පොළොන්නරුව නගරයේ අභ්‍යන්තර ප‍්‍රදේශයේ (ඇතුළු නගරය) ජල කළමනාකරණය

ඩී.එම්. සුදර්ශන දිසානායක

පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.

සුදර්ශන දිසානායක

මානව සංහතියේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යය වු සාධක අතුරින් ජලයට ලැබනුයේ ප‍්‍රධානම ස්ථානයකි. මානව සංහතියට පමණක් නොව සමස්ත ජෛව පද්ධතියේ ම පැවැත්ම රඳා පැවත ඇත්තේ ජල සම්පත කේන්ද්‍ර කරගෙන වේ. මානව පරිණාමයත් සමඟ කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ මිනිසා මෙම ජල සම්පතෙහි අගය නිසිලෙස වටහා ගන්නට සමත් වූයේ ය. එතැන් සිට ඔහු මෙම ජල සම්පත කළමනාකරණය කිරීමෙහි ශිල්පිය ක‍්‍රම අත්හදා බලන්නට පටන් ගත්තේ ය. ඒ සමඟම ඒ හා බැඳි සංස්කෘතීන් ද බිහි වන්නට විය. අපගේ කෘෂි හා වාරි සංස්කෘතිය මෙයට කදිම උදාහරණයකි. අතීත රජවරු ඉදිකළ මහ වැව්අමුණු එදා පැවති දියුණු වාරි සංස්කෘතියේ අභිමානය ලොවට කියන්නා වු නිහඬ සාක්ෂි වෙයි. අහසින් වැටෙන වැසි බිඳත් පොළොවෙන් උනන දිය බිඳත් නිකරුනේ මුහුදට ගලා යා නොදී එක්රැස්කර මෙම සරුබිම් අස් වැද්දීමට ඉවහල් කර ගැනීමේ සියුම් ශිල්පිය ක‍්‍රම එදා හෙළයා සතු විය.

වංසකතාවල සඳහන් වන අන්දමට පුරාණ නගරයකට අවශ්‍යය සියලු අංගයන්ගෙන් යුක්ත වූ පොළොන්නරු පැරණී නගරය පරාක‍්‍රම සමුද්‍ර බටහිර සීමාව කරගෙන උතුරු දකුණු අක්ෂයක පිහිටුවා ඇත. මෙය ඇතුළුනගරය හා පිට නගරය යනුවෙන් ප‍්‍රාකාරයෙන් වට වූ කොටස් දෙකකින් ද ඒ වටා වු උද්‍යාන සමූහයකින් ද යුක්ත විය. ඇතුළු නගර ප‍්‍රකාරයට බටහිරින් පිහිටි පරාක‍්‍රම සමුද්‍රය සීමාන්ත කොට ඇති පෙදෙස වන දීපුය්යාන (ද්වීප උද්‍යානය) යන කොටස නිශ්ශංකමල්ල රජු විසින් තම මාළිගා පෙදෙස වශයෙන් පිළියෙල කොට ගැණින. පිට නගරයෙන් උතුරු පෙදෙසෙහි වූ උද්‍යාන පෙදෙස් බෞද්ධ විහාර ආරාම තැනීම සඳහා විශේෂයෙන් වෙන්කර ගත් පෙදෙසක් විය. පසු කාලවල දී හින්දු දේවාල ද මෙම කොටසෙහි සුලබ ව පිහිටුවිණි. නගරයෙන් නැගෙනහිර වූ වනාශ‍්‍රීත පෙදෙස ද විහාරාරාම සඳහා වෙන් වූවක් විය හැකි ය. පැරණී නගරයෙන් දකුණු පෙදෙසෙහි ජනාවාස, කුඹුරු ආදිය මෙන්ම පොත්ගුල් විහාරය වැනි විහාර ආරාමය සඳහා යොදාගෙන තිබු බවට අද දක්නට ලැබෙන නිදර්ශන වලින් පෙනෙයි. මෙම අධ්‍යනයේ දී අධ්‍යයන පහසුව සඳහා පොළොන්නරුව පැරණි නගරය ප‍්‍රධාන කොටස් කිහිපයක් යටතේ බෙදා දැක්විය හැකි ය.

