සිරාන් දැරණියගල: කොදෙව්වක උපන් මහද්වීපයකටත් වඩා විශාල මිනිසා

ආචාර්ය සිරාන් උපෙන්ද්‍ර දැරණියගලය යනු  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී ලංකාවේ බිහිවූ පළමු ගෝලීය පුරාවිද්‍යාඥයාය. ඇමරිකානු පුරාවිද්‍යානු සම්ප්‍රදාය තුළ ලුවිස් බින්ෆර්ඩ් කෙතරම් වැදගත්වන්නේද එතරම්ම ශ්‍රී ලංකාව මතු නොව සමස්ත දකුණු ආසියානු පුරාවිද්‍යාව තුළ සිරාන් දැරණියගල වැදගත්විය. ඉදින් අපට අහිමුවුයේ අප රටටටත් වඩා විශාල කුශාග්‍ර බුද්ධිමතෙකි, පර්යේෂකයෙකි, අප රටේ ඉතිහාසය, පුරාවිදයාව විප්ලවය වෙනසකට පාත්‍ර කිරීමට ණැනනුවන හා ශ්‍රමය කැපකල පුරෝගාමියෙකි.

ගෝලීය පුරාවිද්‍යා සිතියම තුළ ශ්‍රී ලංකාව නම් දිවයින ස්ථානගත කිරීමෙහිලා දැරණියගලයන් විසින් සිදු කරන ලද ශාස්ත්‍රීය දායකත්වය අනුපමේයය. සැබවින්ම අද්‍යතන ප්‍රාග්ඓතිහාසික පර්යේෂණ දකුණු ආසියාව කෙරෙහි නැඹුරුකරවීමෙහිලා ඔහු විසින්  කරන ලද ශාස්ත්‍රීය සම්ප්‍රදානයද හේතුවක් වූ බවට තර්කයක් නැත. ඒ සඳහා ඔහු විසින් තම ආචාර්ය උපාධි නිබන්ධනය ඇසුරුකොටගෙන සම්පාදනය කළ The prehistory of Sri Lanka:  an Ecological Perspective (1992) කෘතිය පමණක් ඇසුරු  කිරීම වුව ප්‍රමාණවත්ය. සැබවින්ම එය සම්පාදනය වී වසර තිහකට ආසන්න  කාලයක් ගත වුනද එම කෘතිය මුඵමනින්ම කියවා අවබෝධකරගෙන ඇත්තේ මෙරට සිටින පුරාවිද්‍යාඥයින්ගෙන් අතලොස්සක් විය හැකිය. එය මතුවට බිහිවෙන පරම්පරා ගණනක් විසින් පරිහරණ කළ යුතු, අවබෝධකරගත යුතු,  ශ්‍රි ලංකාවේ ප්‍රාග්ඉතිහාසය පිළිබඳ දැනුම සාරසංග්‍රහයකට ලක්කරන ලද ප්‍රධාන කෘතියද වන්නේය.

සැබවින්ම ඔහු ශ්‍රී ලංකාවේ ස්ථාපිත ඇකඩමියාව තුළ සිටි සමාජිකයෙකු නොවූ නිසා බොහෝ සරසවි සිසුන්ට හෝ පුරාවිදයා විෂයට ඇලුම්කළ අයට ඔහුගේ සෘජු ඇසුර අහිමිවුවද ඔහුගේ ශාස්ත්‍රීය කාය ඇසරුකිරීමට අවස්ථා ලැබීමට සහ ඉන් අනුප්‍රාණය ලැබීමට තරම් වාසනාවන්ත විම ගැන අප සතුටු විය යුතුය‍. මෙවන් ශෝක කටයුතු මොහොතක ඔහු හා සමීපව ඇසුරු කළ සමීපමතයන්ට ඔවුන්ගේ මතක අවශේෂ ස්මරණයට ඉඩ තබා. ඔහුගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය කෙරෙහි අවධානය යොමු කිරීම ඔහුට කළ හැකි  උපරිම ගෞරවයක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව දෙස බලන ආකරය, බැලිය යුතු ආකාරය ආචාර්ය දැරණියගල විසින් සදහටම වෙනස් කළේය. ඔහුගෙන් පසුව ශ්‍රී ලංකවේ ප්‍රාග්ඉතිහාසය පිළිබඳ යමක් රචනා වී ඇත්තනම් එය ඇතැම් විට ඔහුගේ පර්යේෂණ වැඩපිළිවෙලේ දිගුවක් ලෙස හෝ ඔහු ඉදිරිපත්කරන ලද මතවාදයක් වැඩිදියුණු කිරීමක් මිස අන් කිසිවක් නොවීය. සැබවින්ම ඔහු විසින් ලියූ කියූ දෙයක් ඇසුරු නොකට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඉතිහාසය සමබන්ධයෙන් කිසිවක් රචනා කල නොහැකි වනු ඇත. ඔහුගේ ශාස්ත්‍රීය දායකත්වය එතරම් ප්‍රබලය.  එලෙසම යම් මතුදිනක 20 වන ශතවර්ෂයේ අවසාන අර්ධය තුළ  ශ්‍රී ලංකාවේ සිදුකරණ ලද පුරාවිද්‍යා විෂය ගවේෂණය තුළ වැඩි කොටසක් ආචාර්ය දැරණියගලගේ දායකත්වය නියෝජනය වනු ඇත.

