුල හමු වී ඇති ෆොසිල සාධක ඇසුරින් ප්‍රතිනිර්මාණය කිරීම (උපුටා ගැනීම- https://www.livescience.com)
රූපය 4- සිලූරියන් යුගයේ වූ සාගර පතුල හමු වී ඇති ෆොසිල සාධක ඇසුරින් ප්‍රතිනිර්මාණය කිරීම (උපුටා ගැනීම- https://www.livescience.com)

ඩෙවෝනියන් කාලපරිච්ඡේදය

සිලුරියන් කාලපරිච්ඡේදයෙ හි අවසානයත් සමග එළඹෙන ඩෙවෝනියන් කාලපරිච්ඡේදය අදින් වසර මිලියන 419.2 පටන් වසර මිලියන 358.9 දක්වා පැවතිණි. මෙම යුගය වකවානු තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් පහළ ඩෙවෝනියන්, මධ්‍ය ඩෙවෝනියන් හා ඉහළ ඩෙවෝනියන් ලෙස බෙදා දැක්වේ. අදින් වසර මිලියන 419.2 න් ආරම්භ වී වසර මිලියන 393.3 න් ගෙවීයන පහළ ඩෙවෝනියන් වකවානුව තවදුරටත් ලොච්කොවියන්, ප්‍රාගියන් හා එම්සියන් යනුවෙන් තුනකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් චෙක් ජනරජයේ ක්ලෝන්ක්, ප්‍රාග්, වෙල්කා චුච්ල් හා උස්බෙකිස්ථානයේ සින්සිල්බන් දොරුව යන ස්ථාන හඳුනා ගත හැකිය. අදින් වසර මිලියන 393.3 න් ආරම්භ වී වසර මිලියන 382.7 න් ගෙවීයන මධ්‍ය ඩෙවෝනියන් වකවානුව තවදුරටත් අයිෆෙලියන් හා ගිව්ටියන් යනුවෙන් අවධි දෙකකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් ජර්මනියේ අයිෆල් කඳුකරයේ වෙටෙල්ඩෝෆ් රිච්ට්ස්නිට් හා මොරොක්කෝවේ ජෙබෙල් මෙක් ඉර්ඩේන්, ටෆිලෝල්ට් ප්‍රදේශ හඳුනා ගත හැකිය.

අදින් වසර මිලියන 382.7 න් ආරම්භ වී වසර මිලියන 358.9 න් ගෙවීයන ඉහළ ඩෙවෝනියන් වකවානුව තවදුරටත් ෆ්රාස්නියානු හා ෆැමේනියන් යනුවෙන් අවධි දෙකකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් ප්‍රංශයේ කොල් ඩු පුච්, මොන්ටැග්නෙ නොයර් හා කොමියාක්, සෙසෙනන්, මොන්ටැග්න් නොයර් යන ස්ථාන හඳුනා ගත හැකිය. පුර්ව පැන්ජියානු ගොඩබිම නිර්මාණය වූ අතරම සාගර තවමත් මිරිදිය මටටමේ පැවතිණි. මත්ස්‍යයින් (ප්ලෙකෝඩර්ම්ස්, බෙදුණු වරල් සහිත හා කිරණ වරල් සහිත මත්ස්‍යයින් හා ආදී මෝරුන්) ප්‍රමුඛ ජීව විශේෂය වූ අතරම ඔවුන් දක්ෂිනාර්ධගොලයේ සිට උතුරට පර්යටනයේ යෙදින. මෙම අවධියේ මැද භාගයේදී අස්ථික මත්ස්‍යයින්ත පෙනහලු මත්ස්‍යයින්, බෙදුණු වරල් මත්ස්‍යයින් හා කිරණ වරල් මත්ස්‍යයින් ලෙස ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදී ගියේය. පෙනහලු මත්ස්‍යයින්ගේ පුර්වජ ආකාරය චෝනික්තියස් වශයෙන් හඳුන්වනු ලබන අතර බෙදුණු වරල් මත්ස්‍යයින් ක්රෝසොප්ටෙරිජියන්ස් වශයෙන් හඳුන්වනු ලබයි. පෑලියෝසොයිකය අවසානය වනවිට මොවුන් වඳවී ගිය අතර ලැටිමේරියා නම් එක් විශේෂයක් පමණක් සූචක ෆොසිලයක් ලෙසට වර්තමානය දක්වාම නොනැසී පවතියි. වර්තමාන ආක්ටික් කැනඩාව එකළ සමකය අසල පිහිටා තිභූ අතරම කාෂ්ටිය ශාකයන්ගේ ආගමනය සිදුවිය. නිවර්තන වනාන්තර, මීවන ශාක හා උභයජිවිගේ බිහිවීම ද සිදුවිය. පළමු ක්ලබ්පාසි, අශ්වවලිග , ලයිකොපොඩ්ස් හා පර්ණාංග ශාක වල ආගමනය මෙන්ම පළමු බිජධාරී ශාක හෙවත් ප්‍රෝගිම්නොස්ෆර්න්ස් හි ආගමනයද සිදුවිය. බ්‍රකියෝපොඩාවන් ඔවුන්ගේ උපරිම වර්ධනයට ලඟා වි ඇති අතර කෙපලපෝඩ් විශේෂයක් වන ඇමනයිට් පරිණාමය වීමද සිදුවිය.

එමෙන්ම පළමු සමුද්‍රීය ටෙට්‍රාපෝඩාවන්ගේ බිහිවීම සිදුවිය. උතුරු අප්‍රිකාවේ ප්‍රති ඇට්ලස් වැටිය , උතුරු ඇමරිකාවේ ඇපලේචියන් කඳු හා නවසීලන්තයේ ඇන්ට්ලර්, වරිස්කන් හා තුහුවා අඩතැන්න බිහිවීම සිදුවිය. පෘථිවිය මත එවකට සිටි ජීවි විශේෂගෙන් හතරෙන් තුනක්ම මිය ගියේ මෙම යුගය අවසන් කරමින් සිදු වූ සමූහ නෂ්ටප්‍රාප්තවීමේදීය. මෙය පශ්චාත් ඩෙවෝනියානු නෂ්ටප්‍රාප්තිය ලෙසින් හඳුන්වයි. ඇතැම්විට මෙය එක් තනි සිද්ධියක් වෙනුවට වසර මිලියන ගණනාවක් තිස්සේ සිදු වූ නෂ්ටප්‍රාප්තවීම් මාලාවක් වූවා විය හැකියි. වඩාත්ම දරුණු බලපෑමක් ඇති වූයේ නොගැඹුරු මුහුදේ ජීවීන්ටය. වසර මිලියන 100ට අධික කාලයකට පසු නව කොරල් පර පරිණාමනය වන තුරු යළි පෙර තිභූ විභූතියට පත් වීමට නොහැකිවන පරිද්දෙන් ඩේවියානු වඳවීයාමේදී කොරල් පරවලට මහත් හානිපැමිණියේ ය. ඉතිරිව සිටි ට්‍රයිලොබයිට්ස් හා සන්නහධාරී අග්නාත් ජීවි විශේෂ තවදුරටත් නෂ්ටව යාම සිදුවිය.මෙම යුගය අවසානයේදී ස්ටේගොසේපාලියන්ස් නමින් හඳුන්වනු ලබන ප්‍රථම භෞමික පෘෂ්ටවංශි ජීව විශේෂය පරිණාමය වි ඇති අතර ඉක්තියෝස්ටේගා එම විශේෂයට අයත් පළමු ජීවි විශේෂය වේ.

මිසිසිපියන් උප කාලපරිච්ඡේදය

අනතුරුව එළඹෙන කාබෝනිෆරස් කාලපරිච්ඡේදය අදින් වසර මිලියන 419.2 පටන් වසර මිලියන 358.9 දක්වා පැවතිණි.  කාබෝනිෆරස් කාලපරිච්ඡේදය එහි ගති ලක්ෂණ අනුව තව දුරටත් උප කාලපරිච්ඡේද දෙකකට බෙදා දක්වයි. ඒවා පිළිවෙලින් අදින් වසර මිලියන 323.2 දක්වා පැවති මිසිසිපියන් උප කාලපරිච්ඡේදය හා එතැන් පටන් වසර මිලියන 358.9 දක්වා පැවති පෙනිසිල්වේනියන් උප කාලපරිච්ඡේදය යනුවෙන් හැඳින්වෙයි. මෙම මිසිසිපියන් උප කාලපරිච්ඡේදය, වකවානු තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් පහළ මිසිසිපියන්, මධ්‍ය මිසිසිපියන් හා ඉහළ මිසිසිපියන් ලෙස බෙදා දැක්වේ. අදින් වසර මිලියන 358.9 න් ආරම්භ වී වසර මිලියන 346.7 න් ගෙවීයන පහළ මිසිසිපියන් වකවානුව තුළ ටුවර්නේෂියන් යනුවෙන් අවධියක් හඳුනාගත හැකි අතර අතර මෙම අවධිය පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථානයක් ලෙසට ප්‍රංශයේ ලා සේර්, මොන්ටැග්න් නොයර් යන ස්ථානය හඳුනා ගත හැකිය. අදින් වසර මිලියන 346.7 න් ආරම්භ වී වසර මිලියන 330.9 න් ගෙවීයන මධ්‍ය මිසිසිපියන් වකවානුව තුළ වීසියන් යනුවෙන් අවධියක් හඳුනාගත හැකි අතර අතර මෙම අවධිය පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථානයක් ලෙසට දකුණු චීනයේ පෙන්චොං යන ස්ථානය හඳුනා ගත හැකිය.

