35. බලංගොඩ මිනිසාගේ භූමදානය හා ශරීර ලක්‍ෂණ

බලංගොඩ මිනිසා පිළිබඳ මේ සටහන් අතර මෙයින් කතාකරන්නේ ඔහු මියගිය පසු භූමදානය කළ ආකාරය හා ඒ මිනිසාගේ ශරීරයේ හැඩලක්ෂණ ගැනයි.

බලංගොඩ මිනිසාගේ මෘතදේහ වැළලීම ගැන බෙල්ලන්බැඳිපැලැස්ස, කිතුල්ගල බෙලිලෙන, බටදොඹලෙන හා ෆා-හියන් ලෙන වගේ තැන්වලින් සාධක හමුවෙලා තියෙනවා. බලංගොඩ මිනිසාගේ ශරීරයේ හැඩ ගැන ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මැතිතුමා, මහාචාර්ය කේ.ඒ.ආර්. කෙනෙඩි මැතිතුමා හා ආචාර්ය ඩයනා හෝකී මැතිණිය ඇතුළු කීප දෙනෙක්ම විපරම් කරල තියෙනවා.

1956 – 1961 කාලේ බෙල්ලන්බැඳිපැලැස්සේ කළ කැනීම්වලින් භූමිදාන කරපු මිනිස්සු 20කට වැඩි ගණනකගේ සැකිලි හමුවෙලා තියෙනවා. පී.ඊ.පී. දැරණියගල මැතිතුමා ඒ සැකිලිවල තියෙන හැඩතල අනුව ඒ මිනිස්සු Homo sapiens balangodensis Deraniyagala කියල නම් කළා. අපර නම තමා ‘බලංගොඩ මානවයා’. පිළිගත් සම්මතයන්ට අනුව පසුව මේ නූතන මානවයා (Homo sapiens) විදිහට හඳුනා ගන්නවා.

බෙල්ලන්බැඳිපැලැස්සේ සැකිලි වැඩිහරිය අවුරුදු 23-25 වයසේ ගැණුපිරිමි දෙපිරිසටම අයිතියි. ළදරුවන් හා දරුවන්ගේ අස්ථිත් තියෙනවා. මේ මෘතදේහ ඒ තරම් ගැඹුරට වළලලා නැහැ. කිතුල්ගල බෙලිලෙන හා බටදොඹලෙනේ පේන විදිහට නොගැඹුරු වළක වළදාලා එතැන මුළුතැන්ගෙයි අපද්රව්යවලින් වහල. බටදොඹලෙන හා ෆා-හියන් ලෙනේ සාධක ද්වීතීය හා අසම්පූර්ණ භූමිදාන ලකුණු පෙන්නනවා. මළසිරුර මුළින් කොහේ හරි දාල මස් දියවෙලා ගියාට පස්සේ තෝරාගත් ඇටකටු කීපයක්, බොහෝවිට දිගු ඇටකටු විතරක් ගුහාවට ගෙනල්ල වළදාන එකටයි ද්විතීය සුසාන කියන්නේ. සම්පූර්ණ සැකිල්ලම නැති නිසා අසම්පූර්ණ සුසාන කියල කියනවා. තෙත් කලාපයේ ලෙන් තුළින් සම්පූර්ණ සැකිලි හමුවෙන්නේ කලාතුරකින්. සීගිරිය පොතාන ගුහාවෙන් මිනිසුන් දෙදෙනෙකුගේ හා ෆා-හියන් ලෙනින් 2012 දි සම්පූර්ණ එක් සැකිල්ලකුත් හම්බ වෙලා.

නූතන මානවයා ගැන ආසියාවේ පරණම සාධක අතර අපේ සාධක තියෙනවා. ෆා-හියන් ලෙනින් හමුවුණු හිස්කබල අදින් වසර වසර 31,000 කාලයට හා බටදොඹලෙනින් හමු වූ හකු ඇටය වසර 28,000ක් පැරණියි. බටදොඹලෙන නැවත වරක් අවුරුදු 16,500ක් හා කිතුල්ගල 12,500ක් පරණ සාධකත් බෙල්ලන්බැඳිපැලැස්සෙන් අදින් වසර 6,500 පැරණි කාලය අයිති සාධකත් ලැබෙනවා.