යම් රටක නිශ්චිත විෂය ක්ෂේත්‍රයක් පිළිබඳ පවතින මතවාදයක් පූර්ණ වශයෙන් විප්ලවිය වෙනසකට ලක්කිරීමට යම් පර්යේෂකයෙකුට විරල අවස්ථාවක් හිමිවිය හැකිය එහෙත් යම් රටක සමස් අධ්‍යයන ක්සේත්‍රයයම ව්‍යුහාත්මක වෙනසට භාජනයට කිරීමට අවස්ථාව ලැබීම පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අදාළ කොට බැලුවහොත්, ගෝලීය පුරාවිද්‍යා අධ්‍යන ඉතිහාසය තුළද හිමිව ඇත්තේ ඉතා අතලොස්සක් වූ පුරාවිදයාඥයින් පිරිසකටය, ආචාර්ය දැරණියගල ඒ එක් අයෙක් බවට පත්වී අවසානය. සැබවින්ම ඔහු ජීවත්ව සිටයදීම පුරාවෘත්තයක් බවට පත් වූ අග්‍රේසරයෙකි. එනයින් ආචාර්ය දැරණියගල,  පුරාවිද්‍යාව නූතන විෂය ශික්ෂණයක් සඳහා පදනම සකස් කළ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ මෝටිමර් වීල(ර්), මෙන්ම ඇමරිකානු පුරාවිද්‍යා සම්ප්‍රදාය මෙනම් සමස්ත පුරාවිද්‍යා අද්‍යයන සම්ප්‍රදායම 1960 දශකය තුළ සුසමාදර්ශීය විතැන්වීමකට ලක්කරන ලද ‘සංස්ලේශීය පුරාවිද්‍යාවේ‘ හෙවත් නව පුරාවිද්‍යාවේ පුරෝගාමියා වූ ලුවිස් බින්ෆර්ඩ් වැනි විද්වතුන් හා සම අසුන්ගනු ඇත.

ඔහු තම  Prehistory of Sri Lanka කෘතිය පිරිනමන්නේ තම දෙමාපියන් දෙදෙනාට සහ ‘නිවර්තන සූර්යාටය‘. ඔහුගේ දෙමාපියන් අතරින් විශේෂයෙන්ම ඔහුගේ පියා ඔහුගේ ශාස්ත්‍රීය දිවිය තුළ විශාල සෙවනැල්ලකව සිටියේය. තම පියා විසින් රැස්කරන ලද ඇතැම් පුරාවිද්‍යාත්මක දත්ත ආචාර්ය දැරණියගලගේ පර්යේෂණ සඳහා ආලෝකයක් සැපවුවද, ඔහු ඔහුගේ පියාගේ ක්‍රමවේදීමය සහ න්‍යායාත්මකඅ ආස්ථානවලින් වෙනස්ව එකී පර්යේෂණ නව නවදිශානතියක් කරා රැඟෙන ගිය අතර ඇතැම්විට තම පියාගේ ශාස්ත්‍රීය භාවිතාවද  විවේචනට ලක්කළේය.