  • ඇතුළු නගර පෙදෙස
  • නිශ්ශංකමල්ල මාළිගා සංකීර්ණය (ද්වීප උද්‍යානය)
  • නගරයේ උතුරු කොටස
  • නගරයෙන් දකුණු කොටස

මෙම මාතෘකාවේ දී ප‍්‍රධාන වශයෙන් සාකච්ඡාවට බදුන් කරනු ලබන්නේ පොළොන්නරුව ඇතුළු නගරය සහ නිශ්ශංකමල්ල මාළිගා සංකීර්ණය (ද්වීප උද්‍යානය) ආශ‍්‍රය කරගෙන ඒ සඳහා පැරණි රජවරු ජලය උපයෝගි කරගත්තේ කෙසේ ද, එම ජලය උපයෝගි කර ගැනීමේ තාක්ෂණය කුමක්ද? යන්නන් විමසා බැලීම ය. ඇතුළු නගරයේ නන්දන උයන පරාක‍්‍රමබාහු රජතුමා ඇතුළු නුවර රජමැදුර අසල නන්දන නම් උද්‍යානයක් කරවු බව චූලවංශයේ සඳහන් වෙයි (චුලවංසය, ගුණපාල වීරසේකර සංස්. 525 පිටුව). නොයෙකුත් තුරු ලතා වන්ගෙන් ද වතුර මල් සහිත පොකුණු වලින් ද උයන අලංකාර වූ බව චූලවංසය සඳහන් කරයි.

රජතුමා මාලිගාව අසල විසිතුරු උයනක් කරවා ඊට නන්දන උයන යැයි නම් තැබීය. කොළ වලින් වැළඳ ගන්නා ලද වෘක්ෂ ඇති සල්, සපු, නා, පනා, අඹ, දඹ, පළොල්, කොලොම්, මහුළු පොල්, කෙළිඳ, රත්කරව්, දෑ සමන්, මලිගිය, යොහොඹු ආදි නානා, විවිධ වෘක්ෂලතා ඇති ඒ උයන දෙවියන්ගේ නන්දන උයන වැනි විය. එහි තන්හි තන්හි විසිතුරු පොකුණුය. ජල යන්ත‍්‍රමගින් ජලය ඇතිවතුර මල් නිසා උයන සැමදා වැසි ඇති තැනක් වැනි විය. ඇත් දළින් ශෝභමාන ධාරා මණ්ඩපය මේ සියල්ල අතරින් ඉතා විසිතුරු එක විය’.

මේ උයනෙහි හඳුන් ටැඹින් විසිතුරු විමනක් ද අටපට්ටම් මණ්ඩපයක් ද නන්ද්‍යාවෘතයක් බදු මණ්ඩපයක් හා අනන්ත නා දරන වැල බදු මණ්ඩපයක් ද කරවන ලදි. මේ උයනෙහි විසිතුරු ගල් පොකුණක්ද රජතුමාගේ සිත වෙසෙසින් සතුටු කරන මඟුල් පොකුණක්ද ‘පූර්ණා’ නම් තවත් පොකුණක් හා ‘නන්දානම්’ පොකුණක් ද විය. ‘වසන්ත’ නම් ලෙනක් ද විය (මහාවංශය, ගුණපාල වීරසේකර සංස්. 252 පිටුව).

පරාක‍්‍රමබාහු රජු ඉදිකර වූ මෙම උයනේ සියලු අංගෝපාංග එපරිද්දෙන්ම දැන් විද්‍යමාන නොවෙයි. නමුත් වර්තමානයේ අප සිදු කළ පර්යේෂණයට අනුව පෙනී ගිය ප‍්‍රධානතම කරුණක් වූයේ මෙම නන්දන උයනේ ජල කළමනාකරණය ඉතාමත් ඉහළ මට්ටමක පැවති බව ය. ඒ බව සහේතුකව කරුණු ඉදිරිපත් කිරීමේ දී උයනට ජලය ලබාගත් ආකාරය විශේෂ වේ. මැටි නළ මාර්ගයෙන් උයනට ජලය ලබාගෙන ඇත. උයනේ අතිරික්ත ජලය පිටකිරීමට විශේෂිත වූ උපක‍්‍රමයක් යොදා ඇත. උයන තුළ ඇති අතිරික්ත ජලය මැටි නළ මාර්ග තුළින් රැගෙන විත් එම ජලය සුදුසු ස්ථානවල ඇති ජල ටැංකි තුළින් ජලය පිට කරයි. එම ජල ටැංකි ද ඇතුලු නගරයේ සුන්දරත්වයට හා ආරක්ෂාවට හානියක් නොවන ලෙසට ඉදිකර ඇත.