අදින් වසර මිලියන 330,9 න් ආරම්භ වී වසර මිලියන 323.2 න් ගෙවීයන ඉහළ මිසිසිපියන් වකවානුව තුළ සර්පුකොවියානු යනුවෙන් අවධියක් හඳුනාගත හැකිය. මෙකල ව්ශාල ප්‍රාථමික ශාකයන්ගේ හා පළමු භෞමික පෘෂ්ටවංශින්ගේ ආගමනය සිදුවිය. බීජානු දරන ශාකයන්, නොදියුණු බිජ දරන ශාකයන් හා බිජ දරන මීමන ශාකයන්ගෙන් ගොඩබිම සම්පුරණයෙන් පාහේ ආවරණය වීම සිදුවිය. උභයජීවී සමුද්‍රික ගෝනුස්සන් ගේ ආගමනය මෙන්ම ජීවි කොරල් සකස්විමද වෙරළාශ්‍රිත තෘණ නිර්මාණය වීමද ආරම්භ විය. ලොබ්*ෆින්ඩ් රයිසෝඩොන්ට්ස් සාගරයේ වාසය කළ විශාලතම විලෝපිකයෙක් වන අතර පුරාණ මෝරුන් ප්‍රමුඛ මත්ස්‍ය දර්ශය විය. එකිනොඩර්මේටාවන් (විශේෂයෙන් ක්‍රිනොයිඩ්ස් සහ බ්ලාස්ටොයිඩ්), කොරල්, බ්‍රයෝසෝවා, ගොනියාටයිට් සහ බ්‍රැචියෝපොඩ් (ප්‍රොඩක්ටිඩා, ස්පිරිෆෙරිඩා ආදිය) වැනි සතුන් විශාල වශයෙන් ව්‍යාප්තව සිටයහ. ට්‍රයිලොබයිට්ස් හා නෞටිලොයිඩ් යන ජීවින් තව දුරටත් පරිහානියට පත්විය. නැගෙනහිර ගොන්ඩ්වානා ප්‍රදේශ ආශ්‍රිතව ග්ලැසියර්කරණය ආරම්භ විය. එමෙන්ම පළමු ගල් අඟුරු ආකර, තෙල් නිධි, ඊයම් නිධි, රන් ආකර, සින්ක් නිධි, ජිප්සම් ආකර හා ඊයම් නිධි ආදිය නිර්මාණය වි ඇත.

රූපය 5- කාබෝනිෆරස් කාලපරිච්ඡේදයේ වූ වගුරු වනාන්තර දර්ශනයක් ෆොසිල සාධක හා පුරාකාලගුණ දත්ත අනුව ප්‍රතිනිර්මාණය කිරීම (උපුටා ගැනීම https://www.nationalgeographic.com ඇසුරිනි)
රූපය 5- කාබෝනිෆරස් කාලපරිච්ඡේදයේ වූ වගුරු වනාන්තර දර්ශනයක් ෆොසිල සාධක හා පුරාකාලගුණ දත්ත අනුව ප්‍රතිනිර්මාණය කිරීම (උපුටා ගැනීම https://www.nationalgeographic.com ඇසුරිනි)

පෙනිසිල්වේනියන් උප කාලපරිච්ඡේදය

මෙම මිසිසිපියන් උප කාලපරිච්ඡේදයේ අවසානයත් සමග ආරම්භ වන පෙනිසිල්වේනියන් උප කාලපරිච්ඡේදය ද වකවානු තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් පහළ පෙන්සිල්වේනියානු, මධ්‍ය පෙන්සිල්වේනියානු ඉහළ පෙන්සිල්වේනියානු ලෙස බෙදා දැක්වේ. අදින් වසර මිලියන 323,2 න් ආරම්භ වී වසර මිලියන 315.2 න් ගෙවීයන පහළ පෙන්සිල්වේනියානු වකවානුව තුළ බෂ්කිරියන් යනුවෙන් අවධියක් හඳුනාගත හැකි අතර අතර මෙම අවධිය පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථානයක් ලෙසට ප්‍රංශයේ ලා සේර්, මොන්ටැග්න් නොයර් හා ඇමරිකා එක්සත් ජනපදයේ ඇරෝ කැනියොන්, නෙවාඩා යන ස්ථාන හඳුනා ගත හැකිය. අදින් වසර මිලියන 315.2 න් ආරම්භ වී වසර මිලියන 307 න් ගෙවීයන මධ්‍ය පෙන්සිල්වේනියානු වකවානුව තුළ මොස්කෝවියන් යනුවෙන් අවධියක් හඳුනාගත හැකිය. එමෙන්ම අදින් වසර මිලියන 330,9 න් ආරම්භ වී වසර මිලියන 323.2 න් ගෙවීයන ඉහළ පෙන්සිල්වේනියානු වකවානුව තුළ කාසිමොවියානු හා ග්ෂෙලියන් යනුවෙන් අවධි දෙකක් හඳුනාගත හැකිය. පියාපත් සහිත කෘමීන්ගේ ස්ථාවර වීම සිදුවිය. උභයජිවින් ප්‍රමුඛ සත්ත්ව දර්ශය විය. පළමු උරගයන්ගේ ආගමනය සිදු වූ අතරම සමකය අසල ගල්අඟුරු වනාන්තර ව්‍යාප්ත විය. වයුගොලිය ඔක්සිජන් ප්‍රමාණය ඉහළ මට්ටමින් පැවතුණි.

පර්මියන් කාලපරිච්ඡේදය

කාබෝනිෆරස් කාලපරිච්ඡේදයේ අවසානයත් සමග පැනෙරෝසොයික් යුගයේ අවසන් කාලය වන පර්මියන් කාලපරිච්ඡේදය ආරම්භ වන අතර එය අදින් වසර මිලියන 298.9 සිට වසර මිලියන 251.9 දක්වා පවතින අතර එය වකවානු තුනකට බෙදා දැක්වේ. එනම් පිළිවෙලින් අදින් වසර 272.95න් ගෙවීයන සිසුරලියන්, අදින් වසර මිලියන 259 දක්වා පැවති ග්වාඩෙලෝපියන් හා අදින් වසර මිලියන 251.9 දක්වා පැවති ලොපින්ජියන් වකවානුව වෙයි. සිසුරලියන් වකවානුව නැවත අවධි 4 කට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ඇසෙලියන්, සක්මේරියන්, ආර්ටින්ස්කියන් හා කුන්ගුරියන් ලෙසින් හැඳින්වෙන අතර ඇසෙලියන් අවධියට අයත් භූ විද්‍යාත්මක සාධක හඳුනාගත හැකි ස්ථානයක් ලෙසට කසකස්ථානයේ යුරල් කඳුවැටියේ අයිදරාලාෂ් පෙන්වා දිය හැකිය. ග්වාඩෙලෝපියන් වකවානුව නැවත අවධි තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් රෝඩියන්, වර්ඩියන් හා කැපිටන් ලෙස හැඳින්වෙන අතර මෙම අවධි තුනටම අයත් සාධක ඇමරිකා එක්සත් ජනපදයේ ග්වාඩෙලෝප් කඳුකරය ආශ්‍රයෙන් ලැබෙයි. ලොපින්ජියන් වකවානුව ද නැවත අවධි දෙකකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් වුචියාපින්ජියන් හා චැංසිං ලෙස හැඳින්වේ. මෙම අවධීන්ට අයත් සාධක ලැබෙන ස්ථාන ලෙස පිළිවෙලින් චීනයේ පෙන්ග්ලයිටන්, ගුවැන්සි හා මීෂාන්, ෂෙජියැන්ග් යන ප්‍රදේශ පෙන්වා දිය හැකිය. මේ සමග පැනෙරෝසොයික් යුගය අවසන් වන අතර මෙසොසොයික් භූ යුගය ආරම්භ වෙයි. පැන්ජියා මහාද්වීපය බිහිවීම මෙකළ සිදුවිය.

