23 C
Colombo
Monday, January 18, 2021

23. ලංකාවේ මහාශිලා සම්ප්‍රදාය

Must read

Avatar
චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.


ලංකාවේ ඉන්න ගොඩාක් දෙනෙකුට අඩු අවබෝධයක් තියෙන මාතෘකාවක් ගැනයි මේ කෙටි සටහනින් කතා කරන්නේ. ඒ මහාශිලා නැත්නම් Megalithic කියන එකයි. ‘විශාල’ හා ‘ගල්’ කියන වචන දෙක එකතු වෙලා තමා මේ වචනය හැදිල තියෙන්නේ. එතකොට මහා විශාල ගල් නිර්මාණ ගැනයි මේ කතාව.

මුළින්ම කියන්න ඕන මේ මහාශිලා කියන්නේ සංස්කෘතියක් නෙවෙයි, සම්ප්රදායක් පමණයි. එක කාලෙකට සීමා වෙලා තියෙනවා කියල කියන්න බෑ. ඔයාලට මතක ද දඹානේ හිටපු වැදිනායක තිසාහාමිලැත්තෝ අපවත් වූනාට පස්සේ හැදුව හොහොනක් විශාල ගලක් දාල. ඒකත් මහාශිලා සොහොනක් තමා. ඒ විතරක් නම් මදෑ. අපේ හිටපු අගමැති කෙනෙකු වුණ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මැතිතුමා සිහිවෙන්න හඳල තියෙන ස්මාරකයක් තියෙන්නේ අත්තනගල්ලේ. ඒකත් මහ විසාල ගල් සිහිවටනයක්, නැත්නස් මහා ශිලා ස්මාරකයක්. කාලය ප්රශ්නයක් නැහැ සම්ප්රදායට.

මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මැතිතුමා කියනවා කාළ-රක්ත මැටි බඳුන් (Black and Red ware – BRW) ව්යාප්තිය අනුව මේ මහාශිලා සංස්කෘතිය ව්යාප්ත වූ ආකාරය දැකගන්න පුළුවන් කියල. කාළ රක්ත වර්ණ මෙවලම් කියන්නේ විශේෂ මැටිබඳුන් වර්ගයක්. මැටි බඳුනේ ඇතුළ කළු පැහැය හා පිටත රතු පැහැය එන ආකාරයට නිමවන ලද මැටි බඳුන් වර්ගයක්. සාමාන්යයෙන් මැටි බඳුනක වෙන්නේ පිට කළු පාටයි ඇතුළ රතුපාටයි වෙන එකනේ. ඒත් අපේ හිටපු පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමා පහදල දෙන ආකාරයට මේ මැටි බඳුන්වල ව්යාප්තියෙන් මේ මහාශිලා ව්යාප්තිය දැනගන්න බෑ, ඒකට ලඝු කරන්න බෑ. මොකද මේ මැටිබඳුන් ක්රිස්තු පූර්ව කාලයේ වගේම ක්රිස්තු වර්ෂයෙන් නම වැනි සියවසේ පවා හමු වෙනවා. ඒ කියන්නෙ අනුරාධපුර යුගයේත් අන්තිම හරිය.

මේ සංස්කෘතිය අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ වෙනත් තැන්වලත් තියෙනවා. එංගලන්තයේ තියෙන ස්ටොන් හෙන්ජ් කියන ගල් වළල්ලත් මේ සම්ප්රදායටමයි අයිති. දකුණු ඉන්දියාවේ ප්රදේශවල බොහෝම සංකීර්ණ ව්යාප්තියක් තියෙනවා. කොලින් රෙන්ෆ්රූ වගේ මහාචාර්යවරු කියන විදිහට යුරෝපයේ ඉදල අප්රිකා මහාද්විපයටත් එතැනින් ඉන්දියානු උප මහාද්වීපයටත් මේ සංස්කෘතිය ඇවිල්ල තියෙනවා. ලස්සනම දේ කියන්නේ දකුණු ඉන්දියාවේ තවමත් මේ සම්ප්රදාය දිවිමන්, මැරිල නැහැ.