‘නිවර්තනකලාපීය සූර්යා‘ පිළිබඳ ඔහුට ඇගයීමක් ඇත්තේ එම දැවෙන හිරු යට හිඳිමින් මේ දිවයින තුළ ප්‍රාග්ඓතිහාසික මානව අවශේස සොයමින් දින මාස ගතකරමින්  කළ පුරාවිදයාත්මක ගවේෂණය පිළිබඳ ප්‍රත්‍යාවලෝකනීය කෘතගුණ සැලකීමක් වශයෙන් විය හැකිය. සැබවින්ම ශ්‍රි ලංකාව ප්‍රමාණිකව සහ ගුණාත්මකව පුරාවිද්‍යාත්මක ගවේෂණයට ලක්කරන  ලද පළමු ‘ක්ෂේත්‍ර පුරාවිද්‍යාඥයා‘ වන්නේද ආචාර්ය දැරණියගලය. සැබවින්ම ඔහුම දක්වන ආකාරයට ඔහුගේ පර්යේෂණවලට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික පර්යේෂණ කිසිවක් ව්‍යක්ත න්‍යායාත්මක සහ ක්‍රමවේදීමය විෂයරාමුවක් යටතේ සිදුකොට තිබුනේ නැත. එනම් ඉතිහාසයට පෙර කාලය පිළිබද කරන ලද ප්‍රකාශයන් සහ අනුමානයන්  බොහෝ අය විසින් කරන ලද ආගිය කතාවලට(just so stories) වඩා වැඩි දෙයක් නොවුයේය. එය ප්‍රධාන වශයෙන්ම නිශ්චිත න්‍යායත්මක සහ ක්‍රමවේදීමය විෂය රාමුවක් නොමැති වීමේ අඩුවක් ලෙස ඔහු අවබෝධ කොට ගත්තේය.

ෆෑන්ක් හෝල් නම් ඇමරිකානු පුරා විද්‍යාඥයා (1973)පැවසුවාක් මෙන්  “අප දකින්නේ අප දැකීමට සූදනාම් වී සිටීමට ඇති දත්ත පමණි“ යන සිද්ධාන්තය මත හිඳිමින් කටයුතු කිරිමේ අවධානම අවබෝධකරගත් ඔහු පුරාවිද්‍යාඥයා තම විෂය භාවිතය හුදුවිනෝදය සපයන දෙයකින් සහ අර්ථවිරහිත දත්ත ගොඩගසාගැනීම යන භාවිතාවලින් වෙන්කර ගත යුතු බව ආරම්භයේ සිටම අවධාරනය කළ අතරම   ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික අධ්‍යන සම්ප්‍රදාය ව්‍යක්ත න්‍යායාත්මක සහ ක්‍රමයෙව්දීය විෂය රාමුවක් තුළ ස්ථානගත කිරීමේ වැදගත්කමද මතුකොට දැක්වුවේය.

ග්‍රැහැම් ක්ලාක් නම් බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයා විසින් 1968 වර්ෂයේදී හඳුන්වාදුන් පුරාවිද්‍යා ගවේෂණයක තිබිය යුතු අදියර හතරකින් යුතු අනුක්‍රමය කෙරෙහි අවධානය යොමු කල ආචාර්ය දැරණියගල,

එනම්,

(අ) කලානුක්‍රමය, එනම්  යම් නිෂ්චිත රාමුවක් යටතේ සංස්කෘතික අවශේෂ පෙළගැස්වීම

(ආ) යම් නිෂ්චිත කාල/අවකාශයකට අයත් එක් එක් සංස්කෘතීන් විස්තර කිරීම සහ එමඟින් පුරාමානවවංශලේඛනයක් සකස්කිරීම

(ඇ) යම් නිෂ්චිත කා/අවකාශයකය අයත් සංස්කෘතීන් සංසන්දනය කිරීම එනම් පුරාමානවිද්‍යාවක් වෙත ප්‍රවේශය

(ඈ) කාලය සහ අවකාශය  හරහා සිදුවන සංස්කෘතික ගතිකයන් පිළිබඳ සමාන්‍යකරණයන්(generalization) සකස්කිරීම යන අදියර සැලකිල්ලට ගත්කළ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාතික පර්යේෂණ ඉහත දෙවන අදියර ඉක්මවා ඉදිරියට නොගිය බවද එයද විශාල ව්‍යාකූල ස්වාබාවයක් ගෙන ඇති බව අවධාරනය  කළේය. ඔහු විසින් එකී භාවිතයෙහි ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් හඳුනාගත්තේය.එනම් ශ්‍රී ලංකවේ ප්‍රාග්ඓතිහාසික අධ්‍යයන සම්ප්‍රදාය තුළ,