පෙර යුගයේ සිදු වූ ග්ලැසියර්කරණය නිමාවට පත්විය. පැරාරෙප්ටයිල් සහ ටෙම්නොස්පොන්ඩයිල් උභයජිවින් ප්‍රමුඛ සත්ව දර්ශ විය. මහාද්වීපය උරගයින්ගෙන් පිරි පැවතිණි. පළමු සත්‍ය බීජක ශාක වන කේතුධර ජිම්නෝෆර්න්ස් ශාක හා පළමු සත්‍ය පාසි වැනි ශාක ස්ථාපිත විය. කුරුමිණියන් හා මැස්සන් බහුල විය. ඇමොනයිට් ගහණය වැඩි වි ඇති අතර නව විශේෂණයන් ඇතිවිය. ප්‍රථම උරග ආකාරය වන කොටිලොසෝරස් මෙන්ම ටෙරැප්සිඩාවන් සම්භවය වීමද මෙකළ සිදුවිය. පෘථිවියේ සිදු වූ විශාලතම මහා නෂ්ටවිම පර්මියන් හිදී සිදුවිය.මේ සමූහ නෂ්ට ප්‍රාප්තියේදී සියලු ජීවි විශේෂයන්ගෙන් 96ක්ම විනාශ විය. සියලු ට්‍රයිලොබයිට්, ග්‍රැප්ටොලයිට්, බ්ලාස්ටොයිඩ් ජීවි විශේෂ මෙයට අයත්ය. මෙම නෂ්ටප්‍රාප්තවීම කෙතරම් දරුණු ද යත් එයට ”ර්‍ණමහා මරණය” යනුවෙන් පටබැඳි නාමයක් ද එක්වී ඇත. අද පෘථිවිය මත සියලු ජීවීන් පැවති එන්නේ පර්මියානු නෂ්ටප්‍රාප්තයෙන් ගැලැවුණු සියයට හතරෙනි. ඇපලේචියන් පුනරුදය හේතුවෙන් බොහොමයක් මහද්වීපික භූ ස්කන්ධ පේලියෝසොයික යුගය අවසානය වනවිට මතු වි තිබුණි.

රූපය 6- පර්මියන් මහා වදවීම ප්‍රතිනිර්මාණය කිරීම (උපුටා ගැනීම https://eartharchives.org ඇසුරිනි)
රූපය 6- පර්මියන් මහා වදවීම ප්‍රතිනිර්මාණය කිරීම (උපුටා ගැනීම https://eartharchives.org ඇසුරිනි)

 ට්‍රියාසික් කාලපරිච්ඡේදය

අනතුරුව එළඹෙන මෙසොසොයික් භූ යුගය ද කාලපරිච්ඡේද තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් අදින් වසර මිලියන 251.9 සිට 201.3 දක්වා පැවති ට්‍රියාසික් කාලපරිච්ඡේදය , අදින් වසර මිලියන 145 දක්වා පැවති ජුරාසික් කාලපරිච්ඡේදය හා අදින් වසර මිලියන 66 දක්වා පැවති ක්‍රිටේසියස් කාලපරිච්ඡේදය වේ. බොහොමයක් දියුණු ශාක හා සත්ත්ව වංශයන් හා විශේෂයන් පරිණාමය වීම මෙසොසොයිකයේදී සිදුවිය.

ට්‍රියාසික් කාලපරිච්ඡේදය නැවත වකවානු තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් පහළ ට්‍රියාසික්, මධ්‍ය ට්‍රියාසික් හා ඉහළ ට්‍රියාසික් ලෙසින් හැඳින්වෙයි. අදින් වසර මිලියන 251.9න් ආරම්භ වී වසර මිලියන 247.2 ගෙවීයන පහළ ට්‍රියාසික් යුගය නැවත අවධි දෙකකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ඉන්දුආන් හා ඔලෙනෙකියන් අවධීන් වෙයි. ඉන්දුආන් අවධියට අයත් භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථානයක් ලෙසට චීනයේ මීෂාන්, ෂෙජියැන්ග් ප්‍රදේශය පෙන්වා දිය හැකිය. අදින් වසර මිලියන 247.2 න් ආරම්භ වී වසර මිලියන 237 න් ගෙවීයන මධ්‍ය ට්‍රියාසික් යුගය නැවත අවධි දෙකකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ඇනිසියන් හා ලාඩීනියානු අවධීන් වෙයි. ලාඩීනියානු අවධියට අයත් භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථානයක් ලෙසට ඉතාලියේ බගොලිනෝ ප්‍රදේශය පෙන්වා දිය හැකිය. අදින් වසර මිලියන 237 න් ආරම්භ වී වසර මිලියන 201.3 න් ගෙවීයන ඉහළ ට්‍රියාසික් වකවානුව නැවත අවධි තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් කානියන්, නොරියන් හා රේටියන් අවධීන් වෙයි. කානියන් අවධියට අයත් භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථානයක් ලෙසට ඉතාලියේ ප්‍රාටි ඩි ස්ටුවර්ස් ප්‍රදේශය පෙන්වා දිය හැකිය. පළමු ඩයිනොසරයන්ගේ ආගමනය මෙකල සිදුවිය. ඉදිභූවන්ගේ පුර්වජයන් හා කිඹුලන්ගේ පුර්වජයන් වන ආර්ක්සොරස් බිහිවිය. සාගරයේ ටෙරෝසෝරස්. ඉක්තියෝසෝර්ස් හා නොතෝසෝර්ස් වැනි ව්ශාල සමුද්‍රික ජීවන් බිහිවිය. ක්ෂීරපායි ලක්ෂණ දැරූ උරගයින්ගේ හා රොඩෙන්ටියා වන්ගේ ආගමනය සිදුවිය. ඩයික්‍රොයිඩියම් ශාක භෞමික පරිසරයේ බහුල විය. සාගරයේ අධික සෙරෙටිටික් ඇමෝනොයිඩ් ගහනයකින් යුක්ත විය. නුතන කෘමින්, කොරල් විශේෂ හා මත්ස්‍යයන්ගේ ආගමනය සිදුවිය. මෙම යුගයේ අවසාන වසර මිලියන 18 තුළ නෂ්ටප්‍රාප්තවීම් අදියර දෙකක් හෝ තුනක් ඇති විය. මේ එකතුවෙන් ත්‍රියාසික ජුරාසික සමූහ වඳවී යාමේ සිද්ධිය නිර්මාණය විය. මේ මහා විනාශය සම්බන්ධයෙන් වගකීම පිටාර බැසෝල්ට් විදාරණයන් හා ග්‍රහක කඩාවැටීමක් වෙත පැවරේ.

රූපය 7- මධ්‍ය ට්‍රයාසික යුගයේ වූ Pachypleurosaurus edwardsi උරගයාට අයත් ස්විස්ටර්ලන්තයෙන් හමු වූ ෆොසිලය (උපුටා ගැනීම https://www.nationalgeographic.com ඇසුරිනි)
රූපය 7- මධ්‍ය ට්‍රයාසික යුගයේ වූ Pachypleurosaurus edwardsi උරගයාට අයත් ස්විස්ටර්ලන්තයෙන් හමු වූ ෆොසිලය (උපුටා ගැනීම https://www.nationalgeographic.com ඇසුරිනි)

