බදුල්ල, කුරුල්ලන්ගල ප‍්‍රාථමික ශෛලියේ සිතුවම්

ගම්පොළ විජය හිමි

පූජ්‍ය ගම්පොළ විජය හිමි

හැඳින්වීම

කුරුල්ලන්ගල, ප‍්‍රාථමික සිතුවම් සහිත අප‍්‍රකට පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයකි. ගමන් කිරීමේ පවතින දුෂ්කරතාව හේතුවෙන් එය නරඹන්නන්ගෙන් ව්‍යුක්තව පවතීයි. ඉකුත් දශකය තුළ පර්යේෂණ කණ්ඩායම් කිහිපයක් මෙම ස්ථානය නිරීක්‍ෂණය කරන ලද බව කියවෙතත් සිතුවම් පිළිබඳ මූලික වාර්තාකරණයක් හෝ සිදුව ඇති බව නොපෙනේ. තව ද, ඇතැම් ඓතිහාසික ප‍්‍රවාද හා බැඳි ඊනියා මතවාද තහවුරු කිරීමේ අරමුණින් පුරා සාධක ගවේෂණය කරන්නන් ද මෙම සිතුවම් පිළිබඳ අර්ථකථනයන් සැපයීමට ඉදිරිපත් වීම නිසා ඒවායෙහි විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් වූව ද ගැටලු පැනනැඟි තිබේ. එබැවින්, මෙම සිතුවම් පිළිබඳ විධිමත් වාර්තාකරණයක් සිදු කිරීම හා එහි සංදර්භමය වැදගත්කම අවධාරණය කරගැනීම කාලීන අවශ්‍යතාවක්ව ඇති අතර මෙම අධ්‍යයනයෙන් එකී කාර්ය අරමුණු කෙරිණි.

මා ඇතුළු කණ්ඩායමක් විසින් 2014.07.25 වන දින සිතුවම් සහිත ස්ථානය මෙන්ම ආංශූක කලාපය ද නිරීක්‍ෂණය කරන ලදී. ඡායාරූප, පරිමාණගත දළ සටහන් හා අදාළ විස්තර ලේඛනගත කිරීම මඟින් වාර්තා කිරීම සිදු කෙරිණි. සිතුවම් පිළිබඳ දත්ත විශ්ලේෂණයේ දී වස්තුවිෂය, ස්ථානගතවීම හා නිරූපිත ස්වරූපය, ශෛලිය ලක්‍ෂණ හා භාවිත මාධ්‍ය වැනි සාධක සම්බන්ධයෙන් මූලිකව සලකා බැලිනි. ඒ අනුව, යථෝක්ත සිතුවම්වල සමානත්වයන් මෙන්ම විවිධත්වයන් රැසක් පෙන්නුම් කෙරෙන අතර දැනටත් මිහිපිට ජීවත්වන, ඇතම් විට ජීවත්ව වඳ වී ගිය කුරුළු විශේෂ හා තවත් සත්ව රූප කිහිපයක් සිතුවම් සඳහා වස්තුවිෂය වී ඇති ආකාරය දක්නට ලැබේ. යථෝක්ත සිතුවම් මෙරට සෙසු ස්ථානවලින් හඳුනාගෙන ඇති ප‍්‍රාථමික ගුහා සිතුවම් සමග සංසන්දනය කිරීමේ දී පෙනීයන කරුණ නම් වස්තු විෂය පමණක් නොව ශෛලීය වශයෙන් ද කැපීපෙනෙන විශේෂත්වයන් පවතින බවයි. මෙබඳු ප‍්‍රකාශන ගුණයෙන් හා තාක්‍ෂණයෙන් යුත් සිතුවම් වෙනත් ස්ථාන වලින් පෙන්නුම් නොකෙරෙන තරම්ය.