(1) සංස්කෘතික අස්ථිත්වයන් තාවකාලිකව සමුද්දේශ කළ හැකි  කාලානුක්‍රමයක් ගොඩනංවා නොතිබීම, උදහාරණයක් වශයෙන් මානවයින් විසින් ප්ලයිස්ටොසීන කාලපරිච්ඡේදය තුළ මෙරට ජනාවාස කළාද යන්න ගැන නිශ්චිත අදහසක් ඒ වනවිටත් නොතිබුනේය

(2)  ශ්‍රී ලංකාවේ පුරාපාරිසරික තත්ත්වයන් කෙබදු තත්ත්වයක පැවතියේද යන්න ගැන සංගත දැක්මක් නොතිබීම

(3) මිනිසා සහ පරිසරය අතර පවතින අන්තර්සබඳතාව සම්බන්ධයෙන් අපතුළ පැවති නොදැනුවත් බව- විශේෂයේම ඔහුගේ යැපුම් උපක්‍රමයන් කෙබදුවීද යන්න ගැන

(4) එමෙන්ම දකුණු ආසියානු සහ ගොලීය ප්‍රාග්ඓතිහාසික සංදර්භය නම් පුළුල් සංදර්භය තුල සිට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඉතිහාසය සෙද අවධානය යොමුනොකර තිබිණි.

පුරාවිද්‍යා විෂය ගවේෂණය තුළ ඉතා දෘඩ ක්‍රමවේදී ප්‍රෙව්ශයක අවශ්‍යතාව හඳුනාගත් ඔහු  ශ්‍රී ලාංකිය සන්දර්භය තුළ එහි ප්‍රායෝගික භාවිතය තුළදී එය කෙබඳු ස්වාබාවයක් ගත යුතුද යන්න ගැනද ඔහු ඉතා පැහැදිලි අදහසක් තිබිණි. එනම්  ‘පුරාවිද්‍යාත්මක පර්යේෂණයක් වර්ධනය වනවිට එහි සෑම අදියරකදීම එකී පර්යේෂණයේ ක්‍රමවේදය සමීප සන්නිරීක්ෂණයකට පාත්‍රවිය යුතු අතර පුරාවිද්‍යාත්මක අනුමාන ව්‍යුහයේ ලිහිල්බව නැතිකළ නොහැකි නම් ඇතැම් භව්‍ය උපන්‍යාසයන් කිහිපයක් බැහැරකිරීම දක්වා එය තදකල හැකිවීමට තවදුරටත්  හැකිවිය යුතු අතර එමඟින්  පර්යේෂණයට ලක්කරණු ලබන ප්‍රෙම්යයන්(ප්‍රස්තුතයන්) එහි පරිමාණවලින්  යම් කලමණකරණය කරගත හැකි මට්ටමක තබාගත හැකි බව‘ අවධාරණය කරනු ලැබිණි.

ශ්‍රි ලංකාවේ විසූ ප්‍රාග්ඓතිහාසික මානවයා  සහ ඔහු විසූ පරිසරය අතර පැවති අන්තර්සබඳතාව නිරීක්ෂණය කිරීමට ඔහු වෙහෙසුන අතර එකී අන්තර්සබඳතාව ඔහු විසින් පද්ධති න්‍යායය(Systems Theory) මූලිකකොටගත් දෘස්ටිකෝණයක් ඔස්සේ සෙවීමට  උත්සහ දැරූ අතර ඔහුගේ සමස්ත පර්යේෂණ ප්‍රවේශය “ සංස්කෘතික පුරා-පාරිසරිකවිද්‍යාත්මක“ ප්‍රෙව්ශයක් ලෙස හඳුන්වා දුන්නේය. සැබවින්ම එකී කාලයට සාපෙක්ෂව එම සංකල්පීය භාවිතයන් ශ්‍රි ලාංකික පුරාවිද්‍යා ක්ෂේත්‍රයට බෙහෙවින්ම නැවුම් විය‍