ශීලා පොක්ඛරණී හෙවත් කුමාර පොකුණ

වර්තමානය වන විට මහාවංසයේ සඳහන් සියලුම පොකුණු හා අනෙකුත් අංගෝපාංග දැක ගත නොහැකි ය. එහෙත් සඳහන් කළ පොකුණුවලින් එකක් වන ශිලා පොක්කරණි නම් වු ශෛලමය පොකුණු පැරණි නගර ප‍්‍රාකාරයට පහලින් ඇති භූමි භාගයේ දී වර්තමානයේ දී දැකගත හැකි ය. එය කුමාර පොකුණ නමින් හැඳින් ෙව්. අතීත ජනතාවගේ ජල කලමනාකරණයේ අග‍්‍ර ඵලයක් ලෙස මෙම කුමාර පොකුණ හඳුන්වා දිය හැකි ය.

රාජ වෛශ්‍ය භූජංග මණ්ඩපය පසු කරමින් නැගෙනහිර දෙසට ගමන් කිරීමෙන් දක්නට ලැබෙන්නේ තැනිතලා භූමියකි. මෙහි කෙළවරක විශාල ගොඩනැඟිල්ලක අත්තිවාරමක් දක්නට ලැබෙයි. එය පැරණි නන්දන උයනේ තිබු මණ්ඩපයක පදනම විය හැකි ය. එම ස්ථානයෙන් ටික දුරක් ගමන් කළ විට පහත් බිමට බසින පඩි පෙළකි. මෙම පඩිපෙළ බසිනවාත් සමඟම දක්නට ලැබෙන්නේ කුමාර පොකුණයි. අඩි 44χ38 ප‍්‍රමාණයෙන් යුත් ආයත චතුරස‍්‍රාකාර පොකුණේ පතුලට යන විට දිග පළල කුඩා වන පරිදි ගලින් බඳින ලද බැමි පේළි දෙකකි (රත්නපාල 2000:38). පොකුණේ ජලය පිරි ඇති විට එම බැමි මත සිට වුව ද ස්නානය කළ හැකි ය. ඇතුළත කුඩා වන ලෙස පොකුණේ බැමි බැඳ ඇති නිසා එහි පතුල අඩි 31 අගල් 6 ක් හා අඩි 27 අගල් 3ක් වේ (රත්නපාල 2000:38). පොකුණට බසින පඩිපෙළ දෙපස කැඞී ගිය සිංහ රූ දෙකක් වෙයි. පොකුණට ජලය සපයා ඇත්තේ පොළොව යටින් යෙදු මැටි නල මාර්ග මගිනි. ජලය සැපයීමේ දී ප‍්‍රධාන ජල මූලාශ‍්‍රය වී ඇත්තේ පරාක‍්‍රම සමුද්‍රයයි. මැටි නළ තුළින් පැමිණි ජලය පොකුණට ගලා ගියේ මකර රූ කෙටු ගල් පිලි දෙකක් ඔස්සේ, පීල්ලේ කෙළවර මෙම අංලකාර මකර රූ නිර්මාණය කර ඇත. මකරාගේ මුඛය තුළින් ජලය පිටවන අන්දමට පොකුණට ජලය ගලා ආවේ ය. මෙම ජලය ගලා ආ නළ නගරයේ දිය අගලට හෝ පරාක‍්‍රම සමුද්‍රයට සම්බන්ධ වූ බව සිතිය හැකි ය. පොකුණේ ජලය බැහැර කිරීමට පොකුණේ තැනින් තැන හතරැස් කවුළු තනා තිබේ. වර්තමාන ඉංජිනේරුවන් මවිතයට පත් කරමින් අතීත මිනිසුන් මෙම නිර්මාණයන් සිදුකර ඇති බව පැහැදිලි වෙයි. මීට අමතරව මෙම කුමාර පොකුණ අසලම ස්නානය සඳහා පැමිණි අයට ඇඳුම් මාරු කිරීමට ස්ථානයක් නිර්මාණය කර ඇත. එම ගොඩනැගිල්ලේ ද අලංකාර කැටයම් සහිත අත්තිවාරමකින් සහ කොරවක් ගල සහිත සෝපාන පෙලකින් සමන්විත වෙයි.