ජුරාසික් කාලපරිච්ඡේදය

ට්‍රියාසික් කාලපරිච්ඡේදය අවසන් වීමත් සමග ජුරාසික් කාලපරිච්ඡේදය ආරම්භ වන අතර එය නැවත වකවානු තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් පහළ ජුරාසික්, මධ්‍ය ජුරාසික් හා ඉහළ ජුරාසික් ලෙසින් හැඳින්වෙයි. අදින් වසර මිලියන 201.3 න් ආරම්භ වී වසර මිලියන 174.1 න් ගෙවීයන පහළ ජුරාසික් වකවානුව නැවත අවධි හතරකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් හෙට්ටන්ජියන්, සිනමූරියන්, ප්ලීන්ස්බැචියන් හා ටෝර්සියන් අවධීන් වෙයි. මෙම අවධීන්ට අයත් භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථානයන් ලෙසට පිළිවෙලින් ඔස්ට්‍රියාවේ කුජ්ජොක්, ටයිරෝල්, එක්සත් රාජධානියේ නැගෙනහිර ක්වොන්ටොක්ස් හෙඩ්, බටහිර සොමර්සෙට් හා රොබින් හුඩ්ස් බොක්ක, යෝක්ෂයර් යන ප්‍රදේශයන් පෙන්වා දිය හැකිය. අදින් වසර මිලියන 174.1 න් ආරම්භ වී වසර මිලියන 163.5 න් ගෙවීයන මධ්‍ය ජුරාසික් වකවානුව නැවත අවධි හතරකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ඇලෙනියන්, බජෝසියානු, බැතෝනියානු හා කැලෝවියානු අවධීන් ලෙස හැඳින්වේ. මෙම අවධීන්ට අයත් භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථානයන් ලෙසට පිළිවෙලින් ස්පාඥ්ඥයේ ෆුවෙන්ටෙල්සාස්, බටහිර පෘතුගාලයේ කබෝ මොන්ඩෙගෝ හා ප්‍රංශයේ රවින් ඩු බාස් යන ප්‍රදේශයන් පෙන්වා දිය හැකිය. අදින් වසර මිලියන 163.5 න් ආරම්භ වී වසර මිලියන 145 න් ගෙවීයන ඉහළ ජුරාසික් වකවානුව නැවත අවධි තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ඔක්ස්ෆර්ඩියන්, කිම්රිඩ්ජියන් හා ටයිටෝනියන් ලෙස හැඳින්වේ. ජිම්නේෆර්න්ස් (විශේෂයෙන් කේතුධර, බෙනටිටේල්ස් සහ සයිකැඩ්) ශාක හා පර්ණාංග බහුල ශාක දර්ශය විය.

රූපය 8- ඩයිනොසරයින් ප්‍රමුඛ ජීවීන් වූ ජුරාසික් යුගය ෆොසිල සාධක ඇසුරෙන් කරන ලද ප්‍රතිනිර්මිත අවකාශය (උපුටා ගැනීම https://www.sciencenewsforstudents.org ඇසුරිනි)
රූපය 8- ඩයිනොසරයින් ප්‍රමුඛ ජීවීන් වූ ජුරාසික් යුගය ෆොසිල සාධක ඇසුරෙන් කරන ලද ප්‍රතිනිර්මිත අවකාශය (උපුටා ගැනීම https://www.sciencenewsforstudents.org ඇසුරිනි)

විවිධ වර්ගයේ විවධ ප්‍රමාණයේ සෞරෝපොඩ්ස්, කාර්නෝසෝරයන් , ස්ටෙගෝසෝරයන් වැනි ඩයිනොසොරයන් ප්‍රමුඛ ජීවින් උරගයින් විය. පළමු පක්ෂීන්ගේ හා කටුස්සන්ගේ ආගමනය සිදු විය. විශාල සමුද්‍ර උරගයින් වන ඉක්තියෝසොරස් හා ප්ලේසියෝසෝරස් ආගමනය සිදුවිය. සාගරයන් තුළ මුහුදු ඉකිරියන්, ක්‍රිනොයිඩ්ස්, පසඟිල්ලන්, ස්පොන්ජ්, ටෙරෙබ්‍රැටුලිඩ්, රයින්චොනෙලිඩ් හා බ්‍රැචියෝපොඩ්ස් ජීවින් බහුල විය. නමුත් බයිවැල්වියා, ඇමොනයිට් හා බෙලෙම්නයිට් වැනි ජිවින්ගේ පරිහානියක් ඇතිවිය. පැන්ජියා මහාද්වීපය කැඩී වෙන්වී යමින් පවතින අතර උතුරු ඇමරිකානු ගොඩබිම් අප්‍රිකාවෙන් බිඳී වෙන්වීම සිදුවිය ශ්‍රී ලංකාවේ ඉහළ ජුරාසික යුගයට අයත් අවසාදිත තැන්පතු අවම වශයෙන් ආකාර තුනක් ලෙස ශ්‍රී ලංකාවේ වයඹ දිග පෙදෙසෙ ප්‍රාග් කේම්බ්‍රිය සම්භවයක් සහිත විජයානු සංකීර්ණයේ වූ සානු තුළ තැන්පත්ව ඇත. ජුරාසික තැන්පතු අතරින් පුත්තලම අනුරාධපුර මාර්ගයේ සැතපුම් 8 ක් ගිය තැන පිහිටි තබ්බෝව වැවේ බටහිර පෙදෙසේදී මෙම අවසාදිත පොළොව මතුපිට පිහිටා ඇත. අනෙකුත් ජුරාසික තැන්පතු වන තබ්බෝවට දකුණින් පිහිටි ආඩිගම හා පල්ලම තැන්පතු නූතන හෙවත් හොලෝසින පාංශු තැන්පතු මගින් මුළුමනින්ම පාහේ ආවරණය වී ඇත. ආඬිගම තැම්පතු තබ්බෝවේ සිට කිලෝ කිලෝමීටර 32 කින් ද පල්ලම තැන්පතු තබ්බෝවේ සිට කිලෝ කිලෝමීටර් 43 කින් ද වන්නට ඈතින් පිහිටා ඇත.

රූපය 9- ලංකාවේ ජුරාසික යුගයට අයත් ෆොසිල තැන්පතු හමුවන තබ්බෝව ප්‍රදේශයෙන් හමු වූ ජුරාසික යුගයට අයත් ශාක ෆොසිල (උපුටා ගැනීම Plant Insect-Interactions in Jurassic Fossil Flora from Sri Lanka පර්යේෂණ පත්‍රිකාවෙනි)
රූපය 9- ලංකාවේ ජුරාසික යුගයට අයත් ෆොසිල තැන්පතු හමුවන තබ්බෝව ප්‍රදේශයෙන් හමු වූ ජුරාසික යුගයට අයත් ශාක ෆොසිල (උපුටා ගැනීම Plant Insect-Interactions in Jurassic Fossil Flora from Sri Lanka පර්යේෂණ පත්‍රිකාවෙනි)

ක්‍රිටේසියස් කාලපරිච්ඡේදය

ජුරාසික කාලපරිච්ඡේදයේ හි අවසානයත් සමග මෙසොසොයික යුගයේ අවසාන කාලපරිච්ඡේදය වන ක්‍රිටේසියස් කාලපරිච්ඡේදය ආරම්භ වෙයි. ක්‍රිටේසියස් කාලය නැවත වකවානු දෙකකට බෙදා දැක්වෙන අතර ඒවා පහළ ක්‍රිටේසියස් හා ඉහළ ක්‍රිටේසියස් ලෙසින් හැඳින්වේ. අදින් වසර මිලියන 145 පටන් අදින් වසර මිලියන 100.5 දක්වා දිවෙන භූ විද්‍යා කාලය පහළ ක්‍රිටේසියස් ලෙස හඳුන්වනු ලබන අතර එය නැවත අවධීන් හයකට බෙදා දක්වයි. ඒවා පිළිවෙලින් බෙරේසියානු, වලන්ගීනියානු, හෝටරිවියන්, බැරේමියානු, ඇප්ටියන් හා ඇල්බියන් ලෙස හැඳින්වෙයි. අදින් වසර මිලියන 100.5 පටන් අදින් වසර මිලියන 66 දක්වා දිවෙන භූ විද්‍යා කාලය ඉහළ ක්‍රිටේසියස් ලෙස හඳුන්වනු ලබන අතර එය නැවත අවධීන් හයකට බෙදා දක්වයි. ඒවා පිළිවෙලින් සෙනෝමනියානු, ටුරෝනියානු, කොනේෂියන්, සැන්ටෝනියානු, කැම්පානියානු හා මාස්ට්‍රිචියන් හැඳින්වෙයි. සෙනෝමනියානු හා ටුරෝනියානු අවධීන් සම්බන්ධයෙන් භූ විද්‍යාත්මක සාධක හමුවන ස්ථාන ලෙස පිළිවෙලින් ප්‍රංශයේ මොන්ට් රිසෝ, රොසෑන්ස්, හෞට්-ඇල්පස් හා ඇමරිකා එකසත් ජනපදයේ රොක් කැනියොන්, පියුබ්ලෝ, කොලරාඩෝ යන ස්ථාන පෙන්වා දිය හැකිය. මාස්ට්‍රිචියන් අවධියට අයත් භූ විද්‍යාත්මක සන්දර්භයන් හමුවන ස්ථානයක් ලෙසට ප්‍රංශයේ ටර්සිස්-ලෙස්-බෙයින්ස්, ලෑන්ඩස් ප්‍රදේශය පෙන්වා දිය හැකිය. මෙම යුගයේදී සපුෂ්ප ශාකයන්ගේ ස්ථාපිත වීම සිදුවිය. නව කෘමි විශේෂයන්ගේ ආගමනය සිදුවිය. සාගරයේ ප්‍රමුඛ ජීවින් ලෙසින් ඇමෝනොයිඩ්, බෙලෙම්නයිට්ස්, රුඩිස්ට් බයිවැල්වියාවන් , එකිනොයිඩ් ස්පොන්ජ් විශේෂ ව්‍යාප්ත විය. ටිරාන්නෝසෝර්ස්, ටයිටනෝසෝර්ස්, හැඩ්රෝසෝර්ස් හා සෙරාටොප්සිඩ්වැනි නව ඩයිනොසර් විශේෂ රාශියක් ව්‍යාප්ත විය. යුසුචියා (නූතන කිඹුලන්), මොසසෝරස් හා නුතන මෝරුන්ගේ ආගමනය සිදුවිය. දත් සහිත හා රහිත පක්ෂීන් බහුල විය.මොනෝට්‍රීම්, මාෂුපියල්ස් සහ කළල බන්ධ ක්ෂිරපායින්ගේ ආගමනය සිදුවිය.

