2022 අගොස්තු මස 31 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පවත්වනු ලබු වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ දී මෙරට ප්‍රමුඛවිද්වතෙකු වන සම්මාණිත මහාචාර්ය සී.ඇම්. මද්දුම බණ්ඩාරයන් විශ්වවිද්‍යාලයක් මඟින් පිරිනමනු ලබන ඉහළම සම්මාණ උපාධියක් වන සාහිත්‍ය සූරි (D.Litt./Doctor of Letters) සම්මාණයෙන් පුදනු ලැබීය.
1941 ජනවාරි 24 වැනි දින අනුරාධපුරයේ දී උපත ලැබූ එතුමා 1950-1959 කාලයේ දී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධයාපනය ලබා 1964 වසරේ දී පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි ගෞරව උපාධියත් 1971 වසරේ දී එක්සත් රාජධානියේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනසූරි උපාධියත් ලබා ගන්නා ලදී. කොළඹ විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාල ජීවිතය ආරම්භ කළ එතුමා එයින් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වි දේශිය හා විදේශිය විද්‍යාර්ථින් දසදහස් ගණනාවකගේ ආචාර්යවරයෙකු විය. පේරාදෙණිය සරසවියේ හිටපු උපකුලපතිවරයෙකු (1994-1997) ද වන එතුමා නයිජීරියාවේ ඉලොරින් විශ්වවිද්‍යාලය (1977-1979), එංගලන්තයේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලය (1987), ජපානයේ ත්සුකුබා (1997), ටෝකියෝ (2000), එක්සත් ජාතින්ගේ විශ්වවිද්‍යාලය (1999), කියෝතෝ (2007/2008) ආදි ලෝව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධ වී පර්යේෂණ කටයුතු සිදුකර ඇත. එංගලන්තය, ජපානය, ජර්මනිය, ස්විඩනය, නයිජීරියාව හා ඉන්දියාව වැනි රටවල විවිධ පර්යේෂණ ව්‍යාපෘති සඳහා ද දායකත්වය සපයා ඇති එතුමා ලෝක බැංකුව, USAID, NORAD (නෝර්වේ), GTZ (ජර්මන්) හා ස්වභාව ධර්මය සංරක්‍ෂණය සඳහා වන ජාත්‍යන්තර සංගමය (IUCN) වැනි විවිධ ජාත්‍යන්තර සංවිධාන සමඟ ද සමීප ලෙස කටයුතු සිදුකර ඇත.
සම්මාණිත මහාචාර්ය මද්දුම බණ්ඩාරයන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේ කටයුතු සඳහා ප්‍රමුඛ දායකත්වයක් ද සපයා ඇති අතර ඉඩම් කොමිසමේ සභාපති (1985-1989), ජාතික ජල මූලාශ්‍රය පිළිබඳ කොමිසමේ සභාපති (2004), ජාතික අධ්‍යාපන ආයතනයේ විද්වත් මණ්ඩලයේ සභාපති හා ජාතික පාරිසරික කවුන්සිලයේ සභාපති යන තනතුරු දරමින් දක්වන ලද දායකත්වය කැපී පෙනේ. ශ්‍රී ලංකාවේ ජාතික ජල ප්‍රතිපත්තිය පිළිබඳ විශේෂඥ කමිටුව සඳහා ද කැබිනට් මණ්ඩලය මඟින් පත් කරන ලද එතුමා 2021-2022 කාලයේ දී ඒ සඳහා තම විශේෂඥ දායකත්වය සපයා ඇත.
ක්‍ෂේත්‍ර ගණනාවක පර්යේෂණ සඳහා දායක වී ඇති මද්දුම බණ්ඩාරයන් ඒ අතුරින් පාරිසරික ගැටලු නිවාරණය, ඉඩම් ප්‍රතිපත්තිය හා ජලමූලාශ්‍රය පිළිබඳ විශේෂඥ පර්යේෂකයෙකු වූ අතර ජලාධාර කළමනාකරණය, වෙරළ කලාපීය සැලසුම්කරණය, කෘෂි ලිං සංවර්ධනය, පරසරය හා සංස්කෘතිය අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව සඳහා මෙරට සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය යොදා ගැනීම වැනි ක්‍ෂේත්‍ර ආවරණය කරමින් ප්‍රමුඛ දායකත්වයක් ලබා දී ඇත. පසු කාලීනව ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා අවධානය යොමුකරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ එල්ලංගා පද්ධති පිළිබඳ සංකල්පය හඳූන්වා දීම (1985) සඳහා ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ විද්වතා වන මද්දුම බණ්ඩාරයන් මෙරට පළමු වැනි පාරිසරික ක්‍රියාකාරි සැලැස්ම සඳහා පදනම දැමූ විද්වතා ද වේ. ශ්‍රී ලංකාවේ ගංගා නිම්ණ පදනම් කරගත් පළාත් වෙන් කිරීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් මහාචාර්ය මද්දුම බණ්ඩාරයන් වඩාත් අවධානයට පාත්‍ර වූ අතර එතුමාගේ පර්යේෂණාත්මක ලිපි සිය ගණනකින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සඟරා සාරවත් වී ඇත.
මෙරට ජල සම්පත් අරඹයා දක්වා ඇති දායකත්වය වෙනුවෙන් ‘ලංකා ජලනි’ ගෞරව නාමයෙන් පිදුම් ලබා ඇති මද්දුම බණ්ඩාරයන් සබරගමුව විශ්වවිද්‍යාලය මඟින් 2010 වසරේ දී විද්‍යාසූරි (D.Sc.)සම්මාණයෙන් පිදුම් ලැබූයේ මෙරට පර්යේෂණ හා උසස් අධයාපන ක්‍ෂේත්‍රයට දක්වන ලද අනෙඟි දායකත්වය හේතුවෙනි. ජාතික විද්‍යාභිවර්ධන සංගමයේ සම්මානණීය සාමාජිකයෙක් මෙන් ම එහි කමිටු සාමාජිකයෙකු ද වන මෙතුමා ලංඩන් භූගෝල විද්‍යා සංගමයේ සම්මානණීය සාමාජිකයෙකු ද වේ.