වෛජයන්ති ප‍්‍රාසාදය මහා පරාක‍්‍රමබාහු රජතුමාගේ මාළිගාව වශයෙන් සඳහන් වන වෛජයන්ත ප‍්‍රාසාදය ඇතුළු පුරයේ දකුණු දෙසට වන්නට ඇති ගඩොළු නිර්මාණයකි. එකල මෙය මහල් සතකින් සහ කාමර රාශියකින් යුත් සුවිසල් ගොඩනැගිල්ලක් බව වංශ කතාවන්හි සඳහන් වෙයි. මහාවංශයේ එය මෙසේ සඳහන් වෙයි.

‘…රජතුමා වෛජයන්ත නම් වූ සත්මහල් මහා ප‍්‍රාසාදයක් කරවීය. එහි කාමර දහසකි. විසිතුරු කැටයමින් යුත් දහස් ගණන් කුළුණුවලින්ද මාලාකර්ම ලතාකර්මයෙන් විසිතුරු වූ දොර ජනෙල් වලින්ද සියගණන් වූ කූටාගාර වලින්ද විසිතුරු වූ ප‍්‍රාසාදයෙහි ගබඩා වල විසිතුරු සයනයක් රන්මුවා දළකඩ මුවා ඇතිරියෙන් ශෝභාවන් විය’. (මව. 524, 524 පිටු)

සුඛෝපභෝගි ජීවිතයකට අවශ්‍යය මූලික ලක්ෂණ මැදුර තුළ විය. යාබද වැසිකිළි, ස්තානාගාර නළ මගින් සැපයු ජලය යන මේ සියල්ල මැඳුර තුළ වු බව සිතන්නට සාධක නටඹුන් අතර වේ. බිත්ති වලට යෙදු සිමෙන්ති කපරාරුව ඇතැම් තැන්වල තවමත් ශේෂ වී තිබෙයි. මන්දිරය ඇතුළත කාමරයක ප‍්‍රතිමාවක් තබන ලදැයි සිතිය හැකි පීඨිකාවක් වෙයි. මෙම සුවිසල් මැදුරෙහි බිම ගල් අල්ලා සිමෙන්ති අතුරා තිබු බව පෙනෙයි. මෙසේ බලන කල පරාක‍්‍රමබාහු රජුගේ මෙම මාළිගාව උසස් ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිබිඹු කරන විශ්ෂිට නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි ය. මෙම වෛජයන්ති ප‍්‍රාසාදය සඳහා ජලය ලබා ගත්තේ කෙසේද යන්න නිශ්චිතව සඳහන් කිරීමට සාධක නොමැති නමුත් මේ සඳහා ද වර්ධිත ජල කළමනාකරණ ක‍්‍රමයක් භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි ය. ප‍්‍රාසාදය වටා ඇති ළිං තුළින් ජලය ලබා ගන්නට ඇතැයි සිතිය හැකි ය. එමෙන්ම සේවකයන් ලවා තම අවශ්‍යතා වලට ජලය අද්දවා ගන්නට ඇතැයි ද සිතිය හැක. නමුත් පොළොන්නරු ඇතුළු නගරයේ තව දුරටත් කැනීම් සිදුකිරීමට ඇති නිසා මේ සම්බන්ධව නිශ්චිත අදහසක් ප‍්‍රකාශ කිරීමට අපහසු වෙයි. රාජා වෛශ්‍යා භූජංග මණ්ඩපය (සභාශාලාව) රජ මැදුරට නැගෙනහිර දෙසින් උස් ශෛලමය පදනමක් මත ශේෂ වූ ගල් කණු සහිතව පවත්නා අංලකාර ගොඩනැඟිල්ල රාජ වෛශ්‍යා භූජංග මණ්ඩපය වේ. ගල් කණු සහිත මාලක තුනකින් යුත් ශාලාව පරාක‍්‍රමබාහු රජුගේ සභා ශාලාව ලෙස හැඳින්වෙයි. හස්ති, සිංහ සහ අශ්ව උන්නත රූපවලින් සමලංකෘත වූ මෙම මාලක ව්‍යුහය උතුරු දෙසට මුහුණලා ඇති අලංකාර ලෙස කැටයම් කරන ලද සඳකඩ පහණ, කොරවක්ගල් සහ මුරගලින් යුත් පියගැටපෙළින් යුක්ත වෙයි. මෙම පරාක‍්‍රමබාහු රජුගේ සභා ශාලාවට ද ජලය ගෙනගිය ආකාරයෙන් නිශ්චිතව දැකගත නොහැකි ය. නමුත් සභා ශාලාව අවට දක්නට ලැබෙන ළිං වලින් හෝ පරාක‍්‍රම සමුද්‍රය මඟින් මැටිනළ හරහා ජලය ගෙන එන්නට අතැයි සිතිය හැකි ය. මෙම රාජසභා මණ්ඩපයේ සනීපාරක්ෂක කටයුතු සඳහා ජලය උපයෝගි කරගත් ආකාරය පිළිබඳව සඳහන් කිරීමේ දී රාජසභා මණ්ඩපයේ වැසිකිළි එහි දකුණු පැත්තට වන්නට ඉදිකර ඇති බව දක්නට ලැබිණි. ඊට සම්බන්ධව කවාකාර වැසිකිළි වලවල් දෙකක් ගොඩනැගිල්ලට නැගෙනහිර දෙසින් දක්නට ලැබේ. මැටි වළලූ යොදා එහි බිත්ති සවිමත් කර ඇති ආකාරය වර්තමානයේ දී දක්නට ලැබේ. ගොඩනැගිල්ලෙන් පිටවන වැසිකිළි අපද්‍රව්‍යය, ජලය ක‍්‍රමානූකූල ව නල මාර්ග ඔස්සේ වැසිකිළි වලවල් වෙත යාමට සලස්වා ඇත. මේ අයුරින් රාජ සභා මණ්ඩපය ජලය ඇතුළු වීමට සහ පිටවීමට දියුණු තාක්ෂණයක් උපයෝගි කර ගන්නට ඇතැයි සිතිය හැකි ය.