තම සංකල්පීය ගමන්පථය (Conceptual roadmap )සකස්කර ගැනීමෙන් පසුව ඔහු තම සමස්ත පර්යේෂණය ප්‍රධාන අදියර හතරකට බෙදා දැක්වුවේය. එකී අදියර සතරකින් යුතු  විමර්ශනාත්මක අනුක්‍රමයක් හඳුන්වාදීමෙන් පසුව තම දිවිය තුළ කල කී දෑ සියල්ලක්ම එකී අනුක්‍රමයන් මත පිහිටමින් එය ආශ්‍රයකොට ගනිමින් පැහැදිලි කළේය. බෙල්ලන්බැඳි පැලැස්සේ තම පියා විසින් කණින ලද ශිලා මෙවලම් එකතුව විශ්ලේශනය කිරීමෙන් ඇරඹි පළමු අදියර තුළ අනුරාධපුරය ඇතුලු නුවර, සහ ශ්‍රී ලංකාවේ ඊශාන දිග මුලතිව් වෙරළේ සිට අග්නිදිග කුමන වෙරළතීර කළාපය තෙක් ඇති තීරුව ප්‍රාමාණික පුරාවිද්‍යාත්මක ස්තානීය ගවේශනයකට ලක්කරන ලදී. ඉන්පසුව මධ්‍ය කඳුකරයේ  හෝර්ටන්තැන්න වැනි පෙර වාර්තාවී පැවති ප්‍රාග්ඓතිහාසික විවෘත ජනාවාස භූමි ගවේෂණයට ලක් කරන ලද්දේය ඉන් පසුව දෙවැනි අදියර වශයෙන් ඉරණමඩු තැන්පතුව ගවේෂණයට ලක් කරන ඔහු ලංකාවේ දකුණු දිග වෙරළාසන්න බුන්දල පතිරාජ වෙල,  යාල, මිනිහාගල්කන්ද වැනි ප්‍රදේශ ස්ථානීය ගවේෂණයට ලක්කළේය. පසුව තෙවන අදියර යටතේ එම ස්ථානීය ගවේෂණ වලින් හමවූ ප්‍රධාන ස්ථානයක් කැනීම් කරන ලද අතර ශ්‍රී ලංකාවේ නිරිතදිග වැසි වනාන්තර තුළ පිහිටා ඇති  ප්‍රාග්ඓතිහාසික ගුහා සහ ගුහා පියැසි පිළිබඳ ඔහුගේ අවධානය යොමුවන්නේ ඉන් පසුවය. එය ඔහු තම පරයේෂණාත්මක විෂය රාමුවේ හතරවන අදියර ලෙස නම්කරයි. සැබවින්ම මෙහිදී ඔහු විසින් අවධානය යොමුකරන ලද එකි ගුහා වාසස්ථාන බොහෝමයක්ම පාහේ ඔහුගේ පියා විසින් පෙරදී කැණීම්කොට හෝ වාර්තාකොට පැවති ස්ථාන වුවුද ඔහු එම ස්ථලයන් පිළිබඳ සොයාබැලීම තම අවසන් අදියර වශයෙන් තබා ගන්නේ ඔහු තුළ තමන් විසින් සිදුකරනු ලබන පර්යේෂණය පිළිබඳ සැකසූ විධිමත් සංකල්පීය මාර්ග සිතියමක් පැවති නිසාය.එය ශ්‍රී ලංකවේ ප්‍රාග්ඓතිහාසික අධ්‍යයන සම්ප්‍රදාය ක්‍රමවේදී සහ නයායත්මක විෂය රාමුවක් යටතට ලක්කළ යුතු බවට ඔහු ලබාදුන් ආදර්ශයද වන්නේය.

