සැරිසර සමරු - එන්.එච්. සමරසිංහ

එන්.එච්. සමරසිංහ මහතා 1976 වසරේ දී විද්‍යෝදය (දැන් ශ්‍රී ජයවර්ධන පුර) විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් ලබා එයින් පසු රජයේ ආයතන කිහිපයක විවිධ තනතුරු වල සේවය කොට 2010 දී විශ්‍රාම ලබා ඇති අතර ලංකාවේ පෞරාණික ස්ථාන හා ලෝක උරුමයන් පිළිබඳව විස්තරාත්මකව සොයා බැලීමට විශේෂ උනන්දුවක් දක්වන අයෙකි. විශ්‍රාම ගැනීමෙන් පසු ලංකාවේ බොහෝ පෙදෙස්වල හා විදේශයන් කීපයක සැරිසරා දැකබලා ගත් දේ අන් අය සමඟ බෙදා ගැනීමට “සැරිසර සමරු” නමින් බ්ලොග් අඩවියක් ද පවත්වා ගෙන යයි.

ශ්‍රී ලංකා මානවයා කාලය හරහා අවකාශය තුළ සිදුකරන ලද ගමනේ දී මුහුණ දුන් එ මෙන් ම පසු කරන ලද සංසිද්ධීන් හා අවස්ථා පිළිබඳ ව සුවහසක් ජනයා ඥානනය කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන archaeology.lk වෙබ් අඩවිය ඔස්සේ එම සැරිසර සමරු සටහන් වැඩි පිරිසක් ‌වෙත යොමු කිරීමට එතුමා අප හා එක් වී ඇත.

මෙහි පලවන විිස්තර, අදහස් හා ඡායාරූප (උපුටා ගැනීම සඳහන් කර නොමැති නම්) එන්.එච්. සමරසිංහ මහතාගේ වේ.

පහත දක්වා ඇත්තේ එන්.එච්. සමරසිංහ මහතා ඔහුගේ සැරිසර සමරු බ්ලොග් අඩවියට යොදා ඇති ‌කෙටි හැඳින්විමයි.

මට ලංකාවේ බොහෝ තැන්වලට හා වෙනත් රටවල තැන් කීපයකට යන්නට වාසනාව ලැබිණ. ඒ ගිය තැන් බොහොමයක දී ඒ තැන්වල ඇති වැදගත් කම කුමක්දැයි සෙවීමි. සිත් ගත් තැන්වලට සිතින් හෝ නැවත යන්නට, හැකි සැම විටම පින්තුර ගතිමි. විවේක ලද විටක ඒ පිලිබඳ මතකය හාරා අවුස්සන්නට පෙළඹුනෙමි. මේ, එහි ප්‍රතිපලය ඔබ හා බෙදාගන්නට කරන ලද උත්සාහයකි. බොහෝ විට ඔබත් මේ තැන් වලට ගොස් ඇති. මෙය ඔබේ මතකය අලුත් කර ගන්නට හෝ නොදුටු යමක් වී නම් ඊළඟ ගමනේ දී එය දැකගන්නට අදහසක් ඇති වූයේ නම් මගේ උත්සාහය සාර්ථකයි. ලංකාවේ අසිරිය මේ ලිපිවලින් දැක ඔබ තුළ ලංකාව කෙරෙහි අභිමානයක් ඇති වූයේ නම් මගේ උත්සාහය අතිශයින් සාර්ථකයි. (මේ ලිපිවල අඩුලුහුඬු කම් තිබෙන්නට පුලුවන. ඒ ගැන සමා වී ඔබේ අදහස දක්වන්න. මෙහි මා ඇතුළු කරන පින්තුරවල උපුටා ගැනීම පිළිබඳව විශේෂයෙන් සඳහන් කර නැත්නම් ඒවා මගේම ඒවා ය. කරුණාකර ඒවායේ කර්තෘ අයිතිය සුරකින්න.)

මේ පින්තුරවල දැක්වෙන්නේ ඒ ස්ථාන මා බැලීමට ගිය දිනයේ තිබු ආකාරයයි. මේ ස්ථාන ඔබ දකින විට සමහර විට මීට වඩා වෙනස්ව තිබෙන්නට පුළුවනි. කෞතුකාගාර ‌හෝ කලාගාර ආදියේ ප්‍රදර්ශන භාණ්ඩ ඔබ යනවිට ප්‍රදර්ශනයෙන් ඉවත්කොට තිබෙන්නටත් ඉඩ ඇත.

ප්‍රීතිමත් සංචාරයකට සුබ පැතුම්.

මම, එන්.එච්. සමරසිංහ

[td_block_11 category_id=”416″ td_ajax_preloading=”preload” ajax_pagination=”next_prev”]