ලංකාවේ ඉතිහාසයට අතීතයට ආදරය කරන බොහෝ දෙනාගේ මනබඳින තැනක් අනුරාධපුරය කියන්නේ. අපේ ඉතිහාසයේ රන් යුගයත් අනුරාධපුර යුගයමයි. බුදුදහම මත පදනම් වූ වාරි-කෘෂි ශිෂ්ටාචාරය ක්රමවත් විදිහට පැළවෙන්නේ මේ සමයේ. කලාව, දර්ශනය, වාස්තු, ජනජීවිතය, ආර්ථිකය විතරක් නෙවේ රාජ්ය පාලනය ඇතුළු සමස්ථ හැදියාවම බුදුදහම අනුව හැඩගැහුණු සරළ චාම් හා අභිමානවත් කාලයක් ඒක.
මේ සටහන් කියවන ඔබත් හැකි වෙලාවට තනිවම හෝ පිරිසත් එක්ක අනුරාධපුරේ ඇවිදින්න යනවා ඇති නේද?. පොඩි කාලේ ගිය අද්දැකීමුත් හිතේ තැම්පත් වෙලා ඇති. එහෙම ගියපු අවස්ථාවල ඔබ රුවන්වැලි සෑය, ථූපාරාමය, ශ්රී මහා බෝධිය, බටහිර ආරාමය, වෙස්සගිරිය හා මිහින්තලේ වගේ තැන්වල ඇවිදින්න ගිහිල්ලත් ඇති. ගල්බැමි බලමින් ඇවිදින අතර හිතන්න ඇති මේ මොනවද කියල. මේවා ගැන වැඩිහිටියන්ගෙන් ඇහුවත් එයාලත් ගොඩාක් විට ඒ ගැන දන්නේ නැහැ. ගොඩාක් වෙලාවට නඬේ ගුරාලත් දන්නේ මේව විහාර කියන්න විතරයි. ඒ නිසා මේ සටහනින් මම උත්සාහ කරන්නේ් අනුරාධපුර කාලෙට අයිති විහාර ගැන සුළුවෙන් යමක් පැහැදිලි කරන්නයි. හැබැයි මේ සටහනින් පුළුල් පරාසයක් කියැවෙනවා.
අනුරාධපුරේ නගර සැලැස්මේ විහාර වර්ග කීපයක්ම තියෙනවා. ප්රධාන සම්ප්රදා වර්ග 4ක් හඳුනගන්න පුළුවන් පහළ තියෙන විදිහට.
1. මහා විහාර
2. පබ්බත විහාර
3. පධානඝර විහාර
4. ආරණ්ය හෙවත් ඓන්ද්රීය විහාර
අපි දැන් මේ එක එක විහාර සම්ප්රදායන් හා ඒවගේ ලක්ෂණ මොනවද කියල බලමු.
1. මහා විහාර : වචනයෙන් කියැවෙන ආකාරයටම මේ ගොඩාක් විට විශාල පරිමාණයේ විහාර. පැරණිම කාලේ ජනප්රිය වුණු විහාර සම්ප්රදායක් මේක. මේ විහාර සම්ප්රදායේ මූලිකත්වය ලැබෙන්නේ ස්තූපයට. ස්තූපය මැදි කරගෙන තමයි අනෙකුත් නිර්මාණ තියෙන්නේ. විහාරයක් ගත්තහම පූජනිය ගොඩනැඟිලි, පොදු ගොඩනැඟිලි, භික්ෂූ නේවාසිකාගාර, ගබඩා සේවකකාරකාදින්ගේ කාමර, වැසිකිලිකැසිකිලි, පොකුණු හා තවත් පරිවාර ගොඩනැඟිලි දැකගන්න පුළුවන්. ස්තූපය, බෝධින් වහන්සේ, පිළිම ගෙය හා පෝය ගෙය කියන්නේ ප්රධාන පූජනිය ගොඩනැඟිලි හතර. මේ විහාරවල තියෙන ස්තූපය ගොඩාක් විට මහ විශාලයි. රුවන්වැලි සෑය මැදි වුණු මහාවිහාරය, අභයගිරි ස්තූපය මැදි වූ අභයගිරිය, ජේතවන ස්තූපය මැදිවුණු ජේතවනය හා දක්ඛිණ තූපය සහිත දක්ඛිණ විහාරය කියන්නේ අනුරාධපුරේ පැරණි නගරයේ ඇති ප්රධාන මහා විහාර.
අනුරාධපුරේ විශාලම ස්තූප තියෙන්නේ මහාවිහාරවල. ස්තූපයේ ඉදල ප්රධාන දිසා හතරට විහිදෙන විදිහටයි අනෙක් ගොඩනැඟිලි තියෙන්නේ. ගොඩනැඟිලි කියන්නේ පිළිම ගෙවල්, උපෝසථඝර, ධාතු මන්දිර, දානශාලාව, සන්නිපාත ශාලා, ජන්තාඝරය, නේවාසික ගෘහ, ගබඩා, පොකුණු ආදි සියල්ලයි. මේ ඔක්කොම වටකරල සීමා ප්රාකාරයක් තියෙනවා. අනුරාධපුරේ මහාවිහාරය කියන මහාවිහාර සම්ප්රදායේ විහාරයේ ස්තූපය තමා රුවන්වැලි සෑය. බෝධින් වහන්සේ ශ්රී මහා බෝධින් වහන්සේ. උපෝසථඝරය තමා ලොවාමහාපාය. අභයගිරි විහාරය ගත්තොත් අභයගිරි ස්තූපය, රත්න ප්රාසාධය උපෝසථඝරය. ජේතවන ස්තූපය තමා ජේතවන විහාරයේ කේන්ද්රය වූ ස්තූපය. දියසෙන් මහ පොයගේ පෝය ගෙය. බෝධිඝරය තමා බෞද්ධ ගරාදි වැට කියල දැන් කෞතුකාගාරය පිටුපස තියෙන ඉදිකිරීම. පිළිම ගේ තමා ස්තූපයට බටහිර පැත්තේ උසම උස උළුවස්සක් තියෙන ගොඩනැඟිල්ල.
ෆා-හියං භික්ෂූන් වහන්සේගේ වාර්තාවේ තියෙන විදිහට මහාවිහාරවල භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් වැඩවාසය කරල තියෙනවා. අභයගිරියේ 5,000ක් මහාවිහාරයේ 3,000ක් හා ජේතවන විහාරයේ 2,000ක පමණ භික්ෂූන් වහන්සේලා වැඩසිටි බවයි කියැවෙන්නේ. මේ විහාරවල තියෙන බත් ඔරු පරික්ෂා කළ පුරාවිද්යාඥයින්ට මේ වාර්තාවේ ඇති තොරතුරු නිවැරදි බව පෙනී ගියා.
ශිල්ප ග්රන්ථවල තියෙන උපදෙස් අනුවයි මේ විහාරවල වාස්තු නිර්මාණ තියෙන්නේ. සම්මාණිත මහාචාර්ය
Kulatunga TG මැතිතුමා ලිපියකින් පැහැදිලි කරල තිබුණ මහා විහාරයේ ප්රධාන ගොඩනැඟිලි පිහිටල තියෙන්නේ සිංහ වික්රාන්තිය නැතිනම් වැතිරි ඉන්න සිංහයෙකුගේ ශරීරයේ ප්රධාන අංග යොමු වූ තැන්වල පිහිටන ක්රමයට කියල.