කුරුල්ලන්ගල සිතුවම්වලට සමාන වෙනත් සිතුවම් මෙරටින් හමු නොවූ පමණින් තත් සිතුවම්වලට හිමිවිය යුතු අවකාශ සංදර්භය ප්‍රතික්ෂේප කිරීම යෝග්‍යය නොවේ. මන්ද යත්, මේ දක්වා නිසි අර්ථදැක්වීමක් සිදුකළ නොහැකි පුරා සාධක, ව්‍යුහයන් සහ අස්පර්ෂිත කි‍්‍රයාකාරකම් ලොව පුරා දක්නට ලැබෙන බැවිනි. කසේ නමුදු මෙම සිතුවම්වලට කාලනිර්ණයක් ලබාදීම වඩාත් දුෂ්කර කාර්යයකි. මෙරට බොහෝමයක් ස්ථාන වලින් හමුවන සිතුවම්වලින් වැඩි ප‍්‍රමාණයක් වැද්දන් විසින් අඳින ලද සිතුවම් බව පර්යේෂකයන් කිහිප දෙනෙකුම සහේතුකව පෙන්වා දී තිබේ. මෙම සිතුවම්වල කර්තෘත්වය සම්බන්ධයෙන් අපගේ මතය නම් මේවා පසු කාලීනව නැතිනම් වැද්දන් විසින් අඳින ලද සිතුවම්වලට වඩා ප‍්‍රාග් ඓතිහාසික යුගයේ අඳින ලද සිතුවම් වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි. ආංශූක කලාපයෙන් මෙසොලිතික යුගයට අයත් පුරාවිද්‍යාත්මක සාධක ද හඳුනාගෙන ඇති අතර අප විසින් සිදුකළ ක්‍ෂේත‍්‍ර නිරීක්‍ෂණයේ දී ද එබඳු නව ස්ථානයක් හඳුනාගත හැකි විණි. එබැවින් සමස්තය සලකා බැලූ කල සිතුවම් මධ්‍යශිලා යුගයට අයත් වීමේ හැකියාවකින් යුක්තව පවතීයි.

පිහිටීම හා ගමන් මාර්ගය

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික සිතුවම් කලාව පිළිබඳ සාධක හමුවනුයේ අල්ප වශයෙනි. මේ අතුරින් දැනට වර්තා වී ඇති වැඳි සිතුවම් කලාවට ප‍්‍රමුඛ වූ ස්ථානයක් හිමිව ඇත. එසේ වුව ද, වැඳි සිතුවම් ඉක්මවා ගිය ප‍්‍රාග් ඓතිිහාසික සිතුවම් පිළිබඳ සාධක වර්තමානයේ ශ‍්‍රී ලංකාවෙන් හමුවනු ලැබේ. මේ අනුව, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුග හා තත් යුග නියෝජනය කරනු ලබන සිතුවම් හමුවන ස්ථානයක් වශයෙන් කුරුල්ලන්ගල පුරාවිද්‍යා කේෂත‍්‍රය හඳුනාගත හැකි ය. කුරුල්ලන්ගල ලෙස හඳුන්වන ප‍්‍රාථමික සිතුවම් සහිත පර්වත ශිඛරය ඌව පළාතේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ ඇල්ල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කරඳගොල්ල ග‍්‍රාම නිලධාරි වසමට අයත්ව පිහිටා තිබේ (සිතියම 1). එහි නිරපේක්‍ෂ පිහිටීම උතුරු අක්ෂාංශ 60 810′. 749” ත් නැඟෙනහිර දේශාංශ 810 063′ 590” වශයෙන් දැක්විය හැකි ය. වැලිමඩ සානුවෙන් අවසන් වන ඇල්ල කඳු ශිඛරයන්ට මායිම්ව කුරුල්ලන්ගල පුරාවිද්‍යා කේෂ්ත‍්‍රය පිහිටා ඇත. යථෝක්ත ස්ථානය වෙත ළඟා වීම සඳහා ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 13ක් පමණ වැල්ලවාය දෙසට ගමන් කර හන්දියෙන් දකුණු පසට හැරී සැතපුම් දෙකක් පමණ මඟ ගෙවා රක්ඛිත්තා කන්ද රජ මහා විහාරයට පිවිසිය යුතු වේ. එහි සිට, අලිකොටේ ඔයට සම්බන්ධවෙන කඳුර දිගේ කිලෝමීටර් 2ක් පමණ දුරක් දළ වශයෙන් මීටර් 400ක් පමණ උසක් කුරුල්ලන්ගල කන්ද තරණය කිරීමෙන් සිතුවම් සහිත ස්ථානයට ළඟා වීමේ හැකියාව පවතියි. එය අතිශය දුෂ්කර කාර්යයක් වන්නේ ප‍්‍රපාතාකාර බෑවුම් සහිත ස්ථාන කිහිපයක් හා ගල් කුළු රැසක් පසු කළ යුතුව ඇති බැවිනි.