මහා පරාක‍්‍රමබාහු රජුගේ බිසෝවරු දෙදෙනෙකු වූ ලීලාවති සහ පද්මාවතී යන බිසෝවරුනට වෛජයන්ත ප‍්‍රාසාදයට බටහිරින් මාළිගා දෙකක් සාදා දී තිබෙයි. මෙම මාළිගා දෙක එකම සැලැස්මකට අනුව සකස් කර තිබෙයි. ප‍්‍රධාන මාළිගයේ සිට මෙම බිසෝ මාළිගා දෙකට ඇතුළුවීම එතරම් පහසු වී නැත. දොරටු 8ක් හරහා ඕනෑම අයෙකු යා යුතු වීම ඊට උදාහරණයකි. මෙය පිළිබඳ විශේෂ වූ කරුණ වන්නේ අනෙක් ගොඩනැගිලි වලට හා සමානවම ජලය ලබාගන්නට ඇති බව සිතිය හැකි අතර, නමුත් මෙහි මුලුතැන් ගෙයි වැඩි ජලය පිට කිරීමට යොදාගෙන ඇති තාක්ෂණය විශේෂ වෙයි. මුලුතැන් ගෙය හරහා ගල් නළ මාර්ග ඔස්සේ මුලුතැන් ගෙයට පිටුපස ගඩොලින් තනා ඇති වලකට එම අපවිත‍්‍ර ජලය බැස යෑමට සලස්වා ඇත. මොවුන් ඇතුළු නගරයට ජලය ලබා ගැනීමේ දී උසස් තාක්ෂණයක් උපයෝගි කරගත්තා සේම පිට කිරීමට ද උසස් තාක්ෂණයක් යොදා ගත් බව මින් පැහැදිලි වෙයි. දීප උයන ආශ‍්‍රිත ජල කළමනාකරණය පැරණී පොළොන්නරුව නගරය උද්‍යාන සහිත ඉතා අලංකාර සහ ආරක්ෂා සහිත නගරයක් ලෙස මහාවංසය ආදී ඓතිහාසික මූලාශ‍්‍රයන්වල විස්තර වෙයි. ඒ අනුව මහා පරාක‍්‍රමබාහු රජු විසින් දීප උයන, නන්දන උයන, මහා මේඝවන උයන හා ලක්ෂණ උයන යන නම් වලින් උයන් කිහිපයක් කරවා ඇත.

පරාක්‍රම සමුද්‍රය (මෙම ඡායාරූපය https://lanka.com වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලද බව කාරුණික ව සලකන්න.)