ලංකාවේ මේ සම්ප්රදාය නිරූපණය කරන්නේ විශාල වශයෙන් සොහාන් වලින්. මේ වගේ සුසාන තියෙන භූමි 100ක් විතර දැන් ලංකාවේ විවිධ පළාත්වලින් හොයාගෙන තියෙනවා. ගොඩාක් විට මේ වගේ සොහොන් සංකීර්ණ හමු වෙන්නේ අතු ගංගා ඇසුරු කරමින් බව ඒ පිළිබඳ හොයාබලද්දි හෙළි වෙලා තියෙනවා. මේ සොහොන් භූමි වැඩි ප්රමාණක් තියෙන්නේ උතුරු මැද කලාපේ. පුරාවිද්යා පශ්චාත් උපාධි ආයනයේ ජේ්යෂ්ඨ කථිකාචාර්ය Ranjith Dissanayake
මැතිතුමා මේ වගේ සොහොන් පලවල් විශාල ප්රමාණයක් වාර්තා කරල පොතකුත් පිටකරල තියෙනවා. රට පුරාම තව හොයාගන්නත් සෑහෙන ප්රමාණයක් ඇති මයේ හිතේ. මේ ගැන හොයාබලපු පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආචාර්ය ඩි.කේ. ජයරත්න මැතිතුමා ලංකාවේ මේ සම්ප්රදාය ගැන ලියද්දි මේ සිහිවටන සුසාන හා සුසාන නොවන ස්මාරක කියන පුළුල් කොටස් දෙකකට බෙදල තියෙනවා. සුසාන නොවන ස්මාරක වර්ගයට අයිති අපි කලින් සටහනක කතා කළ විදියේ පදවිගම්පොල ගල් මැස්ස ආකාර ඩොල්මන් සිහිවටන. සුසාන සිහිවටන ඝණයට වර්ග කීපයක්ම තියෙනවා. ශිලා මඤ්ජුසා නැත්නම් ගල් පෙට්ටි, බරණි සුසාන හා වළ සුසාන කියල. මේව ඇතුළේ තව උප බෙදීම් කරන්න පුළුවන්. මේ සොහොන් වර්ග ගැන උදාහරණත් එක්කම වෙනම සටහනකින් කියන්නම්. මෙතන ලියන්න ගියොත් සටහන ලිපියක් වෙනවා.

මේ සොහොන් වල ආකාර දෙකකට සුසාන කරල තියෙන්න පුළුවන්. ප්රාථමික හා ද්වීතීය සුසාන කියල. මෘත දේහය එහෙමම වළලලා තියෙන එකට තමා ප්රාථමික සුසාන කියන්නේ. මැරුණු කෙනා කැලේ ගහල තියල නැත්නම් ආදාහණය කරල තෝරාගත් ඇටකටු හෝ අළු ගෙනල්ල තැම්පත් කරන එකට කියන්නේ ද්විතීය සුසාන කියල. ඒ වගේම, එකම සොහොන නැවත නැවත පාවිච්චි කරපු අවස්ථාත් තියෙනවා. අද වගේම තමා මැරුණු කෙනාගේ තරාතිරම අනුව තමා සොහොනත්.

මේ සොහාන් වල සුසාන කළ මිනිසුන් ජීවත් වූ ජනාවාස ගැන යම් යම් හොයාබැලීම් කරල තිබුණත් ඒ ගැන සතුටු වෙන්න පුළුවන් තරමේ තොරතුරු හෙළිවුණු බවක් පේන්න නැ. ඒකට ප්රධාන හේතුවක් තමා අපේ රටේ මේ සොහොන් එක්ක බද්ධ වුණු ජනවාස පිළිබඳ සාධක තියෙන තැන් හමුවෙන්නෙත් විරළව වීම.

පුරාවිද්යාව කරන ඒ ගැන උනන්දු අය බොහොම තදින් සිහියේ තබාගන්න ඕන දෙයක් තමා සොහොනක් කියන්නේ කාලයක් තිස්සේ යන සංස්කෘතික සම්ප්රදායක් නිරූපණය කරන දෙයක් නොවන බව. බොහෝ විට සොහොනකින් කියැවෙන්නේ එක් සංස්කෘතික සංසිද්ධියක්. මැරුණා වැළලුවා ඉවරයි. දීර්ඝ කාලීන ක්රියාවලියක් පෙන්වන්නේ නැහැ. අනිත් වැදගත් කරුණ තමා ලංකාවේ හිටිය සියලු ජනයාම මේ විශාල ගල් සොහෙන් ඇතුළේ දාල වැලලුවා කියන එකත් කියන්න බෑ. හිටපු ජනගහනේ හැටියට සොහොන් නෑනේ. අනුරාධපුර මහා නගරයක් වුනත් ඒ කිට්ටුව මේ වගේ සොහොන් විශාල වශයෙන් තියෙන තැන් හමු වෙලා නෑ. ඉදිරියේ දි හම්බවෙන්න ඉඩකුත් නෑ.