සිතියම 1 : කුරුල්ලන්ගල ස්ථානගත වීම

භූගෝලීය පසුබිම හා පාරිසරික පසුබිම

කුරුල්ලන්ගල කන්ද ද ඇතුළු තදාශි‍්‍රත කඳු පංතිය මධ්‍යම කඳුකරයේ බටහිර මුහුණතේ ප‍්‍රධාන ඛාදිත මොහොර කලාපය නියෝජනය කරයි. ඉන් ඉහළ ප‍්‍රදේශය වැලිමඩ සානුවට අයත් වන අතර පහළ ප‍්‍රදේශය නැඟෙනහිර තැනිබිම් දක්වා අනුක‍්‍රමයෙන් බෑවුම් වෙයි. මුහුදු මට්ටමේ සිට දළ වශයෙන් මීටර 1,200 සිට 800 දක්වා උන්නතාංශය වෙනස් වන භූ විෂමතාවක් තදාශි‍්‍රත ප‍්‍රදේශයෙන් පෙන්නුම් කෙරේ. එහෙයින් හාත්පස භු දර්ශනය කඳු, කඳුවැටි, නිම්න, ඛණ්ඩනයට ලක් වූ සානු ආදියෙන් සමන්විත ය. භූ විද්‍යාත්මක කාලනිර්ණයන්ට අනුව සැලකූ කළ ප‍්‍රදේශය ප‍්‍රාග්කේම්බී‍්‍රය යුගයේ නිර්මාණය වූ උස්බිම් සංකීර්ණයට අයත් පාෂාණයන් ආශ‍්‍රයෙන් සකස්ව ඇති අතර එහෙයින් නයිස්, ග‍්‍රැනයිට් නයිස්, ගානට් බයෝටයිට් නයිස්, චානොකයිට්, බයෝටයිට් නයිස්, ග‍්‍රැනයට්, මිග්මැටයිට් ටොනාලිතිකවල සිට ලෙව්කෝ ග‍්‍රැනයිට් දක්වා සුළු විපරිත පාෂාණ හා සිලිකේට් පාෂාණ දක්නට ලැබේ. කුරුල්ලන්ගල නයිස් මවු පාෂාණ උද්ගතයක් ආශ‍්‍රයෙන් නිර්මාණය වී ඇති අතර එහි නැඟෙනහිර මුහුණත දැඩිව ඛාදන කි‍්‍රයාවලියට ලක්ව පවතියි. ප‍්‍රදේශයේ පාංශු ව්‍යාප්තිය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී ව්‍යාප්තික ප‍්‍රධාන පාංශු කාණ්ඩය ලෙස රතු කහ පොඩ්සොලික (Podzolic) පස හඳුනාගත හැකි වේ.

මෙරට ප‍්‍රධාන දේශගුණික කලාප වර්ගීකරණයට අනුව කුරුල්ලන්ගල ආංශූක කලාපය ‘අන්තර් මධ්‍යම දේශගුණික කලාපය’ නියෝජනය කරයි. එහෙයින් උණුසුම් වියලි උස්බිම් නිවර්තන දේශගුණයකින් යුතුවෙයි. මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මීලිමීටර් 2,000 – 2,500 අතර අගයක් ගන්නා අතර ඊසාන දිග මෝසම සකී‍්‍රය වීමත් සමග නොවැම්බර් – මාර්තු මාස අතර කාල පරිච්ඡේදයේ ප‍්‍රදේශයට වැසි ලැබේ. ඉතිරි සමාසිකය වියළි ස්වභාවයක් ගනී. ප‍්‍රදේශයේ මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය 22C0 – 25.5C0 අතර අගයක පවති. කිරිඳි ඔයට සම්බන්ධ වන ජල මූලාශ‍්‍යර රැසක් ප‍්‍රදේශය හරහා ගලා බසින කුරුල්ලන්ගලට සමීපයෙන් ම වන අලි කොටේ ඔය ද එවැන්නකි. ප‍්‍රදේශයේ මනා ජලවහන රටාවක් පවතින අතර භූගත ජලමට්ටම ද සැලකිව යුතු ප‍්‍රශස්ත තත්වයක පවතියි. එහෙයින් උක්ත භූගෝලීය හා පාරිසරික තත්වයන් සලකා බැලීමේ දී යටත් පිරිසෙන් කවර තාක්‍ෂණික හෝ සංස්කෘතික අවදියකට අයත් මානව කණ්ඩායමකට වුව ජිවත් වීමේ සහජ වාසිදායක පරිසර පදනමක් තදාශි‍්‍රත ප‍්‍රදේශය සතුව පවතින බව පෙනේ.