කැනීම්වලින් මේ දක්වා වෙන් වෙන් මිනිස්සු 100කට වැඩි පිරිසකගේ සැකිලි නැත්නම් කොටස් හමුවෙලා තියෙනවා. බෙල්ලන්බැඳිපැලැස්සෙන් මිනිසුන් 30ක්, කිතුල්ගල බෙලිලෙනින් 12ක් පමණ, බටදොඹලෙන 33ක් පමණ, ෆා-හියන් ලෙන 9ක් පමණ, සීගිරිය පොතාන සම්පූර්ණ සැකිලි 2ක් හා අත්තනගල්ල පොත්ගුල්ලෙන මිනිසුන් 5ක් පමණ හමුවෙලා ඇති සාධක උදාහරණ විදිහට ගන්න පුළුවන්. මේ සාධක අදින් වසර 37,000 ඉදල අදින් වසර 5,400 දක්වා කාලයට අයිතියි. වයස හෝ ස්ත්රීපුරුෂභාවය ගැන විශේෂයක් පේන්නේ නැහැ. බෙල්ලන්බැඳිපැලැස්සෙ සැකිලි අනුව ඒ කාලේ පිරිමින්ගේ සාමාන්ය උස සෙන්ටීමීටර් 174ක් විතර හා කාන්තාවන්ගේ සාමාන්ය උස සෙන්ටීමීටර් 166ක් විතර වෙනවා. උසේ හැටියට කොදු ඇට අසාමාන්ය ලෙස කෙටියි. බෙල්ලෙ අක්ෂ කොදු ඇටයත් කෙටියි. ඔලුකට්ට ඝණත්වයෙන් වැඩියි වගේම හිස්කබලේ ප්රමාණය එකිනෙකට වෙනස්. ඒ පිරිමියෙකුගේ මිලිලීටර් 1589.72ක් පමණත් කාන්තාවකගේ මිලිලීටර් 919.66ක් පමණත් වේ. පුළුල් වූ කපාලය පැතැලි ය. දිගටි හැඩයක් ගත් හිස්කබල, පසුපසට නෙරාගිය නළල සහිතයි. හිස පිටුපස නැම්ම පැහැදිළියි. හකු ඇට ඝණ හා පුළුල් වෙයි. ඇස් බැම සමහර විට බර ගතියක් පෙන්නනවා. නාස් පසුපසින් උන්නතාකාර ද මුළින් වලයාකාර ද වෙයි. සමහර වැඩුණු පිරිමින්ගේ නාස් සිදුරේ මුළ ඉදල උඩු තල්ලේ දත්වල මුළ දක්වා දුර සැලකිය යුතු මට්ටමින් වැඩියි. තල්ල විශාලය. පුළුල් හක්ක දැඩි බව පෙනේ. සාමාන්යයෙන් දත් විශාල අතර ඇඹරුම් දත් විශාලය. කකුලේ ඇට දැඩි වේ. පොදුවේ බලද්දි මේ ලක්ෂණ වැදි ලක්ෂණවලට සමාන අතර හෝමෝ ඉරෙක්ටස්ගේ ශරීර ලක්ෂණ ද යම් තරමකට බලංගොඩ මිනිසා තුළ ඇතැයි කියනවා.

බලංගොඩ මිනිසාගේ දත් සාමාන්යයෙන් විශාල වේ. තුන්වැනි චාර්වක දත ද දෙවැනි චාර්වක දත තරම්ම විශාල අතර වැද්දන්ගේ චාර්වක දතට වඩා කුඩාය. නමුත් පුරශ්චාර්වක දත් විශාල වේ. කෘන්තක දත් සිංහල මිනිසුන්ගේ ඒවාට වඩා කුඩාය. ප්රගන්ඩාස්ථිය වැදි ප්රගන්ඩාස්තියට වඩා දිග හා විශාල වේ. අර හා අන්වර අස්ථි වැද්දනට වඩා විශාලය. ඝණ ඌර්වස්ථියේ මස්පිඩු සඳහා කැපීපෙනෙන තැන් පවති. ජංඝාස්ථිය දිගු වගේම බර වේ. උකුළ වැදි උකුලට වඩා විශාල වන අතර ඔස්ට්රෙලියානු ආදිවාසින්ගේ උකුලට බොහෝ දුරට සමානය. පූර්ව කටී කශේරුකාව කුඩාය. අක්ෂ කශේරුවත් එහි දන්තාකාර ප්රසරයත් පුදුමාකාර ලෙස කෙටිය. කටී කශේරුකා විශාලය. බලංගොඩ මානවයාගේ බෙල්ල කෙටි බව පෙනේ. උරපතු ඇටය හා අත් වැද්දන්ට වඩා විශාලය. මහපට ඇඟිල්ලේ අග පුරුකේ ශක්තිය ඉතා වැඩිය. ලිංගික ද්විරූපතාව ඉහළය. පවතින හැඩ අනුව ඔස්ට්රොලොයිඞ් ලක්ෂණ පෙන්වයි.

