ආචාර්ය රෝලන්ඩ් සිල්වා : උරුමය රැකි උත්කෘෂ්ට මානවවාදියා

ක්‍රීෂේන් ‌මෙන්ඩිස්, කසුන් ජයසුරිය, ප්‍රසාද් ‌ෆොන්සේකා

වාස්තු විද්‍යාව, පුරාවිද්‍යාව හා උරුම සංරක්‍ෂණය ගැන ශ්‍රී ලංකාවේ ප්‍රවීණයෙකු වූ ආචාර්ය රෝලන්ඩ් සිල්වා විද්වතාණන් අද දින දැයෙන් සමුගනී. එතුමා වසර 30ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර 1983 සිට 1990 දක්වා එහි කොමසාරිස්වරයා ද විය. එ තුමා මූලිකව පිහිට වූ ආයතන අතර මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය (PGIAR), අන්තර්ජාතික ස්මාරක හා ස්ථාන පිළිබඳව කවුන්සලයේ ශ්‍රී ලංකා ශාඛාව, ගාලු උරුමය හා ශ්‍රී ලංකා උරුම භාරය (National Trust of Sri Lanka) ප්‍රධාන වේ. ඒ මහතා දැරූ තනතුරු අතර පුරාවිද්‍යා කොමසාරිස් (පසුව අධ්‍යක්‍ෂ ජනරාල්), මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරම්භක සභාපති, පුරාවිද්‍යා පස්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්‍ෂ, මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති, ශ්‍රී ලංකා උරුම භාරයේ ආරම්භක සභාපති ආදිය කැපී පෙනේ. ඊට අමතරව එතුමා පුරාවිද්‍යාව හා වාස්තු විද්‍යාව පිළිබඳ දේශීය හා විදේශීය ආයතන ගණනාවක ම ජ්‍යෙෂ්ඨ හා සම්මානිත සාමාජිකයෙකු වේ. එතුමා කළ විශිෂ්ට සේවය වෙනුවෙන් රජය විසින් එතුමාට දේශමාන්‍ය හා විද්‍යාජෝති යන ගෞරව සම්මාන පිරිනමා ඇත.

රෝලන්ඩ් සිල්වා උපත ලබන්නේ වසර 1933, ගිරිඋල්ල ප්‍රදේශයේ ප්‍රමුඛ ව්‍යවසායක පවුලක ය. පවුලේ වැඩිමලා ඔහුගේ එකම සොහොයුරා වූ අතර ඊළඟට සොහොයුරියන් ති දෙනෙකු විය. රෝලන්ඩ් පවුලේ පස් වැනියා වූ අතර ඔහුට බාල තවත් සොහොයුරියන් ති දෙනෙකු විය. එතුමා සිය ප්‍රාථමික අධ්‍යාපන සඳහා පිවිසෙන්නේ දිවයිනේ ජනප්‍රිය කතෝලික පාසලක් වන මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයට ය. කුඩා රෝලන්ඩ් සිල්වා සිය පාසල් අවධිය ගත කළේ විද්‍යාලයීය නේවාසිකාගාරයේ ය. ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඩාලි මාවතේ පැවති ප්‍රධාන ගොඩනැගිල්ල හමුදා කටයුතු වෙනුවෙන් 1942 ලබාගැනීමත් සමග තාවකාලිකව ගම්පහ හා හෝමාගම පැවැත්වූ පාසැල් ශාඛාවන්ට යෑමට කුඩා රෝලන්ඩ් සිල්වා ශිෂ්‍යයාට සිදු විය. කුඩා අවධියේ පටන් අධ්‍යාපනයේ දක්ෂයෙකු වූ රෝලන්ඩ් සිල්වා 1946 වසරේ දී තුන වසරේ සිට පහ වසරට උසස් කරණු ලැබිණ. අධ්‍යාපනයට සේම ක්‍රීඩාවට ද එක ලෙස දක්ෂයෙකු වූ රෝලන්ඩ් සිල්වා පාසල් අවධියෙහි උස පැනීම හා වොලිබෝල් ක්‍රීඩාවෙන් පාසල නියෝජනය කර ඇත. ඒ නිසා එතුමා පාසලේ මලල ක්‍රීඩා කණ්ඩායමේ මෙන්ම වොලිබෝල් කණ්ඩායමේ ද නායකයා වශයෙන් පත් විය. රෝලන්ඩ් සිල්වාගේ පාසල් වියේ අධ්‍යාපනය සහ අනෙක් ක්‍ෂෙත්‍රයන් සඳහා දක්වනු ලැබූ දක්ෂතාව හේතුවෙන් එවකට ශාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති වූ පීටර් පිල්ලේ (Peter Pillai) පියතුමා 1951 වසරේ දී එතුමා පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් පත් කළේ ය. සිය උසස් පෙළ විෂයයන් වශයෙන් ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව හැදෑරූ රෝලන්ඩ් සිල්වා එම විෂයන්ගෙන් ඉහළ සාමාර්ථයන් ලබාගැනීමට සමත් විය. ඒ අනුව විශ්වවිද්‍යාලයට සමත් වූ ඔහුට වාස්තු විද්‍යාව හැදෑරීමට අවශ්‍ය විය. නමුත් ඒ වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල වාස්තුවිද්‍යා විෂය නොමැති වූ හෙයින් විදුහල්පති පියතුමාගේ අනුග්‍රහය මත 1954 දී ලන්ඩන් වාස්තුවිද්‍යා ආයතනයට (Architecture Association) ඇතුළත් වීමට අවකාශ ලැබිණ.