ගොන්ඩ්වානාලන්තය තව දුරටත් බිඳී ගිය අතර රොකි කඳුවැටිය පැනනැගීම ද සිදුවිය. භූ ඉතිහාසයේ අවසාන හා මහා ජීවී වඳවීම ක්‍රිටසියස් යුගයේ දී සිදුවිය. ක්‍රෙටේසියස් යුගයේ සිදුවූ ජීවීන්ගේ වඳවීම් විද්‍යාවේදී ආකාර කිහිපයකින් විස්තර කෙරේ. එනම් ක්‍රිටේසියස්-තෘතීය වඳවීමේ සිදුවීම, ක්‍රිටේසියස් – පැලියෝජීන් වඳවීමේ සිදුවීම, කේ-ටී වඳවීමේ සිදුවීම (කේ- ක්‍රිටේසියස්, ටී- තෘතියික) ආදී වශයෙන් හැඳින්වේ. එමෙන්ම මෙම වඳවීමේ සිදුවීම ක්‍රිටේසියස් පැලියෝජීන් වඳවීම (K-Pg) යනුවෙන්ද පර්යේෂකයින් හඳුන්වනු ලැබේ.උල්කා පතනයක් නිසා සිදුවූවක් ලෙස විස්තර කෙරේ. මෙතෙක් වායව, ජලජ හා භෞමික නිකේතන සියල්ලම ආක්‍රමණය කර සිටි ඩයිනොසෝරයන් (උරගුන්) මෙම උල්කාවෙන් ඇති වූ අහිතකර පාරිසරික තත්ත්වයන් නිසා මුළුමනින්ම පාහේ වඳ විය. මෙම වඳවීමේ ක්‍රියාවලිය තුළ සිදු වුණු විශේෂ සිදුවීම් අතරින් එවකට ජීවත් වූ සමහර ක්ෂීරපායි කාණ්ඩ මෙම දුෂ්කර කාලය තරණය කළද තවත් ක්ෂීරපායි කාණ්ඩ සදහටම වඳවිය. ජලයේ ආම්ලිකතාවය ඉහළ යාමේ හේතුවෙන් මොලස්කාවන් ආදී කැල්සියම් කවච දරන සතුන් සමහර මුහුදු කලාපවලින් මුළුමනින්ම පාහේ වඳ විය. වඳවී ගිය අපෘෂ්ඨවංශීන් අතරින් නොගැඹුරු හා උණුසුම් මුහුදු කලාපවල ජීවත් වූ කොරල් විශේෂ වලින් 98ක් පමණ විනාශ විය. මීට අමතරව බ්‍රැචියෝපොඩ්ස්, පසැඟිල්ලන්, ඉකිරියන් ආදී ජීවීන් අයත්වන එකිනොඩර්මේටාවන් දෙපියන් බෙල්ලන් භූවල්ලන්, දැල්ලන් ආදීන් අයත් වන සෙපලපෝඩා ජිවින්ද බහුතරයක් විනාශ විය. සැලකිය යුතු ප්‍රමාණයක් සපුෂ්ප ශාක වඳවී ගිය අතර ඇමොනයිට් විශේෂ සම්පුර්ණයෙන් විනාශයට පත්විය.

 සෙනොසොයික යුගය

ක්‍රිටසියස් කාලපරිච්ඡේදයේ අවසානයත් සමග මෙසොසොයික යුගය අවසානයට පත්වන අතර සෙනොසොයික යුගයේ ආරම්භය සිදුවෙයි. අදින් වසර මිලියන 66 න් ආරම්භ වී වර්තමාන දක්වා පවතින මෙම යුගය කාලපරිච්ඡේද තුනකින් සමන්විත වේ. එනම් පිළිවෙලින් පෑලියෝජීන්, නියොජීන් හා චතුර්ථක කාලපරිච්ඡේදයන් වෙයි. මෙම කාලපරිච්ඡේදයන් පිළිවෙලින් අදින් වසර මිලියන 23.03, 2.58 හා වර්තමානය දක්වා ක්‍රියාත්මක වෙයි.

අදින් වසර මිලියන 66න් ආරම්භ වී වසර මිලියන 23.03 දක්වා පවතින පෑලියෝජීන් කාලපරිච්ඡේදය පිළිවෙලින් අදින් වසර මිලියන 56න් ගෙවීයන පෑලියොසීන, වසර මිලියන 33.9 න් ගෙවීයන ඉයොසීන හා වසර මිලියන 23.3 දක්වා පැවති ඔලිගොසීන ලෙසට වකවානු තුනකට බෙදා දක්වයි. පෑලියොසීන වකවානුව ඩැනියන්, සෙලන්ඩියානු හා තෙනේටියන් යනුවෙන් අවධි තුනකට බෙදා දැක්වෙන අතර එම අවධීන්ට අයත් සාධක පිළිවෙලින් ටියුනීසියාවේ එල් කෙෆ් හා ස්පාඥ්ඥයේ සුමාය්යා වලින් හමුවෙයි. මෙය කේ*ටී නෂ්ටප්‍රාප්තියේ පසු ප්‍රතිඵල ඇතිවූ කාල වකවානුව විය. දේශගුණය නිවර්තන ගති ලක්ෂණ පෙන්නුම් කරනු ලැභූ අතර පළමුවන විශාල ක්ෂිරපායින්ගේ ආගමනය සිදුවිය. අශ්වයන්ගේ පුර්වජයින්ගේ ආගමනය සිදු වූ අතරම නිවර්තන ශාක බහුල කාලයක් විය.

ඉයොසීන වකවානුව යෙප්‍රේෂියන්, ලුටේෂියන්, බාර්ටෝනියානු හා ප්‍රියාබෝනියන් යනුවෙන් අවධි හතරකට බෙදා දැක්වෙන අතර ඒවාට අයත් සාධක ඊජිප්තුවේ ලක්සොර් හී දබායියා හා උතුරු ස්පාඥ්ඥයේ ගොරොන්ඩැටෙක්ස් යන ස්ථාන වලින් හමුවෙයි. ක්‍රියෝඩොන්ට්ස්, ,කොන්ඩිලාර්ත්ස්, යුන්ටතෙරස් වැනි ආකයික ක්ෂිරපායින්ගේ ආගමනය සිදුවිය. තල්මසුන්, ඇතුන් හා රයිනෝසිරස් වැනි සතුන්ගේ පුර්වජයන් බිහිවිය. තෘණභූමි පැතිරයාම ආරම්භ විය. ඉයෝසීනයේ අවසානය වන විට තල්මසුන්ගේ හා ඩොල්පින් මසුන්ගේ පුර්වජයන් වන කෙටසියාවන් හා මුහුදු ඌරන්ගේ පුරවජයන් වන සිරේනියාවන් කරදිය පරිසර වලට අනුවර්තනය වි ඇති අතර වවුලන්ගේ පුර්වජ ආකාරයක් වන චිරෝප්ටෙරාවන් වායව පරිසරයට අනුවර්තනය වි ඇත. මුහුදුමට්ටම් ඉහළ ගිය අතර හුණුගල් තම්පත්විම සිදුවිය. ඉන්දියානු උපමහද්විපයේ හිමාලයන් කඳු හා ග්‍රීසියේ හෙලනික් කඳු ආශ්‍රිතව පර්වතකාරක ක්‍රියාකාරකම් සිදුවිය. නුතන සපුෂ්ප ශාකයන්ගේ පරිණාමය හා පැතිරයාම සිදුවිය. ඇන්ටාක්ටික් ග්ලැසියරයේ පැතිරයාම ආරම්භ විය.