සිතුවම් සහිත ස්ථානයට පිවිසෙන අතරමඟ . . .

සිතුවම්වල වස්තුවිෂය

සිතුවම් එකමත ඇඳීම නිසා සියලුම රූප පැහැදිලිව හඳුනා ගැනීම අපහසු වන නමුත් අප අධ්‍යයනයේ දී කුරුල්ලන් බවට නිසකයෙන් හඳුනාගත හැකි සිතුවම් 29ක් පමණ වාර්තා කිරීමට හැකිවිණි. කුරුල්ලන් පිළිබඳ අධ්‍යයනයන් වල දී බාහිර අංග ලක්‍ෂණ අනුව සාමාන්‍යයෙන් ඔවුනොවුන් එකිනෙකාගෙන් වෙන් කර හඳුනාගැනීම සඳහා විශාලත්වය, හොටය, පාද, පෙඳය (වලිගය), පියාපත්, පියාඹන හැඩය, පැහැය, වෙසෙස් අඟපසඟ හා හැසිරීම් ආදිය මූලික වේ. මේවායින් ඇතැම් නිර්ණායක සිතුවම් වල ඇතුළත් කුරුලු ප‍්‍රභේද වර්ග කිරීමට මැනවින් භාවිත කළ හැකි වේ. එහෙත් ඇතිවන ගැටලුව නම් සිතුවම් කරණයේ දී කුරුල්ලන් විවිධ හා සංකීර්ණ ඉරියව්වලින් නිරූපණය කර තිබීමයි. එමෙන්ම, රේඛා කරණයේ දී හා වර්ණ පූර්ණයේ දී භාවිත ඇතැම් ප‍්‍රයෝග කුරුල්ලන්ගේ ශරීර අංග ඇතුළු විශේෂතා හුවා දැක්වීමට හෝ සිතුවම්වල අලංකරණය සඳහා භාවිත වුවේ ද යන්න හඳුනා ගැනීම දුෂ්කර වේ. කුරුල්ලන්ගල පර්වත සිතුවම් අතර වෙනත් සත්වයන් නිරූපණය කෙරෙන රූප සටහන් දක්නට ලැබේ. එක් සිතුවමකින් යම් ප‍්‍රිමිටාවකු (Primate) නිරූපනය වන බව හඳුනා ගැනීම හැකි වේ. ඌගේ දෙපා හා දිග වලිගය පැහැදිලිව දක්නට ලැබෙන අතර ගමන් කරනා ඉරියව්ව එයින් නිරූපණය වේ. මෙහි දැක්වෙන සිතුවම් අතර ගෝනෙකු (Rusa unicolor) හෝ මුවෙකු (Axis axis) නිරූපණය වන බව නිසැකය. කිඹුලෙකු (Crocodylus) හෝ කබර ගොයෙකු (Iguana iguana) වස්තු විෂය වන සිතුවමක් ද මෙහි අන්තර්ගත ය. යටත් පිරිසෙන් මෙම සතුන් සියල්ලම පාහේ නූතනයේ මෙරට දක්නට ලැබෙන සත්ව විශේෂයන් වේ. වර්තමානයේ වර්ණ තවරා ශිලා පෘෂ්ඨය මත ස්පර්ශ කිරීමෙන් සළකුණු කරන ලද අත්ල රූප 12ක් පමණ හඳුනාගත හැකි ය. යම් යම් ඇතැඟිලි සළකුණු මැනවින් ස්පර්ශ නොවුණු අවස්ථාවන් ද අල්ල පමණක් සළකුණු වූ අවස්ථා ද දක්නට ලැබේ. ඇතැම් අත් රූපයන් වඩා දිගැටි බවක් ගන්නා අතර වර්ණයෙන් යුත් දෑත් එක් ස්ථානයක තබා කෙටි දුරක් පසුපසට ඇදීමෙන් එකී හැඩය ලැබී ඇත. මූලික නිරීක්‍ෂණ අනුව, යටත් පිරිසෙයින් පුද්ගලයන් දෙ දෙනෙකුවත් අත් සළකුණු තබා ඇත. දකුණත හා වමත යන දෙ අත් රූ දක්නට ලැබුණ ද වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ වමත භාවිතයෙන් සැදි අත් සළකුණු වීම විශේෂත්වක් ලෙස සැළකිමට හැකි ය. අත් සටහන්වල චතුරස‍්‍රකාර හැඩය අනුව ඒවා පුරුෂයන්ට අයත් බව උපකල්පනය කළ හැකි ය. මෙම සිතුවම් මතුපිට ජ්‍යාමිතික රේඛා මෙන්ම එබඳු රේඛා එක් කර අඳින ලද හඳුනාගත් ජ්‍යාමිතික හැඩතල දක්නට ලැබේ. එම රේඛා කුරුලු රූප හා වෙනත් රූප මත ව්‍යාප්තව තිබේ. එම රූප තිරස්, සිරස්, සෘජු, වක‍්‍ර රේඛා, තිත් සළකුණු, කඩ ඉරිවලින් සකස් වී ඇත. සිග් සැග් ක‍්‍රමයට අඳින ලද රේඛාවන් ද මෙහි දක්නට ලැබේ. යථෝක්ථ සිතුවම් වපසරිය මත උක්ත සිතුවම් වර්ගීකරණය මැනවින් දැකීමට හැකි ය.