තරුණ රෝලන්ඩ්

එතුමා ලන්ඩන්වල සිටිය දී සිය පාසල් අවධියේ විදුහල්පතිවරයා වූ පීටර් පිල්ලේ පියතුමා ශල්‍යකර්මයක් සඳහා පැමිණි විට එතුමාට නැවතීමට තම නේවාසිකාගාරයේ අමුත්තන්ගේ කාමරයේ පහසුකම් සැලසීමට රෝලන්ඩ් සිල්වා මහතා සමත් විය. වාස්තුවිද්‍යාව හදාරණ අතර පුරාවිද්‍යාව ගැන උනන්දුවක් දැක් වූ එතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉන්දියානු පුරාවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමාවක් ද හැදෑරී ය. ඒ අනුව ලන්ඩන් නුවර සිටි කාලය තුළ වාස්තු විද්‍යාව හා පුරාවිද්‍යාව යන විෂයයන් දෙකෙන් ම සුදුසුකම් ලබාගැනීමට එතුමාට හැකි විය.

ලන්ඩන් අධ්‍යාපනයෙන් පසුව එතුමා යුරෝපයේ හා උතුරු අප්‍රිකාවේ පුරාවිද්‍යා ස්මාරක නැරඹීම හා හැදෑරීම සඳහා සංචාරයක නිරත විය. එතුමාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තුවිද්‍යාව පිළිබඳ සහකාර කොමසාරිස් ලෙස පත්වීමේ ලිපිය ලැබෙන්නේ මේ සංචාරය අතරතුර ඊජිප්තු තානාපති කාර්යාලය හරහා ය.

එතුමා 1960 වසරේ ශ්‍රී ලංකා වෘත්තීය වාස්තුවිද්‍යාඥයන්ගේ සංගමයේ සාමාජිකත්වය ද 1962 දී රාජකීය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ සාමාජිකත්වය ද ලබාගත්තේ ය. මෙතුමා 1968 වර්ෂයේ රෝමයේ දී ස්මාරක සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් ද අනතුරුව 1988 වසරේ දී නෙදර්ලන්තයේ ලෙයිඩන් සරසවියෙන් සිය ආචාර්ය උපාධිය ද ලබා ගන්තේ ය. මෙතුමාගේ සේවා කාලයේ දී විද්‍යාත්මක පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සඳහා ප්‍රධාන ස්ථානයක් ලබා දුන් අතර ඒ අතරින් මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව සංරක්ෂණය කිරීම විශේෂ වේ. එසේම ලංකාවේ බොහොමයක් ස්ථුපයන් සංරක්ෂණයට අවශ්‍ය දැනුම මෙතුමා විසින් සපයා ඇත.

කුලපති ආචාර්ය රෝලන්ඩ් සිල්වා මැතිතුමා

මෙතුමාගේ සේවා කාලයේ ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් කළ වැදගත් ම සේවයන් වශයෙන් යුනෙස්කෝ ශ්‍රී ලංකා අරමුදල පිහිටුවීමත්, ලංකාවේ ප්‍රථමවරට ලෝක උරුම ස්ථානයන් 6 නම් කිරීමත් එසේම සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය (පසුව මධ්‍යම සංස්කෘතික අරමුදල) ආරම්භ කිරීමත් පෙන්වා දිය හැකියි. ශ්‍රී ලංකා ICOMOS සංවිධානය පිහිටුවා ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා එහි ආරම්භ සභාපතිවරයා වශයෙන් 1981 – 1990 දක්වා කටයුතු කළේ ය. 1990 වසරේ දී ICOMOS සංවිධානයේ ප්‍රථම යුරෝපීය නොවන සභාපතිවරයා වශයෙන් තේරී පත්වීමට සමත් වන ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා 1999 දක්වා තෙවරක් එහි සභාපති ධුරයේ පත්තර ගන්නා ලදී. මෙතුමා සිය සේවා කාලය තුල අප්‍රිකානු කලාපයේ, ලතින් ඇමෙරිකානු කලාපයේ හා ආසියානු කලාපයේ ICOMOS සංවිධානය ව්‍යාප්ත කිරීමට කැපවීමෙන් කටයුතු කළේ ය. ආචාර්ය රෝලන්ඩ් සිල්වා UNESCO ආයතනයේ කටයුතු කරන ලද කාල සමයේ එහි විද්‍යාත්මක සැසිවාරයන්හි මුලසුන හෙබවීය. ලෝකය පුරා උරුම ස්ථානය 222ක් ලැයිස්තු ගතකරන ලද්දේ එතුමා සභාපති වශයෙන් සිටි කාලයේ ය. එසේ ම ජීවමාන උරුම ස්ථානයන් සංරක්ෂණයටත්, කළමනාකරණයටත් කටයුතු මුල්වරට යොදන ලද්දේ එතුමාගේ අදහසක් අනුව ය. 1993 වසරේ ජපානයේ නාරාහී පැවැත් වූ සැසි වාරයේ මුලසුන හෙබවූයේ ආචාර්ය රෝලන්ඩ් සිල්වා විසින් ය. එහි දී උරුම ස්ථානයන් සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් විශේෂ ලේඛනයක් වූ (Nara Document of Authenticity) නිර්මාණය කිරීම සඳහා ද ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා මුලික විය.