පුරාවිද්යා පශ්චාත් උපාධි ආයතනයේ ජේ්යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා විසින් කැනීම් කරල ප්රසිද්ධ කළ රංචාමඩමේ එහෙම තියෙන මැටි ඔරු සොහොන් මේ සම්ප්රදායට අයිති නෑ. ඒවා වෙනම සම්ප්රදායක්. පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්යක්ෂ ජනරාල් ආචාර්ය එච්. නිමල් පෙරේරා මැතිතුමා කියන විදිහට මේ මැටි ඔරු සම්ප්රදාය ලංකාවට අනන්ය වෙච්ච ඒ කියන්නේ අපේ රටට විතරක් සීමා වුණු සම්ප්රදායක්.

දැනට ලැබිල තියෙන කාලනීර්ණ හා ඒ පිළිබඳ අවබෝධය අනුව මේ මහාශිලා සම්ප්රදාය සම්බන්ධ ඈතම කාලනීර්ණ ලැබෙන්නේ ක්රිස්තු පූර්ව 6/7 වගේ සියවස්වල. මහාචාර්ය සේනක බණ්ඩාරනායක මැතිතුමා කැනීම් කළ දඹුල්ල ආසන්නයේ තියෙන ඉබ්බන්කටුව, මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මැතිතුමා කැනීම් කළ යාපහුව අසළ ගල්සොහොන්කනත්ත, ආචාර්ය ඩි.කේ. ජයරත්න මැතිතුමා කැනීම් කළ සීගිරියේ ඉහළ කළවැල්ලා උල්පත වගේ ම ශ්රි ලංකා රජරට විශ්වවිද්යාලයේ මහාචාර්ය තුසිත මැන්දිස් මැතිතුමා කැනීම් කළ කොක්ඇඹේ කියන තැන් තමා දැනට පරණම සාධක හමු වෙලා තියෙන්නේ. මේ කාලේ ඉදල ක්රිස්තු වර්ෂයෙන් 4/5 වැනි සියවස් දක්වා මේ සොහොන් කාලනීර්ණ ලැබෙනවා.

අවාසනාවන්ත කරුණ තමයි ලංකාව පුරා හමුවෙන මේ සොහොන් විවිධ අය හාරලා විනාස කරනවා. එකක් නොදන්නාකම. ගොඩාක් අය හිතන්නේ මේවා ඇතුළේ නිධන්, එහෙම නැත්නම් වටිනා කියන දේවල් තියෙනවා කියලා. එහෙම වටින දේවල් හමුවෙන්නේ නැහැ. තියෙන්නේ මිනි අළු හා වෙනත් සොහොන් තැම්පතු. කලාතුරකින් ඔය පාට පාට ගල් එහෙම තියෙන්න පුළුවන්. අපේ අතීතයේ එක පැතිකඩක් කියන මේ සොහොන් අපි ආරක්ෂා කරගන්න ඕන. මොකද අපේ ඉතිහාසය ගැන විස්තර ගොඩාක් මේවගෙන් හෙළි කරගන්න පුළුවන්නේ. දඹුල්ල ආසන්නයේ තියෙන ඉබ්බන්කටුව සොහොන් සංකීර්ණය කැනීම් කරල, බලන්න ලස්සනට හදල තියෙනවා. පොඩි ගානකුත් අය කරනවා. ඒ පාරෙන් ගියොත් ගොඩවෙලා බලන්න. ඒ සොහොන්වල නිදන්නෙත් අපේම අතිතයේ හිටපු ඇත්තොම තමා. පුනරුප්පත්තිය විශ්වාස කරන අයට හිතන්න පුළුවන් ඒ සොහොන්වල අපිත් ඉන්න පුළුවන්නේ නේද කියලා.

මේ සමඟ අමුණලා ඇති ඡායාරූපයේ තියෙන්නේ ඉබ්බන්කටුව කියන තැන ගල් පෙට්ටි සොහොන්. පින්තූර ගත්ත අය කවුද කියල නම් දන් නැහැ. නමුත් ඒ සියලු දෙනාටම ස්තුතිය හිමි වෙන්න ඕන.

චන්දිම අඹන්වල

2020.04.04 / 07.48 PM

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -

Latest article

X
X