15. පාළුමැකිච්චාව ගිරි ලිපිය

පාළුමැකිච්චාව ගිරි ලිපිය
ජාතියක ශ්‍රේෂ්ඨත්වය පෙන්නන්නේ ඒ රටේ හැදියාව හා උරුමය කියන එක අපි කොයි කවුරුත් පිළිගන්නවානේ. රටේ ප්‍රමාණයත් එක්ක බලද්දි උරුමස්ථාන විශාල සංඛ්‍යාවක් අපට තියෙනවා. ඒවා දිනෙන්දින, පැයෙන්පැය විනාශ වෙනවා විවිධ හේතු නිසා. මේ කෙටි සටහනින් කියන්න උත්සාහ කරන්නේ අපට අහිමි වුණු ඒ වගේ උරුමයක් ගැන. මේ ගැන මම මීට කලින් විසතරාත්මකව ලියල තියෙනවා. www.archaeology.lk/sinhala වෙබ් අඩවියට ගියොත් ඒ ලිපිය කියවන්න පුළුවන්.
අනුරාධපුරේ ඉදල ත්‍රිකුණාමලේට යන පාරේ මිහින්තලේ පහුකරල කිලෝමීටර් 15ක් විතර යද්දි හමුවන පාළුමැකිච්චාව නම් පැරණි වැවේ පිටවානේ සටහන් කරල තිබ්බ වසර දෙ දහසක් විතර පරණ සෙල්ලිපියක් ගැනයි මේ සටහන. ක්‍රිස්තු වර්ෂ 112-134 කාලයේ හිටපු පළමු වැනි ගජබා රජුගේ කාලයට අයිති මේ ලිපිය සෙල්ලිපි ගැන කතාකරන අය අතරේ පාලුමැකිච්චාව සෙල්ලිපිය කියලයි
ප්‍රසිද්ධ.
මේ ලිපිය ගැන ඉස්සෙල්ලාම හොයාල බැලූව කියල වාර්තාවල සඳහන් වෙන්නේ මීට අවුරුදු සීයකට විතර ඉස්සර. ඒ ලංකාවේ සෙල්ලිපි ගැන පිළිවෙලකට හොයා බැලීමේ පුරෝගාමියෙකු වූ එඞ්වර්ඩ් මුලර් මැතිතුමා විසින්. මේ ‘පර සුද්දා’ මැතිතුමා ලංකාව පුරාම ඇවිදල කරුණු හොයලබලල 1883 දි පළ කරපු Ancient Inscriptions in Ceylon නම් පොතේ මේ ගැන ලියල තියෙනවා.
ගොඩාක් සාර්ථකව මේ ලිපිය කියවා ගැනීමට මුලර් මැතිතුමා සමත් වුනත් අද බලද්දි එතුමාගේ ඒ කියැවීම සම්පූර්ණ නෑ. ඔහු කියන විදිහට මේ ලිපියේ පැරණි වැව් දෙකක් පිළිබඳ විස්තර තියෙන්නේ. නමුත් පස්සේ බලද්දි ඊට තරමක් වෙනස් තොරතුරු තියෙන්නේ. මුලර් තුමා මෙම ලිපියේ කර්තෘ පැහැදිලිව අඳුනගෙන තියෙනවා. ඒ විතරක් නෙවී මුලර් තුමා මේ ලිපියේ හොඳ මට්ටමේ පිටපතක් ද සකස් කරල තියෙනවා. ඒ රූපය ඉහත කිවුව, එතුමාගේ පොතේ අංක 10 යටතේ දක්වලා තියෙනවා. සෙල්ලිපි වගේ දෙවල් ගැන වැඩිය හොයල බලන්නේ නැති කාලෙක මේ ලිපිය ගැන, මේ ‘පර සුද්දා’ තේරුම් අරන් තියෙන ආකාරය ගැන පුදුම හිතෙනවා.
හැරි චාල්ස් පර්වියස් බෙල් කියන ලංකාවේ පළමු වැනි පුරාවිද්‍යා කොමසාරිස් 1891 වසරට අදාළ පුරාවිද්‍යා කොමසාරිස්ගේ වාර්ෂික පාලන වාර්තාවේ කණදරා කෝරළයට අයත් මෙම ලිපිය පිළිබඳවත් කෙටි සටහනක් තියෙලා තියෙනවා.
ඊටත් පස්සේ ඒ කියන්නේ 1912 දී දොන් මර්තීනු ද සිල්වා වික්‍රම‍සිංහ මැතිතුමා විසින් Epigraphia Zeylanica කෘතියේ පළමු වැනි කාණ්ඩයේ හොඳ විස්තරයක් සහිත ව මෙම ලිපිය ප්‍රසිද්ධියට පමුණුවලා තියෙනවා. එ තුමා පැහැදිලි කරන ආකාරයට, බෙල් විසින් ඔහුට සපයන ලද මෙම ලිපියේ ස්පර්ශ ලාංඡන හා නෙත් පිටපත් අනුව මෙම ලිපිය කියවා සංස්කරණය කරල තියෙනවා. වික්‍රමසිංහ මහතා දක්වන ආකාරයට, පේළි 6කින් යුතු මෙම ලිපිය අඩි 8ක දිගකින් හා අඩි 3 අඟල් 6ක පුළුලකින් යුක්තයි. පළමු වැනි පේළියේ 5, 6 හා 7 යන අකුරු හැර අනෙක් අකුරු හොඳ විදිහට තියෙනවා. මෙම ලිපියේ අකුරු අඟල් 4-7 දක්වා උසකින් හා අඟල් 2ඃ-5 දක්වා පළලකින් යුක්තයි.