කුරුල්ලන්ගල, ප‍්‍රාථමික ගුහා සිතුවම් හමුවන පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍ර අතර විශේෂ ස්ථානයක් ලෙස සැලකිය හැකි ය. නිරූපිත වස්තු විෂය හා ශෛලීය ලක්ෂණ අනුව මෙරටින් ලැබෙන සෙසු ප‍්‍රාථමික ගුහා සිතුවම් සමඟ සැසදිමට නොහැකි වීමත් ඒවාට ම අනන්‍ය ලක්ෂණ ප‍්‍රකට කරවීමත් යථෝක්ත සිතුවම්වල වන විශේෂතාව ලෙස සැලැකිය හැකි ය. වස්තු විෂය සම්බන්ධයෙන් සැලකීමේ දී මෙම සිතුවම්වල දක්නට ලැබෙන කුරුලු රූපවලින් නිරූපිත කුරුල්ලන් නිශ්චිත වශයෙන් හඳුනා ගැනීම දුෂ්කර වන නමුදු මෙම අධ්‍යයනයේ දී විශේෂ කිහිපයක් සඳහා උපකල්පන ඉදිරීපත් කිරීමට හැකිවිනි. සත්ව රූප අතරින් ද ඇතැම් සත්ව රූපවල එන සතුන් හඳුනා ගැනීමේ හැකියාව ලැබිණි.

ශෛලීය ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පෙනී යන කරුණක් නම් ප‍්‍රබල රේඛාකරණයක් සිතුවම් ආශ‍්‍රයෙන් දැකගත හැකිවීමයි. ඒවා අතර ඇතැම් සත්ව රූප සඳහා භාවිත රේඛා මඟින් සතුන්ගේ ශාරීරික මෙන්ම කි‍්‍රයාකාරී ඉරියව් සැළකිය යුතු අන්දමින් ඉස්මතු කර තිබේ.

ආශි‍්‍රත ග‍්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • කොටගම, එස්. හා අතුල විජයසිංහ (1998), සිරි ලක කුරුල්ලෝ, කොළඹ: ශී‍්‍ර ලංකා වනජීවී උරුම භාරය.
  • දැරණියගල, සිරාන් (1992), ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය, කොළඹ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය.
  • Bandaranayake, S. (1986), The rock and wall painting s of sri lanka, Colombo: Lake House.
  • Somadeva, Raj (2012), Rock pamting & Engraving sites in Sri Lanka, Colombo: PGIAR.
  • National Atlas Sri Lanka (2007), ColomboL: Survey Department of Sri lanka.
  • ‘මොණරාගල දිස්ත‍්‍රික්කයේ, කුරුල්ලන්ගල ප‍්‍රාථමික සිතුවම් වර්ගීකරණය’ ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලය 2016, ආධුනික දෙවන පුරාවිද්‍යා පර්යේෂණ සංමේලනය.
  • Preliminary Study on Rock Paintings at Kurullangala, රුහුණු විශ්වවිද්‍යාලය 2016 ආධුනික පුරාවිද්‍යා පර්යේෂණ පත‍්‍රිකා සංමේලනය.

[මෙම ලේඛනයේ දැක්වෙන ප්‍රධාන ඡායාරූපය අශාන් ගීගනගේ මහතාගේ පේස්බුක් ගිණුමෙන් ලබාගන්නා ලද්දක් බව කාරුණිකව සලකන්න.]   

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2020.01.02 වැනි දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here