ඇතමෙකු ඔහුව හඳුන්වා දෙන්නේ ප්‍රත්‍යයක්ෂමූලිකවාදියෙකු( positivist) හෙවත් තම මතයන් ආනුභවික දත්තයන් මත පමණක් පදනම් වෙමින් තහවුරුකිරීමට පෙළඹුන අයෙකු ලෙසය, ඒ අතින් ඔහු ශික්ෂණ ලැබූ ඇමරිකානු පුරාවිද්‍යාත්මක සම්ප්‍රදායට ඇති ඥාතිත්වය මත තබා ඔහුව එලෙස ලගුකර දැක්වුවද යම් දෘඩ න්‍යායාත්මක ආස්ථානයක සිටීම පිළිබඳ ඔහු ගේ අදහස වෙනස් බව ඔහුගේ කෘතිය විශ්ලේශනාත්මක කියවීමකට ලක්කළ විට අවබෝධ වන්නකි. එහිදී එහු ව්‍යුක්ත න්‍යායකරණයෙන් මිදෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඉතිහාසයේ කාල/අවකාශීය විහේෂයෙන්ම පාරිසරකි සංදර්භවල සාමාන්‍ය චිත්‍රයක් ලබාගැනීමට අදාළ වඩාත් මූලික සහ සාපේක්ෂව ස්වාධීන ගැටලු කෙරෙහි  අවධානය යොමුකිරීම සඳහා තම පර්යේෂණ රාමුව සකස්කරගත් බව පෙනේ.  සැබවින්ම ඔහු තම පර්යේෂණයේ මුල් අදියර තුළ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික පර්යේෂණය තුළ ඒ දක්වා පැවති න්‍යායාත්මක ව්‍යාකූලත්වයන්ට  වඩා ක්‍රමවේදී දුර්වලතා මඟහැරවීමට වෙහෙස වූ බව පෙනේ.

සැබවින්ම ඔහු නිරන්තරයෙන් අවධාරණය කළේ පුරාවිද්‍යා විෂය ශික්ෂණයේ යම් උපවිෂයශික්ෂණයක් තුළ විශේෂීකරණය වීමට මත්තෙන් පුරාවිද්‍යා විෂය තුළ නියලෙන්නෙකු  පුරාවිද්‍යාඥයෙකු බවට පත්විය යුතුබවය.  ඔහු දැඩිව විශ්වාස කළේය පුරාවිද්‍යා මූලිකාංග පිළිබඳ මනා පරිචයක් ලැබූ ක්ෂේත්‍ර පුරාවිද්‍යාඥයෙකු බවට පත්වීමෙන් අනතුරුව පමණක් එකී විෂය තුළ ප්‍රමාණිකයෙකු බවට පත්වීමට හැකි බවය.

ඔහු තම ශාස්ත්‍රීය ජීවිතය තුළ සම්පාදනය කළ දෙවැනි කෘතිය වූ 2007 දී රචිත The prehistory and proto-history of Sri Lanka කෘතිය තුළදී ඔහු විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් මතයන් ඒ වනවිට නිෂ්පාදනය වී තිබුණු පුරාවිද්‍යාත්මක දැනුම මත යම් වෙනස් කිරීම්වලට ලක්කලද ඔහුගේ සමස්ත ප්‍රෙව්ශය පිළිබඳ පුනර්ඇගයිමක් නොකළේය. එහෙයන් න්‍යායත්මක ප්‍රෙව්ශයක් වශයෙන් “පාරිසරිකවිද්‍යාත්මක පර්යාවලෝකයේ‘ ඇති ලුහුඩුතා කෙරෙහි සවිඥානික වෙමින් තම ප්‍රෙව්ශය ප්‍රති ඇගයිමකට ලක්කිරිමට පැවති අවස්ථාව ද ඔහුට මගහැරී ගියේය.

සැබවින්ම මෙකී ප්‍රවේශයේ ඇති ලුහුඩුබව ඔහුගේ කෘතිය නිකුත් වූ කාල පරිච්ඡේදය තුළම පුරාවිද්‍යාවේ පරිසරක ප්‍රෙව්ශය පිළිබඳ වන සාකච්ඡාවලදී අවධාරණ වි තිබිණි.  මැතිල්ඩේ රුයිස් (1992) සහ ජේම්ස් මැක්ලීඩ් (1995) විසින් දක්වන අදහස් කෙරිහි යොමුවෙමින් අපට ඒ ගැන සොයා බැලීමක් කල හැකිය.