වික්‍රමසිංහ මැතිතුමාගේ ලිපියේ තියෙන ආකාරයට මෙම ලිපිය තියෙන පෙළ පහතින් තියෙනවා. මේ සමඟ තියෙන ඡායාරූපයේ ඉහළ තියෙන්නේ 1912 දි පළ වූ ඒ ස්පර්ෂ ලාංඡන පිටපත. පැරණි අකුරු ගැන යම් අවබෝධයක් තියෙන අයට සසඳලා බලන්න පුළුවන්.
පෙළ :
1 මහරජහ වහබයහ
2 මනුමරක තිස මහරජහ පුති
3 මහරජි ගමිණි අබයෙ උපල විබ
4 ජකහි වඩමණක වවි පච සහසි කහවණ
5 දරිය කණවය තුබරබ බුක සග
6 හටය චතිරි පචණි පරි
අර්ථය :
වසභ රජතුමාගේ මුණුපුරු වූ ද තිස මහ රජුගේ පුතු වූ ද ගමිණි අබය රජු කහවණු පන්දහසක් වියදම් කොට උපල කොටසෙහි වූ වඩමණක වැව කැණ තුබරබ (තුපාරාමයේ) භික්‍ෂු සංඝයා හට සිවුපසය ලබාගැනීම සඳහා පූජා කරන ලදී
ලිපිය අනුව ‘ගාමිණි අබය’ නම් රජු විසින් ‘උප්පල’ නම් ප්‍රදේශයේ තිබූ ‘වඩමණක’ නම් වැව පන්දහසක වියදමින් ප්‍රතිසංස්කරණය කොට එහි ආදායම ‘තුබරබ’ නැත්නම් ථූපාරාම විහාරයේ භික්‍ෂූ සංඝයාගේ සිවුපසය පරිභෝජනය සඳහා පරිත්‍යාග කර ඇත. මෙහි දැක්වෙන ගාමිණි අබය නම් රජු වහබ නම් මහ රජු ගේ මුණුපුරා බවත්, තිස නම් මහ රජුගේ පුතු බවත් දක්වා ඇත. මහාවංසයේ ඇති පිළිවෙලට මේ රජුන් තුන් දෙනා හඳුනගන්න පුළුවන්. ඒ අනුව, මෙම ලිපිය රචනා කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 112-134 කාලයේ රජ කළ ගජබා නැත්නම් ගජබාහුක ගාමිණි අබය රජතුමා. එ තුමාගේ පියා ක්‍රිස්තු වර්ෂ 109-112 කාලයේ රජකළ තිස මහ රජු හෙවත් වංකනාසික තිස්ස රජතුමා. 12,000ක ලක්දිව වැසියන් පිරිසක් සොළි රටට අල්ලගෙන ගියේ මේ කාලේ. ගාමිණි අබය ගේ සීයා වසභ රජු ය. වල්ලිපුරම් රන් සන්නසේ මහරජ වහය නමින් ඉන්නෙත් මෙතුමාමයි.
මේ ලිපියේ හතර වැනි පේළිය අවසානයේ අවසාන අකුරු දෙකට පහළින් කොටු සලකුණක් දැකගන්න පුළුවන්. මේ පැරණි සෙල්ලිපි වල ‘කහවණු’ දැක්වීම සඳහා තියෙන සංකේතය.
මේ ප්‍රසිද්ධ මේ ලිපිය අද හැබැයින් දකින්න නැහැ. වසර විස්සකට විසිපහකට විතර ඉස්සර මෙම වැව ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවක පිටවාන හරහා කොන්ක්‍රිට් බැම්මක් සකසද්දි මේ ලිපිය උඩින් කොන්ක්‍රිට් දමලා. ඒ නිසා මේ ලිපියේ විශාල කොටසක් විනාශ වෙලා. ඉතිරි වෙලා තියෙන්නේ අවසාන පේළි දෙකේ අන්තිම අකුරු කීපයක් පමණයි. පින්තූරේ රතුපාටට කොටුකරල තියෙන්නේ ලිපිය තිබුණු තැන. දුක හිතෙන කාරණය වෙන්නේ පොඩිත්තක් හිතුවනම් සෙල්ලිපියත් රැකගෙන බැම්මත් බඳින්න තිබුනා. මේවා විනාශ කළේ පිටින් ඇවිල්ල නොවෙයි, අපේම කියන අයයි.
චන්දිම අඹන්වල
2020.03.28 / 08.18 PM
Previous article 17. කඳුරුගොඩ මැටි පාත්‍ර කැබැල්ල
Next article13. මිහින්තලේ අසළ පිහිටි මහකනදරාව ගල් පාලම
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.