මෙතුමා උරුම කළමනාකරණය හා ලෝක උරුම ස්ථාන (World Heritage Sites) සඳහා නොයෙක් රටවල උපදේශකයෙකු ලෙස කටයුතු කළේ ය. ඔහු ජාත්‍යන්තරව දායකත්වය දැක් වූ ප්‍රධානතම ව්‍යාපෘතියක් වශයෙන් දැක්විය හැක්කේ ඉතාලියේ පිසාහි ඇළවෙන කුළුණ සංරක්ෂණය සඳහා පත් කළ කමිටුවේ සාමාජිකයෙකු වීමයි. එහි දී පීසා කුළුණ ස්ථාවර කිරීමට හැකි විය. මෙතුමා ලංකාවේ වාස්තුවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා කෙතරම් කැපවීමක් දක්වුවේ ද යත් කොළඹ විශ්වවිද්‍යාලයේ අඩුපාඩුවක් ව පැවති වාස්තුවිද්‍යා අධ්‍යයන අංශයක් නිර්මාණය කරනුයේ මෙම මහතාගේ මැදිහත් වීම මත ය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පැරණි ගොඩනැඟිල්ල, පොළොන්නරුව පැරණි කෞතුකාගාරය, සීගිරිය පැරණි ස්ථානීය කෞතුකාගාරය මෙතුමාගේ වාස්තුවිද්‍යාත්මක නිර්මාණයන් වෙයි. ආචාර්ය රෝලන්ඩ් සිල්වා විසින් ලංකාවේ බෞද්ධ වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් ලියන ලද කෘති ලංකාවේ පුරාවිද්‍යා විෂය හදාරනු ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අත්පොත් වශයෙන් භාවිත වේ. මෙතුමා ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ එක් විශේෂ යුගයක් සනිටුහන් කිරීමට සමත් කීර්තිධර පුරා විද්‍යාඥයෙකි. ඉහත සමස්තය සලකමින් ශ්‍රී ලංකාවේ ICCROM සංවිධානය හා ශ්‍රී ලංකාවේ ICOMOS සංවිධානය එක්ව ආචාර්ය රෝලන්ඩ් සිල්වා විසින් පුරාවිද්‍යා ක්ෂේත්‍රයට හා වාස්තුවිද්‍යා ක්ෂේත්‍රයට කරන ලද සේවය අගයා විශේෂ සම්මානය 2019 වසරේ දෙසැම්බර් මාසයේ කොළඹ දී පවත්වන ලද උත්සවයක දී පිරිනමන ලදී. මෙම සම්මානය  මෙතෙක් ශ්‍රී ලංකාවේ ති දෙනෙකුට පමණක් හිමිව ඇති සම්මානයක් වීම විශේෂත්වයකි. එය එතුමාගේ ජීවිතයේ ලද අවසාන සම්මානය බවට පත් වෙමින් 2020 ජනවාරි 1 වැනි දින මේ ශ්‍රේෂ්ඨ යුගකාරක පුරුෂයා සිය ජීවිත ගමන නිමා කොට අප අතරින් සමු ගන්නා ලදී.

ඉදිරිපස වම් කෙළවර සිටින්නේ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මැතිතුමා ය. යාබද ව අභාවප්‍රාප්ත මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා සිටි.

විශේෂ ස්තුතිය – ඡායාරුප ලබා දුන් IMS මදනායක මහතාට හා ‌සෝනාලී ‌ප්‍රේමරත්න ‌මෙනවියට

ලංකාවේ පුරාවිද්‍යාව උදෙසා මැහැඟි මෙහෙවරක් සිදුකළ උත්කෘෂ්ඨ මානවවාදියාගෙනි, ජනහිත සැලසූ විද්වතාණෙනි 2020 ජනවාරි 3 වැනි සිකුරාදා දින දැයෙන් සමුගන්නා ඔබ තුමා පැතූ අයුරින් ම  කටයුතු සිදු වේවා…!

1 COMMENT

  1. I saw an Obituary Notice in Daily News 2nd and 3rd Jan 2019, as simple as Roland Silva.
    No mention about any past designations or any other academic credentials. I just guessed it may be about Dr. Roland Silva, but I was not sure.
    What a great man when compared with most of other notices in same columns, I do not know it may be done according to his wish.
    I feel very disturbed when i got this confirmation.
    May he Rest in Peace

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here