දකුණු ආසියාවේ ප්රාගෛතිහාසික මිනිසුන් ගැන ඉහළ දැනුමක් තිබුණු ඇමරිකාවේ කෝනල් විශ්වවිද්යාලයේ මහාචාර්ය කෙනත් කෙනෙඩි මැතිතුමා බලංගොඩ මිනිසාගේ ශරීර ලක්ෂණ ගැන විශේෂ අවධානයක් යොමුකරල තියෙනවා. ඔහු බලංගොඩ මිනිසාගේ ලක්ෂණ ලංකාවේ මිනිසුන් තුළ විවිධ තරමින් ඇති බවත් වැද්දන් තුළ මේ ලක්ෂණ වැඩි බවත් පෙන්නලා තියෙනවා. බලංගොඩ මිනිසා හා සමහර ඉන්දිය ගෝත්රිකයින් අතර ලොකු සම්බන්ධතාවක් ඇතැයි කිවුවත් එය වැද්දන් සමඟ ඇති සබධතාව තරම් බලවත් නැත. නිසැකව වැද්දන් ජීවවිද්යාත්මක පරපුරක් පෙන්වන අතර බලංගොඩ මිනිසාගෙන් වැද්දන් පැවත එයි. අවුරුදු සියකට විතර ඉස්සර හෙන්රි පාකර් මැතිතුමා කිවුව විදිහට ඉස්සර මෙරට හිටපු යක්ෂයින්ගේ මුනුපුරන් වැද්දන් කියන එක මේ අනුව තහවුරු වෙනවා. ඒ වගේම බලංගොඩ මිනිසා දකුණු ආසියාවේ නූතන මිනිසා ගැන ඇති පරණම සාධක පෙන්නුම් කරනවා.

බලංගොඩ මානවයාගේ දත් ගැන ලියලයි ඩයනා හෝකී මැතිණිය තමන්ගේ දර්ශනසූරි උපාධිය ගත්තේ. Spolia Zeylanica ග්රන්ථාවලිය යටතේ The peopling of South Asia- evidence for affinities and micro-evolution of prehistoric population of India and Sri Lanka කියල 1998 දී මේ පොත කෞතුකාගාර දෙපාර්තමේන්තුව මඟින් පළකරල තියෙනවා. සිරාන් දැරණියගල මැතිතුමා මේ පොතේ වැදගත් කරුණු කීපයක් පෙළගස්වලා තියෙනවා. ඒ අනුව ‘අ. ශාරීරික ලක්ෂණ අතින් දකුණු ආසියාවේ නූතන මිනිසාගේ පැරණි ලක්ෂණ බලංගොඩ මානවයා පෙන්වනවා. ඔහුගේ දත්වලින් අග්නිදිග ආසියාවේ හා ගිණිකොණදිග යුරෝපයේ පොදු පෙළපත් තිබූ බව නිරූපණය වෙනවා, ආ. සමහර විට ශරීර ලක්ෂණ අතින් නූතන මිනිසාගේ මුළ දකුණු හෝ ගිණිකොණදිග ආසියාවේ සිදු විය. බලංගොඩ මිනිසාගේ සාධක අනුව නූතන මානවයා අප්රිකාවේ බිහිවීම පිළිබඳ දැනට පිළිගත් මතය අභියෝගයට ලක් වේ, ආ. බලංගොඩ මිනිසාගේ දත් ඉන්දියාවේ මධ්යශිලා මිනිසුන්ට වඩා පැරණි ලක්ෂණ පෙන්වයි, ඇ. බලංගොඩ මිනිසා වැඩි සමානතාවක් දක්වන්නේ සිංහල, දෙමළ හෝ ආසියාවේ වෙනත් මිනිසුනට වඩා වැද්දන්ටය. ඈ. වැද්දන් තදින්ම සිංහල හා දෙමළ ජනයා සමඟ මිශ්ර වී ඇත. මෙම මානව කොටස් තුනම වඩාත් කිට්ටු සම්බන්ධතාවක් දක්වන්නේ දකුණු ආසියාවේ ආදිවාසීන්ටය. මේ කරුණු අනුව දකුණු ආසියාවේ සිටි පැරණි මානවයින් අතර බලංගොඩ මිනිසාට ඉහළ වැදගත්කමක් හිමි වේ.

නූතන මානවයා පිළිබඳ පැරණිම සාධක අතර බලංගොඩ මානව සාධකත් තියෙනවා. මීට සමාන සාධක තවම ඉන්දියාවෙන්වත් ලැබිල නැහැ. ඒ කියන්නේ ලෝකයේ නූතන මිනිසා ගැන හොයද්දි ලංකාවේ සාධකවලට ඉහළ වැදගත්කමක් තියෙනවා.

මේ සටහන සමඟ අමුණලා තියෙන රූපය ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමා කැනීම් කළ හුංගම මිනීඇතිළියෙන් හමුවුණු සැකිල්ලක රුවක්.

චන්දිම අඹන්වල

2020.04.23 /07.45 AM

Previous article34. ජාතිකත්වය අනාථ කිරිම
Next article19. මිහින්තලේ, බෙහෙත් ගෙය
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.