පැරණී නගරයේ පිහිටි දිවයින් උයන (දීප උයන) නමින් හඳුන්වා ඇති රාජකීය උද්‍යානයේ ජල කළමනාකරණය ද විශේෂ වේ. ඇතුළු නුවරත් පරාක‍්‍රම සමුද්‍රයන් අතර, වර්තමාන තානායම අසල පිහිටි උස් වූ භූමිභාගය මේ නමින් හැඳින්වෙයි. මහා පරාක‍්‍රම බාහු රජු සිය විශාලතම ජලාශය වූ පරාක‍්‍රම සමුද්‍රය ඉදි කිරීමේ දී මෙම අලංකාර භූමිය රාජකීය උද්‍යාන සඳහා තෝරාගන්නට ඇත. උයන දෙපසින්ම ජලාශ ඇති බැවින් මෙය දිවයිනක් ලෙස පිහිටි නිසා ඊට දිවයින් හෙවත් දීප උයන යන නම ලැබිණි. ඓතිහාසික මූලාශ‍්‍රයන් වල මෙම උයන දිය අඟලකින් වට වී තිබෙන ආකාරයෙන් දිස් වූ බව සඳහන් වෙයි. උයනකට අවශ්‍යය සියලූ අංගෝපාංග ඇතුළු රාජකීය ගොඩනැගිලි සමූහයක් මෙහි පිහිටා තිබුණි. මෙහි පැවති විවිධ උද්‍යානාංග වලින් පැරණී ලක්දිව විවිධ විෂයයන් හා භෞතික අංග රාශියක් නිරූපනය වෙයි. 1 වන පරාක‍්‍රමබාහු රජුගෙන් පසුව මෙම ‘දීපුය්යාන’ යට දැඩි ලෙස ඇලුම් කළ නිශ්ශංකමල්ල රජු සිය මාළිගය හා මන්ත‍්‍රණ සභාව ඇතුළු රාජකීය ගොඩනැගිලි සියල්ල මෙහි ඉදි කළේ ය. මෙතැන් සිට දීප උයන සඳහා උපයෝගි කරගත් ජල කළමනාකරණය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී මෙහි වර්තමානයේ දී දැකිය හැකි ස්නානාගාරය පොකුණු හා ජලාශ විශේෂයෙන් සඳහන් කල යුතු අංග වෙයි. උයන වටා පැවති ජලාශ හා පොකුණු මගින් වර්ෂය පුරාම උයන සිසිල්ව තබා දෙනු ලැබී ය.