ඔලිගොසින වකවානුව රුපෙලියන් හා චැටියන් ලෙසට අවධි දෙකකට බෙදා දැක්වෙන අතර ඒවාට අයත් භූ විද්‍යාත්මක සාධක හමුවන ස්ථානයක් ලෙසට ඉතාලියේ මැසිග්නානෝ, ඇන්කෝනා ප්‍රදේශය පෙන්වා දිය හැකිය. නුතන සපුෂ්ප ශාකයන්ගේ පරිණාමය හා පැතිරයාම සිදුවිය. එමෙන්ම ආකයික ක්ෂීරපායී විශේෂ බොහොමයක් නෂ්ට වීමද සිදු විය. කළල බන්ධ ක්ෂිරපයින්ගේ ව්‍යාප්තිය වැඩි වි ඇති අතර ප්‍රයිමේටාවන්ගේ පරිණාමය ද මෙකළ සිදුවිය. රයිනෝසිරස්, ඉබ්බන් හා ඇලිගේටාවන්ගේ වර්ධනය හා ව්‍යාප්තියද බහුල යුගයක් විය.ඇන්ටාක්ටික් ග්ලැසියරයේ පැතිරයාම ආරම්භ විය. සමුද්‍රික ඔලිගෝකිටාවන් බහුල විය.

රූපය 10- ප්‍රොටෙරෝසොයික් යුගයේ සිදු වූ විශේෂ සිදුවීම් (උපුටා ගැනීම - https://earthhow.com වෙතිනි)
රූපය 10- ප්‍රොටෙරෝසොයික් යුගයේ සිදු වූ විශේෂ සිදුවීම් (උපුටා ගැනීම – https://earthhow.com වෙතිනි)

මයෝසීන වකවානුව

මීළඟට එළඹෙන නියොගීන කාලපරිච්ඡේදය අදින් වසර මිලියන 23.03 ආරම්භ වී වසර මිලියන 5.333 දක්වා පැවති මයෝසීන වකවානුව හා වසර මිලියන 2.58 දක්වා පවතින ප්ලියෝසින වකවානුව ලෙසට වකවානු දෙකකට බෙදා දැක්වේ. මයෝසීන වකවානුව තවදුරටත් අවධි 06 කට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ඇක්විටානියානු, බර්ඩිගාලියන්, ලැන්ගියන්, සේරාවලියන්, ටෝටෝනියානු හා මෙසීනියානු ලෙස හැඳින්වෙයි. ඇක්විටානියානු අවධ්ය සම්බන්ධ භූ විද්‍යාත්මක සාධක උතුරු ඉතාලියේ ලෙම්*කැරොසියෝ ප්‍රදේශයෙන් හමුවන අතර ශ්‍රී ලංකාවේ මයෝසීන සාධක බර්ඩිගාලියන් අවධියට අයත් බව මෑතකදී කරනු ලැභූ පර්යේෂණයකින් පෙන්වා දී ඇත. සේරාවලියන්, ටෝටෝනියානු හා මෙසීනියානු අවධීන්ට අයත් භූ විද්‍යාත්මක සාධක හමුවන ස්ථාන ලෙසට පිළිවෙලින් මෝල්ටාවේ රාස් ඉල් පෙලෙග්‍රින්, ෆොම් ඉර්-රි බොක්ක, ඉතාලියේ මොන්ටේ ඩී කෝර්වි බීච්, ඇන්කෝනා හා මොරොක්කෝවේ ඕඩ් අක්රෙක්, රබ්බාත් යන ප්‍රදේශ පෙන්වාදිය හැකිය. මේ කාලය හරිතාගාර දේශගුණයකට සමාන වූ උෂ්ණත්වයක් පැවැති අවධියක් ලෙස සැලකේ. මයෝසීන අවධියේදී ඇති වූ වැදගත් සිදුවීම් අතර, හිමාලය කඳුවැටිය ආරෝහණය වීම, ආසියාවේ ඇතැම් ප්‍රදේශ මහාද්වීපයෙන් වෙන් වී වීශාල දූපත් බවට පත්වීම (ශ්‍රී ලංකාව, සුමාත්‍රා, බෝර්නියෝ ආදි) දැක්විය හැකිය. හයිනාවන්. ජිරාෆ් හා ඇන්ටිලෝපයන් හා මුවන් වැනි ක්ෂීරපායින් ආසියාවේ හා යුරෝපයේ බිහි විය. සිරේනියානුවන් පළමුව ගන කිහිපයකින් නිරූපණය වූ අතර, සෙටාතෙරිස් තල්මසුන් පළමුව බිහි වූයේද පහළ මයෝසීනයේදීය. නුතන ක්ෂිරපායින්ගේ හා පක්ෂීන්ගේ පුර්වජයන් විශාල ප්‍රමාණයක ආගමනය සිදු විය. අශ්වයන්, ඇතුන්, ඔටුවන් බල්ලන් හා බළලුන් මේ ගණයට අයත් වයි. එමෙන්ම වානරයන්ගේ පුර්වජයන්ගේ ආගමනය ද සිදුවිය. චිමපසින්ගේ හා මානවයන්ගේ පුර්වජයන්ගේ වෙන්වීම සිදුවිය. අප්‍රිකාව සහලෙන්ට්‍රොපස් ටැචෙන්සිස් වානර මානව විශේෂය බිහිවිය.

මයෝසීන අවධියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පිහිටා ඇති ගොඩබිම් ප්‍රදේශය ගිලී යෑම හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන්විය. මයෝසීන අවධියේදී ඇති වූ වැදගත් සිදුවීම් අතර, හිමාලය කඳුවැටිය ආරෝහණය වීම, ආසියාවේ ඇතැම් ප්‍රදේශ මහාද්වීපයෙන් වෙන් වී වීශාල දූපත් බවට පත්වීම (ශ්‍රී ලංකාව, සුමාත්‍රා, බෝර්නියෝ ආදි) දැක්විය හැකිය. හයිනාවන්. ජිරාෆ් හා ඇන්ටිලෝපයන් හා මුවන් වැනි ක්ෂීරපායින් ආසියාවේ හා යුරෝපයේ බිහි විය. සිරේනියානුවන් පළමුව ගන කිහිපයකින් නිරූපණය වූ අතර, ක්‍ැඒඑයැරසි තල්මසුන් පළමුව බිහි වූයේද පහළ මයෝසීනයේදීය. මයෝසීන හුණුගල් උතුරේ යාපනය අර්ධද්වීපය ප්‍රදේශයේ දැකිය හැකි අතර, මයෝසීන වැලිගල් ගිනිකොනදිග ප්‍රදේශයේ මිනිහාගල්කන්ද ප්‍රදේශයේ හමුවේ. යාපනය හුණුගල ආවරණය කරමින් සංවර්ධන කටයුතු සිදුවී ඇති අතර, ඉතිරිව ඇත්තේ රතු පසින් යටවී පිහිටා ඇති අරුවක්කාලූ පොසිල පමණකි. යාපනය අර්ධද්වීපයේ මයෝසීන හුණුගල හා මිනිහාගල්කන්ද යනු පරිහානියට පත් වූ හුණුගල් වෙයි. මේවායේ හමුවන්නේ කොරල් හා දෙපියන් බෙල්ලන් පමණක් වන අතර, එමගින් පෙනෙන්නේ එම ප්‍රදේශය අදාළ කාලයේදී අන්තර් උදම් කලාපයක්ව පැවැති බවයි. විශාල අපෘෂ්ටවංශීන් හා පෘෂ්ටවංශීන් හමුවන්නේ හා ඉහළ ජෛවවිවිධත්වයක් දැකිය හැක්කේ අරුවක්කාලූ මයෝසීන නිධියේ පමණකි. අරුවක්කාලූ පොසිල මගින් ගැස්ට්‍රොපෝඩාවන්, දෙපියන් බෙල්ලන්, එකිනොඩර්මාවන්, සාගර ඇල්ගාවන්, නාලපණුවන් මඩුවන්, තල්මසුන්, ඩොල්පිනුන්, මත්ස්‍යයින්, ඉදිභූවන් හා කැස්බෑවුන් නිරූපණය වෙයි. අරුවක්කාලූ නිධි පිහිටා ඇති ප්‍රදේශය මයෝසීන යුගයෙන් පසුව මුහුදු මට්ටම පහළ යෑම නිසා අනාවරණය වන්නට ඇති බව සිතිය හැකිය. මුහුදු ඌරා, ගැස්ට්‍රොපෝඩාවන් හා දෙපියන්බෙල්ලන්ගේ පොසිලවලින් පෙනීයන්නේ අන්තර් උදම් කලාපයක් පැවැති බව වන අතර, තල්මසුන් හා ඩොල්පින් වැනි සතුන්ගේ පොසිලවලින් පෙනීයන්නේ ගැඹුරු මුහුදු මට්ටමක්ද පැවැති බවයි. යාල ජාතික උද්‍යානයේ ෂෂ වන කලාපයේ පිහිටා ඇති මිනිහාගල්කන්ද ප්‍රදේශයෙන් පොසිල ස්පොන්ජි හා කොරල් සමග හමු වී ඇති ඔස්ට්‍රයො කවච මගින් පෙනී යන්නේ එම ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික සමයේදී වෙරළක්ව පැවැති බවයි.