පුරාපාරිසරික-විද්‍යාත්මක(palaeo-ecological) විශ්ලේනයන්හි ඇති  ගැටලුකාරි ස්වාභාවය නම්, පුරාවිද්‍යාවේ වඩාත් තාක්ෂණික සහ විදයාත්මක ප්‍රෙව්ශයක් තුළින් පුරාපාරිසරික දත්ත සාම්ප්‍රදායික ස්ථාරායන-වර්ගීකරන පුරාවිද්‍යාවේ ඌණපුරණයක් වශයෙන් ඉදිරිපත්කිරීමට පෙළඹී කිබීම බව රුයිස් හඳුනාගනී. එනම් දත්ත වඩාත් යාන්ත්‍රිකව සහ ඒකදිශාගතව අර්ථකතනය කිරීමේ දෝෂයකින්  එය පෙළෙන බව ඇය අවධාරණය කළාය. උදාහරණයක් වශයෙන් ස්ථලයකින් හමුවන යම් දැවුණු අඟුරු ජනාවාසය අවට අවට වන ලැහැබක් පැවති බවට ද  ස්ථලයේ ඇති ස්ත්ව අස්ථි අවශේෂ ඔවුන්ගේ යැපුම්ආර්ථිකයන් පිළිබඳ අවධාරණය කිරීම වැනි හුදු තනි අර්ථවිවරණමය ඉදිරිපත් කිරිමකට නතුවීමයි.මෙහි ප්‍රතිඵලය වුයේ එකම යථාර්ථයක පැවති විවිධ අංග පිළිබඳ තනි ඉතිහාසයන් ගොඩනැංවිමක් සිදුවීම වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් දැනුම කණ්ඩනය වූ එසේත් නැතිනම්  වෙන් වෙන් ඒකකවල හුදකලා වූ  ස්ථිතික පුරාවිද්‍යාවක් බිහිවීම සිදුවිය‍.

එහිදී ප්‍රධාන වශයෙන්ම  පරිසරය සහ මනාව සමාජය අතර පැවති සබඳතාව පිළිබඳ සලකා බලනු ලැබූ සංකල්පීය රාමුවක් තැනීමට එහිදී උත්සහ නොගැනිනි. එනම් මානවයා පරිසරය හමුවේ අක්‍රීය ප්‍රපංචයක් ලෙස නොසලකා ස්වාභාවික පරිසරය සමඟ ඔහු විශේෂයෙන්ම ඔහුගේ සමාජීය සහ දේශපානික  පද්ධති අන්තර්සබඳතා පැවත්වුයේ  කෙසේද යන්න අවබෝධ කරගැනීම  වඩාත් වැදගත්වන්නට තිබිණි. මෙහිදී පාරිසරකි පද්ධතිය තුළ මානව සමාජය අන්තර්බද්ධකොටසක් බවට පත්වන අතර  එනයින් පරිසරය තවදුරටත් ස්වාභාවික නිර්මිතයක් නොවී මිනිසුන් සමඟ ගනුදෙනු කරනු ලබන සමාජීය ඒකකයක් බවට පත්වන බව ඇය අදහස් කරයි.

තවද ස්වාභාවික පරිසරය යනු යම් සමාජයක නඩත්තුවට අවශ්‍ය දෑ ලබාගැනීමට ඇති පද්ධතියක් ලෙස සැලකීම සහ  පාරිසරික වෙනස්කම් මත පුද්ගල චර්යාවද වෙනස්වන බව දක්වන පරිසරය හමුවේ පුද්ගයා යනු අක්‍රීය අස්ථිත්වයක් බවට පත්වන ‘පාරිසරික නියතිවාදය‘ යන සංකල්ප එමඟින් අහෝසීවී යන බව දක්වයි. ඒ වෙනුවට මෙහිදී අවධානය යොමුවිය යුත්තේ පාරිසරික තත්ත්වයන් මත කාලය හරහා කිනම් විවිධ දේශපානික සමාජීය හෝ ආර්ථික ප්‍රතිවිපාකයන් ඇති වුයේද යන්න අවබෝධකරගැනීම සහ ඇතැම් ස්වාභාවික සහ සමාජීයආර්ථික තත්ත්වයන් යටතේ දිවිගෙවූ කිනම් උපයෝජන උපක්‍රමයන් තෝරාගත්තේද යන්න අවබෝධකරගැනීමයි. මෙහි මූලික අදහස වන්නේ ඕනෑම සමාජයක පැවැත්මට ස්වාභාවික සම්පත් අවශ්‍ය බව ගම්‍යමාන වුවද අවසානයේ එකී සම්පත් උපයෝජනය කරන අකාරය තීරණය කරන්නේ සමාජය විසින් වන අතර මෙම තීරණ උපයෝජනය කරනු ලබන තාක්ෂණික විධික්‍රමයන් මත රඳාපවතින ආකාරයෙන්ම දේශාලනික සබඳතා මතද රඳා පවතී යන්නය.

