එච්. ජී. දයාසිසිර
මානවවිද්‍යා පර්යේෂණ සම්බන්ධීකාරක
බුදුහාමුදුරුවෝ බිම්තැන්නට වැඩල එහි සිටි යක්‍ෂයින් ගිරි දිවයිනට පලවා හැරිය බව වංශකතාකරුවන් කියනවා.
“බුද්දිලා ඇත්තෝ සාසන පෝරු ගං පොජ්ජට මං ගච්චන කොට රැදෙව්වේ මේ ඇත්තන්ගේ යක් පොජ්ජල ඇත්තන්ගේ ගෝත්‍ර පොජ්ජෙ මිනිගජ්ජු” බුදු හාමුදුරුවො
මහියංගණයට වඩින කොට මෙහි සිටියේ අපේ යක්ෂ ගෝත්‍රයෝ මිනිස්සු ඌරුවරිගේ වන්නියලැත්තෝ බිම්තැන්නේ ඉඳගෙන ම කියනව ගිරි දිවයිනට පලවා හැරියා නම් මේ යක්ෂ ගෝත්‍රයේ මිනිස්සු බිම්තැන්නේ ඉන්නේ කොහොම ද? මම ඒ ගැනත් වන්නියලැත්තන්ගෙන් ඇහුව.
“කරුකුරු ගච්චන යමක වලින් මාම කැච්චක් බොරු පටෑරල තියෙනව” පොත්වල හරියට බොරු ලියලා තියෙනවා. ඒ වන්නියලැත්තන්ගේ අදහසයි.
“අපේ ගෝත්‍ර පොජ්ජෙ මිනිගජ්ජු බොරු පටාරිනව කොදුයි” අපේ ගෝත්‍රෙ මිනිස්සු බොරු කියන්නේ නැහැ. වන්නියලැත්තන් එහෙම කීවට වංශකතා ලීව භික්ෂුන් වහන්සේලා බොරු ලියාවිද? මට හිතුන. ඒත් මේ වංශකතා ප්‍රවෘත්තිය ගැන සැකසංකා මගේ සිතෙත් නැතුවා නොවෙයි.
බුදුරදුන් යකුන් පලවා හැරිය ගිරි දිවයින මලය රටේ හෙවත් කඳුකරය බව ඉතිහාසඥයන්ගේ මතයයි. එසේ නම් යක්ෂ ගෝත්‍රිකයන් වන වැදිජනයා දැකීමට අප යා යුත්තේ බිම්තැන්නට නොව දළදා සමිදු වැඩ සිටින මහනුවරටයි.
බුදුරදුන්ගේ ජීවන ප්‍රවෘත්ති අනුව උන්වහන්සේ ආළවක, ගද්‍රභ වැනි යක්‍ෂයින් පමණක් නොව නාලාගිරි වැනි තිරිසන් සතුන් පවා දමනය කළේ කරුණාව, ඉවසීම, මෛත්‍රිය වැනි මානුෂික ගුණාංග වලිනි. ලංකාවේ යකුනට වෙනස් ආකාරයට අමානුෂික ලෙස සැළකුවාද? සිය සිරුරෙන් ගිනිදැල් විහිදුවන විට එම පීඩනයෙන් යකුන් බිය වී පලා ගිය බව වංශකතා කියයි. මෙය ගෙවල් ගිනි තබා මිනිසුන් එළවන දේශපාලන මැරයෙකුගේ ක්‍රියා කලාපයට සමාන වෙයි. බුදුරදුන් වැනි ශාස්තෘවරයකු අශිෂ්ට මිනිසුන් ශිෂ්ට කරනු මිස ඔවුන් වාස භූමියෙන් පලවා හරිද? මෙය බුද්ධ චරිතයට නිගා දෙන ප්‍රබන්ධයක් බව මට හැඟෙයි.
ආදීවාසීන් (වැදිජනයා) පමණක් නොව මහියංගණ අවට දැන් සිංහල බෞද්ධ යැයි සළකන ගැමියන් ද යකුන් ඇදහීම කරති. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ මුලික විශ්වාසය මිය යන පුද්ගලයන් “නෑ යකුන්” වන බවයි. මෙම විශ්වාසය ඌවේ බොහෝ සිංහල බෞද්ධ ගැමියන් අතර ද මුල් බැසගෙන ඇත. බුදුන් වැඩම කර වසර දෙදහස් පන්සියයකට වඩා ගත වී ඇති නමුත් යකුන් ඇදහීම තවමත් ප්‍රධාන සංස්කෘතික ලක්‍ෂණයක් ලෙස පවතින්නේ ඇයි?
බිම්තැන්නේ පිරිත් දේශනා කිරීමට භික්ෂුන් වහන්සේලා බිය වු බව කොටගම වාචිස්සර හිමියන් සිය “වැලිවිට සරණංකර සංඝරාජ චරිතය” කෘතියෙහි සදහන් කරයි. ඊට හේතුව ලෙස දක්වන්නේ යකුන්ට තිබු බියයි. බුදුරදුන් යකුන් පළවා හැරියා නම් බුද්ධ පුත්‍රයන් බිය වන්නේ කුමකටද?