රූපය 11- ලංකාවේ මයෝසීන යුගයට අයත් ෆොසිල හා තැන්පතු හමුවන අරුවක්කාලු ප්‍රදේශය (උපුටා ගැනීම https://www.earthsciences.hku.hk/ වෙතිනි)
රූපය 11- ලංකාවේ මයෝසීන යුගයට අයත් ෆොසිල හා තැන්පතු හමුවන අරුවක්කාලු ප්‍රදේශය (උපුටා ගැනීම https://www.earthsciences.hku.hk/ වෙතිනි)
රූපය 12- ලංකාවේ යාපනය අර්ධද්වීපයේ හමුවන මයෝසීන යුගයට අයත් ෆොසිල (උපුටා ගැනීම https://www.sciencedirect.com ඇසුරිනි)
රූපය 12- ලංකාවේ යාපනය අර්ධද්වීපයේ හමුවන මයෝසීන යුගයට අයත් ෆොසිල (උපුටා ගැනීම The role of sea-level and climate changes in the assembly of Sri Lankan biodiversity: A perspective from the Miocene Jaffna Limestone – ScienceDirect පර්යේෂණ පත්‍රිකාව ඇසුරිනි)

මීළඟට එළඹෙන ප්ලියෝසින වකවානුව අවධි දෙකකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් සැන්ක්ලීන් හා පියසෙන්සියන් ලෙසින් හඳුන්වයි. එම අවධීන්ට අයත් භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට ඉතාලියේ එරක්ලියා මිනෝවා, සිසිලිය හා පුන්ටා පිකෝලා, සිසිලිය යන ස්ථාන පෙන්වා දිය හැකිය. අප්‍රිකාවේ ආර්ඩිපිටෙකස් හා ඔස්ට්‍රේලෝපිටිකස් මානවයන්ගේ පරිණාමය සිදුවිය. ග්‍රෑන්ඩ් කැන්යෝන් නිර්මාණය වනුයේ ද මෙම යුගයේ වන අතර මෙය අයිස් යුගයක් ලෙස සැලකේ.

චතුර්ථක කාලපරිච්ඡේදය

නියෝගීන් කාලපරිච්ඡේදයේ අවසානයත් සමග එළඹෙන චතුර්ථක කාලපරිච්ඡේදය මානව පරිණාමීය ක්‍රියාවලියේදී අතිශයින් වැදගත් වෙයි. අදින් වසර මිලියන 2.58 කට පෙර ආරම්භවන චතුර්ථක කාලය වර්තමානය දක්වාම පවතී. මෙම කාලපරිච්ඡේදය අවධි දෙකකට බෙදා දක්වන අතර අදින් වසර 11 700 දක්වා පැවති කාලය ප්ලයිස්ටොසීන් වකවානුව ලෙසත් එතැන් පටන් අද දක්වා කාලය හොලෝසීන වකවානුව ලෙසත් හැඳින්වේ. ප්ලයිස්ටොසීන් වකවානුව නැවතත් අවධීන් හතරකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ගෙලාසියන්, කැලිබ්‍රියන්, මධ්‍ය ප්ලයිස්ටෝසින් හෙවත් චිබානියන් හා ඉහළ ප්ලයිස්ටෝසින් ලෙස හැඳින්වේ. ගෙලාසියන්, කැලිබ්‍රියන් අවධි සම්බන්ධයෙන් භූ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍ර අතර පිළිවෙලින් ඉතාලියේ මොන්ටේ සැන් නිකොලා, සිසිලි හා වර්කා, කැලාබ්‍රියා යන ස්ථාන වැදගත් වේ.. ගෙලාසියන් යුගයේදී චතුර්ථක ග්ලැසියර්කරණය ආරම්භ වූ අතර ප්ලයිස්ටොසීන මහා සත්ත්ව සංහතිය හා හෝමෝ හැබිලිස් මානවයාගේ පැතිරයාම සිදුවිය. කැලිබ්‍රියන් අවධිය හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ පැතිරයාම සම්බන්ධයෙන් වැදගත් වන අතරම චිබානියන් අවධිය නුතන මානවයාගේ ආගමනය සම්බන්ධයෙන් වැදගත් වෙයි. ඉහළ ප්ලයිස්ටෝසින යුගය තුළ සුප්‍රකට ටෝබා විදාරණය සිදුවන අතර ප්ලයිස්ටොසීන මහා සත්ත්ව සංහතියේ නෂ්ටව යාම සිදුවිය.

සිතියම 1 දැරණියගල ගංගාව (උපුටාගැනීම Deraniyagala, P.E.P, (1958), The Pleistocene of Ceylon ඇසුරිනි)
සිතියම 1 දැරණියගල ගංගාව (උපුටාගැනීම Deraniyagala, P.E.P, (1958), The Pleistocene of Ceylon ඇසුරිනි

වර්තමාන ජීවවිවිධත්වය ලොව ස්ථාපිත වීමත්, එමෙන්ම අද දක්නට ලැබෙන සමස්ත භූ දර්ශනය නිර්මාණය වීමත් සහ නූතන මානවයා උපත ලැබීමත් ආදී බොහෝ හේතූන් මත ප්ලයිස්ටොසීන අවධිය භූ යුග අතර ඉතා වැදගත් කාලපරිච්ඡේදයක් ලෙස සඳහන් කළ හැකිය. ප්ලයිස්ටොසීනයේ ජීවත් වූ ජීවීන් බොහෝමයක් අඛණ්ඩව අද දක්වාම ජීවත් වන අතර යම් කොටසක් වඳවීමටද භාජනය වී ඇත. ප්ලයිස්ටොසීනයේ ඇතිවූ ග්ලැසියර හා අන්තර් ග්ලැසියර තත්ත්වයන්ගේ හේතුවෙන් මුහුදු මට්ටම වෙනස්වීම සිදුවිය. මුහුදු මට්ටම පහත බැසීමේ ප්‍රතිඵලයක් ලෙස නොගැඹුරු දූපත් හා යාබද මහාද්වීප එක් ගොඩබිමක් වූ බැවින් ඒ අතර ගොඩබිම් සබඳතා ඇති විය. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව හා දකුණු ඉන්දියානු කලාපය එකිනෙක භෞතිකව සම්බන්ධ වූ අතර නැගෙනහිර ආසියානු දූපත් අතරද ගොඩබිම් සබඳතා ඇති විය. මිට වසර 15 000 කට පෙර සිට ක්‍රියාත්මක වන අන්තර් ග්ලැසියර බලපෑමේ හේතුවෙන් සාගර ජලය මට්ටම උස්වීමෙන් අදින් වසර 10 000 කට පෙර එතෙක් දකුණු ඉන්දියාවත්, උතුරු ශ්‍රී ලංකාවත් අතර පැවති ගොඩබිම් සබඳතා බිඳවැටුණි. මේ සබඳතා පැවති සමයේ ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත් අතර ජීවීන්ගේ සංක්‍රමණ පැවති බව ජාන විද්‍යාත්මක සාධකවලින් මේ වන විට මනාව අනාවරණය වී ඇත. ලංකාවේ ප්ලයිස්ටොසීනයේ ජීවත්ව වඳවී ගිය සතුන්ගේ පාෂාණිභූත හෙවත් ෆොසිල ප්‍රධාන වශයෙන් හමු වන්නේ රත්නපුරය කේන්ද්‍ර කොටගත් සබරගමුව ප්‍රදේශයේ වූ දියළු තැන්පතු වලිනි. මෙම ප්ලයිස්ටොසීන සත්ත්ව ෆොසිල රත්නපුරය ආශ්‍රිතව සුලභව හමුවීම නිසා එම සත්ත්ව පරපුරට රත්නපුර සත්ත්ව සන්තතිය යන නාමය ව්‍යවහාර කෙරේ. මේ රත්නපුර සත්ත්ව පරපුර ඉන්දියාවේ නර්මදා හා ශිවාලික් ෆොසිල සත්ත්ව පරපුරට සමීප ඥාතීත්වයක් දක්වනු ලබන බව පර්යේෂකයින් පෙන්වා දෙයි.