එහෙයින්  අචාර්ය දැරණියගල  විසින් යොජනා කරන ලද සංස්කෘතික පුරා-පාරිස්ථිකවිද්‍යා ප්‍රෙව්ශය  සමාජීයපාරිසරිකවිදයාත්මක( socioecological) පද්ධතියක් බවට පත්කිරීමට උත්සහ ගත්තා නම් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික මානවයා තම පරිසරය සමඟ පැවැත්වූ සක්‍රීය සම්බන්ධය පිලිබඳ වඩා ප්‍රබල චිත්‍රයක් මවා ගැනීමට හැකිවීමට ඉඩ තිබිණි. එහෙත් ඔහු විසින්ම දක්වන ආකාරයට ඔහු වඩාත් වෙහෙසුනේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා විෂයශික්ෂණයට අනන්‍ය ක්‍රමවේදී දුර්වලතා මඟහැරීමට වන අතර එය  ව්‍යුක්ත න්‍යාකරණයක යෙදීමට වඩා ප්‍රාරම්භකව ප්‍රමුඛතාව හිමිවිය යුතු දෙයක් ලෙස අවධාරණය කළේය. එමෙන්ම ප්‍රාග්ඓතිහාසික සමාජීය සංවිධානය හා සම්බන්ධ සප්ර්ශකිරීමට ප්‍රමාණවත් නැති සහ වඩාත් සංකීර්ණ ගැටලු වල දුෂ්කරතා විසඳාගැනීම අර්ථකතනමය ධුරාවලියක ඉහල මට්ටමකදී ඇගයිම සඳහා ඔහු විසින් ඉතිරිකර තබන ලද අතර ඔහු තම දිවියේ අවසන කාල පර්ච්ඡේදය තුළ අපේකෂා කළ පරිදි මතුවට බිහිවන පුරාවිද්‍යාඥයින්ගේ පරම්පරාවට එකී ගැටලුවලට පිළිතුරු සෙවීමට සිදුවනු ඇති අතරම එය ආචාර්ය දැරනියගල විසින් අපට ඉතිරිකර ගොස් ඇත්තේ එබඳු උරුමයද වන්නේය.

ශාස්ත්‍රීය භාවිතාව අතින් වඩාත් දෘඩ, සංකීර්ණ සහ පහසුවෙන් අවබෝධකොටගත නොහැකි  විද්වතෙකු වුවද සමාජීය සමබන්ධතා විෂයෙහි ඔහු ඉතා ලයාර්ද්‍ර සත්පුරුෂයෙකු වූ බව සහ තම දැනුම බෙදාහදාගැනීමට නොමසුරු සංවේදී පුද්ගලයෙකු වූ බව ඔහුගේ සෙවන ලැබූ  බොහෝ දෙනෙකුගේ අදහසය.

මහාචාර්ය ගුණපාල මලලසේකර විද්වතානන් විසින් ලෝකයට සිටින්නේ එක් පරණවිතාන කෙනෙකු බව පැවසුවාක් මෙන් අපට පැකිලීමක් නොමැතිවම ලෝකයට සිටින්නේ එක් දැරණියගල කෙනෙකු බව පැවසිය හැකිය ඒ අන් කිසිවක් නිසා නොව  ඔහු සතුවූ  දුලබ නිපුණතාව මෙන්ම ලාංකීය  පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය කෙරෙහි ඔහු දැක්වූ  දායකත්වය සහ ඒකී විෂය ශික්ෂණය  සඳහා  ඔහු සතුව පැවති  නොසන්සිඳෙන කුතුහලය,  ඔහු තම දිවිය තුළ එකතු කරගත් විෂය කරුණු පිළිබඳ සහ ඒවා න්‍යායගත කිරීමට ඔහු තුළම නැඟුනු විරුද්ධාභාසමය සිතුවිලිවලින් පිරි අවිවේකි මනසින් යුතුව අතිශය වියපත් වියේදී වුව විෂය වෙනුවෙන් ඔහු දැක්වූ සක්‍රීය මැදහත් වීම යන කාරණා නිසාය.

දිනේෂ් දේවගේ

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here