මෙම දීප උයනට පරාක‍්‍රම සමුද්‍රයෙන් ජලය ලබාගෙන ඇත. මෙසේ පරාක‍්‍රම සමුද්‍රය මගින් දීප උයනට ජලය ලබා ගැනීමේ දී යොදාගත් ජල කළමනාකරණ ක‍්‍රියාවලිය විශේෂ වේ. අතීතයේ පරාක‍්‍රම සමුද්‍රයේ ප‍්‍රධාන සොරොව් 8කින් ජලය පිට කළ ද ඇතුළු නගරයට ජලය ලබාගෙන ඇත්තේ එයින් සොරොව් 2ක් උපයෝගි කරගෙනය. නන්දන උයනට හා දීප උයනට ජලය ලබාගැනීමේ දී බිසෝ කොටු මඟින් මනා ලෙස ජල පාලනයක් සිදුකර ඇත. මෙම බිසෝ කොටු මඟින් ජල කළමනාකරණය සිදුකිරීම විශේෂ ලෙස සිදුකර ඇත. එනම් බොහෝ වැව්වල එක් බිසෝ කොටුවක් මගින් පමණක් ජලය පිටකළ ද පරාක‍්‍රම සමුද්‍රයේ මෙයට විධිමත් සහ ක‍්‍රමානූකූලව සිදු කර ඇත. ජලයේ වේගය පාලනය කිරීමට මූලිකව බිසෝ කොටුවෙන් සිදුරු තුනකින් ජලය පිටකර නැවත එම බිසෝ කොටුවේම අනෙක් පසෙන් ද සිදුරු දෙකකින් ජලය පිට කිරීමට සලස්වා ඇත. මේ මඟින් ජලයේ වේගය පාලනය කර ඇත. මෙම ක‍්‍රමවේදය ජලය සිසිල් කිරීමේ ක‍්‍රම වේදයක් ලෙස ද සිතිය හැකි ය. දීප උයනේ ඇති පොකුණට ජලය ලබාගෙන ඇති ආකාරය ශ‍්‍රි ලාංකේය මිනිසාගේ තාක්ෂණයේ සහ බුද්ධියේ අග‍්‍ර ඵලයක් ලෙස හඳුන්වා දිය හැකි ය. මූලික වශයෙන් මෙයට ජලය ලබා ගෙන ඇත්තේ පරාක‍්‍රම සමුද්‍රයෙනි. නමුත් ජලය ලබාගත් ආකාරය විශේෂ වේ. දීප උයනට ඉහළින් දක්නට ලැබෙන ලෙස මොසෝලීය ගොඩනැගිල්ල හෝ ධවලාගාරය ලෙස හඳුන්වා ඇති ගොඩනැගිල්ල එහි ජල ටැංකියක් විය යුතු යැයි සිතිය හැක. මීට මූලික ලෙස ඉදිරිපත් කරනු ලබන තර්කය වන්නේ මෙම ගොඩනැගිල්ලේ දොර ජනෙල් උලුවහු යන කිසිවක් නොතිබීමත් ඝනකමින් යුක්ත බදාම තට්ටුවකින් යුක්ත වීමත් මෙම ගොඩනැඟිල්ලේ සිට දීප උයනේ ඇති පොකුණට යොදා ඇති ටෙරාකොටා නළ මාර්ගයක් නිසා මෙය ජල ටැංකියක් විය යුතු ය. මෙසේ සඳහන් කිරීමට තවත් එක් හේතුවක් වන්නේ පරාක‍්‍රම සමුද්‍රය ආසන්නයේම පිහිටා තිබීමත්ය. දීප උයනේ දක්නට ලැබෙන පොකුණට ජලය ලබා ගන්නට ඇත්තේ පරාක‍්‍රම සමුද්‍රයෙන් පිටවන ජලය තුළින් මෙම ටැංකිය පුරවා ඒ මගින් පොකුණට ජලය ලබා දෙන්නට ඇත. පොකුණට ජලය ලබාගැනීමට මෙවැනි ජල ටැංකියක් ඉදිකරණු ලබන්නට ඇත්තේ දිවා කාලයේ වැවේ ජලය අධික ලෙස රත් වීම නිසා ස්නානයේ දී සිදු වන අපහසුතාව මඟහරවා ගැනීමට ජල ටැංකියකට ජලය පුරවා ඒ මඟින් පොකුණට ජලය ලබා දෙන්නට ඇත. මෙම ජලය කළමනාකරණයේ විශිෂ්ටත්වය විෂධ කිරීමට තවත් කරුණු කිහිපයක් ඉදිරිපත් කල හැකි ය. එනම් ජල ටැංකි හරහා ටෙරාකොටා නළ මාර්ගයක් ඉදිකර කුඩා තටාකයකට ජලය දී ඉන් අනතුරුව තවත් කුඩා සිදුරකින් ජලය පෙරා පසුව පිහිල්ලකින් ජලය ගලාගොස් පොකුණට ජලය ලබාගෙන ඇත.

ක‍්‍රමානූකූලව ක‍්‍රමයෙන් ජලය ගලා ඒමට සලස්වා ඇත්තේ අධික උෂ්ණ ජලය සිසිල් කිරීමට යොදා ගත් උපක‍්‍රමයක් ලෙස සිතිය හැකි ය. මෙමගින් ද අතීත ශ‍්‍රී ලාංකීකයන්ගේ ජල කලමනාකරණයේ විශේෂත්වය මුලු ලෝකයටම විදහාපානු ලැබේ. සමස්තයක් ලෙස ගත් කළ මෙම ගොඩනැඟිලි ආගමික පරිසරයක පිහිටි බැවින් ඒවා සංඝයා වහන්සේගේ ආරාම බව පැහැදිලි ය. විශාල පිරිසක ගේ සනීපාරක්ෂාව සහ යහපත් සෞඛ්‍යය ආරක්ෂා වන පරිදි අපද්‍රව්‍යය බැහැර කිරීමේ උපක‍්‍රම යෙදීමට සිදු වේ. ඒ සඳහා යෝග්‍යය දියුණු ශිල්ප ක‍්‍රම භාවිත කිරීමට පොළොන්නරුව නිර්මාණ ශිල්පීහු විධිවිධාන යෙදුහ. විහාරස්ථාන වලත් රජ මැදුරුවලත් නිවාස තුළම තනා ඇති වැසිකිළි කාමර වේ. බැහැරින් පිහිටි ආවාට වලට අපද්‍රව්‍යය ගලා ගියේ මැටි නල මගිනි. ජලය ලබා ගැනීමට තැන තැන පොකුණු හා ළිං ඉදිකර තිබෙයි. බොහෝ පොකුණුවලට ජලය ගලා ආවේ නළ මගිනි. පොකුණේ ජලය බැහැර කිරීමට පිටාර නළ ද විය. මේවා පරිසරයට බෙහෙවින් හිතකාමී ගෘහ නිර්මාණ ලක්ෂණයයි. ඉහත දක්වා ඇති ආකාරයෙන් පොළොන්නරුව ඇතුළු නගරයේ ජල කළමනාකරණය කර ඇති අතර, මීට අමතරව කැනීම් නොකළ ප‍්‍රදේශයේ ද ජල කළමනාකරණයට සම්බන්ධ අවශේෂ ගොඩනැගිලි තිබිය හැකි ය. අනාගතයේ තවදුරටත් අතීත ජල කළමනාකරණය පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීමේ හැකියාවක් ඇත.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලිපි

  • රත්නපාල, ඊ. ඇම්. (2000), අමරණීය පොළොන්නරුව, සරස්වතී ප‍්‍රකාශන, දිවුලපිටිය.
  • මහවැලි සංවර්ධන අමාත්‍යාංශය. (1984), මහවැලි වංශය Ι කාණ්ඩය, මහවැලි සංවර්ධන අමාත්‍යාංශය , කොළඹ
  • මහවැලි සංවර්ධන අමාත්‍යාංශය. (1985), මහවැලි වංශය ΙΙ කාණ්ඩය, මහවැලි සංවර්ධන අමාත්‍යාංශය , කොළඹ
  • ලගමුව, ඒ (1999), මධ්‍ය කාලීන රාජධානිය පොළොන්නරුව, සරසවිය ප‍්‍රකාශකයෝ, නුගේගොඩ.
  • සිරිවීර, ඉන්ද්‍රකීර්ති (2004), ශ‍්‍රී ලාංකේය ඉතිහාසය තරංඟ, ආරිය ප‍්‍රකාශකයෝ, වරකාපොල
  • සී.ඩබ්ලිව්. නිකොලස් සහ ඇස්. පරණවිතාන (ව.නැ), සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක්, පරි. ඇස්. බී. හෙට්ටිආරච්චි, සමන් ප‍්‍රකාශකයෝ, නුගේගොඩ
  • ඒ. සෙනෙවිරත්න, (2001), පුරාණ සිංහල වාරි සංස්කෘතිය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • ආර්. ගුණවර්ධන, (2005), මහවැලි නිම්නය ආශ‍්‍රිත පුරාණ වාරි තාක්ෂණය,ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • පී. එල්. පේ‍්‍රමතිලක, (1991), ආලාහන පිරිවෙන් ව්‍යාපෘතිය: පොළොන්නරුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, කොළඹ, ජුලි-දෙසැම්බර්.
  • බ්‍රෝහියර් ආර්.එල්. (1999), බ්‍රොහියර් දුටු ලංකාව, පරි. ඒ. හේවාවසම්, සූරිය ප‍්‍රකාශකයෝ,කොළඹ
  • මහාවංසය, (1994), රොබට් බටුවන් තුඩාව, සංස්කරණය කොළඹ.
  • හේමචන්ද්‍ර රායි (1956 – 1958), ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සිංහල පරිවර්තනය,
  • එස්. පරණවිතාන, (1972), පුරාවිදු පර්යේෂණ, විසිදුනු ප‍්‍රකාශන, බොරලැස්ගමුව.
  • ඒ. සෙනවිරත්න, (1998) පොළොවන්නරුව මධ්‍යකාලීන ලක්දිව අගනගරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ
  • විජේසේකර නන්දදේව, (1990), පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • ඞී ජී. කුමාරතුංග, (2002), ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය, ආරම්භයේ සිට අවසානය දක්වා, නිපුණ එන්ටප‍්‍රයිසස්, ගංගොඩවිල.

පෞද්ගලික සන්නිවේදන

  • 2010. 07. 27 – ප‍්‍රියන්ත මහතා – පොළොන්නරුව
--------------------------------------------------------------------------------------------------------

මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2010 වසරේ දී පළමු වරට ප‍්‍රකාශයට පත් විය.

--------------------------------------------------------------------------------------------------------

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here