හොලෝසීන වකවානුව පිලිබඳ භූ විද්‍යා පර්යේෂණ සිදුකරන ස්ථානයක් වශයෙන් ග්‍රීන්ලන්තයේ උතුරු අයිස් හරය ක්ෂේත්‍රය වැදගත් වෙයි. සහරා කාන්තාරය නිර්මාණය වනුයේද මෙම අවධිය සිදු වුයේද මෙම වකවානුවේදීය. මෙම වකවානුව ග්‍රීන්ලන්ඩියානු, නෝර්ත්ග්‍රිපියන්ට් හා මෙගාලයන් යනුවෙන් අවධි තුනකට බෙදා දැක්වෙන අතර නුතන මානවයාගේ නියෝලොතික විප්ලවයේ පටන් අතිශය අහිතකර හරිතාගාර වායු විමෝචනය කරන්නා වූ නුතන තාක්ෂණික පරිණාමය දක්වා සියලු කාර්යය සංසිද්ධීන් සිදු වුයේ මෙම යුගයේදීය.

සමාලෝචනය

පෘථිවිය නිර්මාණයේ පටන් වර්තමානය දක්වා සමස්ථ භූ විද්‍යා කාලය ඒ ඒ කාල වකවානු සුවිශේෂී වූ ලක්ෂණ හා ජීවින් අනුව බෙදා දැක්වීම International Chronostratigraphic Chart – geologic time scale (GTS) හෙවත් භූ විද්‍යා කාල පරිමාණයේ දී සිදු වෙයි. නමුත් මෙම භූ විද්‍යාත්මක කාල පරිමාණය තුළ හඳුනා ගැනෙන දත්ත නිරන්තරයෙන් යාවත්කාලීන වන අතර එනිසා භූ විද්‍යා කාල පරිමාණයේ තොරතුරු සහ කාල වකවානු එක් එක් යුගයක් පිළිබඳ කරන පර්යේෂණ අනුව වෙනස්කම් වලට භාජනය වෙයි. එම වෙනස්වීම් තුළ සිදුවනුයේ නමුත් ගත්කල භූ විද්‍යා කාලපරිමාණයට නව දත්ත ආදේශනය වීමය. එනිසා භූ විද්‍යාකාල පරිමාණය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය අධ්‍යයනයක් සිදු කරන්නන් විසින් එහි ගතිකත්වය අවබෝධ කර ගනිමින් ස්ථරායනය පිළිබඳ අන්තර්ජාතික කමිටුව විසින් වාර්ෂික යාවත්කාලීන කිරීම් සහිතව සම්පාදනය කරනු ලබන භූ කාලානුක්‍රමික සටහන හා ඔවුන්ගේ අන්තර්ජාල ප්‍රකාශනයන් හා පරිශීලනය කළ යුතුය.

උපකාරානුස්මෘතිය

මහාචාර්ය අනුර මනතුංග මහතාට
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යනාංශය, කැලණිය විශ්ව විද්‍යාලය.
අධ්‍යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

මහාචාර්ය මාලිංග අමරසිංහ මහතාට
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යනාංශය, කැලණිය විශ්ව විද්‍යාලය

ආචාර්ය මංගල කටුගම්පොළ මහතාට
අංශාධිපති, පුරාවිද්‍යා අධ්‍යනාංශය, කැලණිය විශ්ව විද්‍යාලය.

ආචාර්ය නිමල් පෙරේරා මහතාට
හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

ආචාර්ය ශ්‍රියාණි හැතුරුසිංහ මහත්මියට
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යනාංශය, කැලණිය විශ්ව විද්‍යාලය.

කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතාට
සත්ත්ව පුරාවිද්‍යාඥ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්ව විද්‍යාලය.

සොනාලි රංගිකා ප්‍රේමරත්න මෙනවියට
පර්යේෂණ සහකාර, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්ව විද්‍යාලය.

සම්පත් ගුණතිලක මහතාට
බාහිර කථිකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්ව විද්‍යාලය.

මූලාශ්‍ර

Cohen, K.M., Finney, S.C., Gibbard, P.L. & Fan, J.-X. (2013; updated). The ICS International Chronostratigraphic Chart. Episodes 36: 199-204.

Gradstein, F.M., James, G.O., & Frits, J.h., (2012; updated). On The Geologic Time Scale, Newsletters on Stratigraphy, Vol. 45/2, 171–188.

Dr. Nimal Perera, Mr. Kalum Nalindra Manamendra-Archchi & Mr. Sampath De Goonathilake’ Lectures and Notes.

Wayland, E. J. 1925 The Jurassic rocks of Tabbowa. Spolia Zeylanica. 13(2): 195-208.

Wayland, E. J. 1920 The Preliminary note on some fossiliferous beds in Ceylon. Spolia Zeylanica.11

Wayland E. J. and A. M. Davies 1923 The Miocene of Ceylon. Quaternary Journals of the Geological Society London.79 (4): 584-602

Sitholey, R.V. 1944. Jurassic plants from the Tabbowa series in Ceylon. Spolia Zeylanica, Bulletin of the National Museums of Sri Lanka, 24(1): 3-17 pp.

Satish Chandra Das Sah, 1953 Spores and other micro-remains from a carbonaceous shale (Jurassic) in Andigama, Ceylon. Spolia Zeylanica Vol 27, Part 1. pp 1-12

Epa, R., Perera, N., Manamendra-Arachchi, K and Meegaskumbura,M 2011 Sri Lanka’s Aruwakkalu fossil deposit dates to the BurdigalianAge. Ceylon Journal of Science (Bio.Sci) 40 (2):163-174.

Deraniyagala, P.E.P. 1968 Some aspect of the Tertiary period in Ceylon. Journal of Royal Asiatic Society (Ceylon Branch). 12(new series): 86-108.

Deraniyagala, P. E. P. 1969b. A Miocene vertebrate faunal from the Malu member of Ceylon. Spolia Zeylanica. 31(2): 551-570

Deraniyagala, P. E. P. 1963a.Some indicators of the Pleistocene stratigraphical chronology of Ceylon. Spolia Zeylanica. 30(1): 1-3

Deraniyagala, P. E. P. 1958a. The Pleistocene of Ceylon. Ceylon National Museums Publication. 164pp

මනමේන්ද්‍ර-ආරච්චිල කේ.එන්. (2014) අනුරාධපුර පුරා ජෛවවිවිධත්වය සහ වර්තමාන ජෛව විවිධත්වය.

Edirisooriya, G.,H.A. Dharmagunawardhane, 2013,Plant Insect-Interactions in Jurassic Fossil Flora from Sri Lanka, International Journal of Scientific and Research Publications, Volume 3, Issue 1.

Edirisooriya, G.,H.A. Dharmagunawardhane, 2013, New Spacies of Bennettitlas from Jurassic Rocks of Sri Lanka  International Journal of Scientific and Research Publications, Volume 3, Issue 2.

Action Plan for Conservation and Sustainable Use of Palaeobiodiversity in Sri Lanka 2014 Biodiversity Secretariat, Ministry of Environment & Renewable Energy.

International Commission on Stratigraphy. (2021). Retrieved 22 February 2021, from https://stratigraphy.org/(2021). Retrieved 22 February 2021, from https://stratigraphy.org/ICSchart/ChronostratChart2020-03.pdf

https://www.seegrid.csiro.au/wiki/CGIModel/GeologicTime

http://www.stratigraphy.net/

 

1 COMMENT

  1. ස්ථරායනය පිලිබද අන්තර්ජාතික කොමින් හා සම්බන්ධ භූ විද්‍යාඥයින් හා පාෂාණීධාතු විද්‍යාඥයින් වැදගත් යුගයේ සාධක රාශියක් ඕස්ට්‍රේලියාවේ යිල්ගාර්න් ආවාටය ආශ්‍රිත ජැක් හිල්ස් ග්‍රීන් ස්ටෝන් පටිය ආශ්‍රයෙන් හඳුනාගෙන ඇත. වසර මිලියන 4030 සිට වසර මිලියන 2420 පමණ සිට වසර මිලියන 4030 සිට වසර මිලියන 3490 දක්වා පැවති පෑලියෝකියන් හා වසර මිලියන 2780 දක්වා පැවති මේසෝකියන් යුගය වෙයි. Please visit our web
    Telkom University

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here