26 C
Colombo
Tuesday, April 20, 2021

14. යාපනයෙන් හමු වූ පැරණිම ගල් මෙවළම් – ඇචුලියානු අත්පොරො

Must read

Avatar
චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.
මේ අපි කතාකරන දේ සමහර විට ලංකාවේ හමු වෙන පැරණිම මානව නිර්මාණ වීමට ඉඩ තියෙනවා. වටිනාකමේ නිමක් නැහැ. පුරාවිද්‍යාඥයෙකුට මැණික් වලටත් වඩා වටින දෙයක් ගැනයි මේ අපේ කතාව. ලංකාවේ උතුරු කොනේ පේදුරු තුඩුව ආසන්නයේ තියෙන මායක්කායි කියන තැනින් හමු වුනා යැයි කියන ගල් ආයුධ කීපයක් ගැනයි මේ කතාව.
මේ ගල් ආයුධ හමුවෙලා තියෙන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාරයවරයෙකු වන සෙල්ලයියා ක්‍රිෂ්ණරාජා මැතිතුමාට. 1984 වසරේ කළ කැනීමකින් හමු වුනා කියලයි කියන්නේ. අත් පොරෝ තුනක් මයේ හිතේ. හදල තියෙන්නේ කහඳ (chert) කියන පාෂාණයෙන්. මේ ගල් ආයුධ ගැන හෝ ඒවායේ වටිනාකම ගැන ඒ මහාචාර්යවරුනට වැඩි අවබෝධයක් තිබිල නැහැ. ඒ කාලේ එල්ටිටිඊ යුද්ධය තදටම තිබුණු කාලයක්නේ. පුරාවිද්‍යාව වගේ දේවල් සම්බන්ධයෙන් මේ පැත්ත හා කොළඹ අතර තිබුනේ අවම සම්බන්ධයක්. යුද්ධය අවසන් වෙලා 2010 විතර තමා මේ ගල් ආයුධ කීපය ක්‍රිෂ්ණරාජ මැතිතුමා විසින් ලංකාවේ ඉන්න ගල් ආයුධ පිළිබඳ විශේෂඥයෙකු වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් විදිහට සේවය කරපු ආචාර්ය එච්. නිමල් පෙරේරා මැතිතුමාට මේවා පෙන්නලා තියෙන්නේ. මේක දැක්ක ගමන් මෙහි වටිනාකම එතුමා තේරුම් ගත්ත. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ මානව නිර්මාණ කොළඹට ගෙනත් ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමාට බලන්න සලසනවා. ඔවුන් දෙදෙනාගේ නිගමනය වුනේ මේ ඇචුලියානු සම්ප්‍රදායට අයිති ගල් මෙවළම් කියල, අත් පොරෝ (Acheulean hand-axe) කියල. රූපීය ලක්ෂණ අනුවයි එහෙම කියන්නේ. පස්සේ කලෙක ලංකාවට පැමිණි මයිකල් පැට්‍රාලියා කියන දැනට ලොකේ ගල් ආයුධ පිළිබඳ පර්යේෂණ සිදුකරන මහාචාර්යවරයා මේ ගල් ආයුධ පරික්ෂා කරල කියල තියෙන්නේ මේ ආයුධ ඇචුලියානු අත් පොරෝ කියන එක පැහැදිලියි කියලයි. මොනවද මේ ඇචුලියානු අත්පොරෝ. ඒවායේ වැදගත්කම මොකක් ද?
ඇචුලියානු අත්පොරෝ කියන්නේ මීට අවුරුදු ලක්ෂ ගණනාවකට පෙර ලෝක මට්ටමින් ව්‍යාප්ත වුණු ගල් ආයුධ සම්ප්‍රදායක්. පුදුම හිතෙනවා, සන්නිවේදන තාක්‍ෂණයවත් වැඩිල නැති කාලෙක මේ වගේ දෙයක් ලෝකෙ පුරා ම ව්‍යාප්ත වෙනව කිය එක. මේ ගල් ආයුධ ඇමරිකානු යුරෝපය අප‍්‍රිකාව හා ආසියා කියන මහාද්වීප කීපයේම ව්‍යාප්ත වෙලා තියෙනවා. ගස් කපල වනාන්තර මෙල්ල කරනවා වගේ දේ වලටයි මේ අත්පොරො භාවිත කරල තියෙන්නේ. මේ තාක්ෂණය අත්කරගෙන සිටියේ හොමෝ ඉරෙක්ටස් (Homo erectus) මානවයා කියලයි කියන්නේ. පළමුව ශරීරය කෙළින් කරගෙන දෙ කකුලින් හිටගත් මිනිසා. මේ ගල් ආයුධවල පැතිරීම අනුව, මේ මිනිසාගේ ව්‍යාප්තියත් පෙන්නුම් කරනවා. අදින් වසර ලක්‍ෂ 16ත් 5ත් අතර කාලයේ තමා මේ මානවයා ජීවමානව සිටි බව සැලකෙන්නේ. මේ ගල් ආයුධ ලංකාවෙන් හමු වෙනවා කියන්නේ හොමෝ ඉරෙක්ටස් ලංකාවේ හිටිය කියන එක ද? ඇචුලියන් ගල් ආයුධ ව්‍යාප්තිය ගැන බලන විට පෙනී ගිය දෙයක් තමා ඉන්දියාවේ කාවේරි නදියෙන් දකුණු පැත්තට මේ තාක්‍ෂණය ආවේ නැ කියන එක. ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මැතිතුමා මේ සඳහා හේතු කීපයක් ඉදිරිපත් කරනවා. එකක් තමා මෙ පොරෝ සකස් කිරීම සඳහා ගැලපෙන අමුද්‍රව්‍ය මේ කලාපයේ නොමැති වීම. තියෙන ගල්වලින් මේ වගේ ඒව හඳන්න බැහැ. පැලෙනවා. තවත් කාරණයක් තමා මෙ කලාපයේ තියෙන රූස්ස වනාන්තර මේ පොරෝවලින් කපල මෙල්ල කරන්න පුළුවන්කමක් නැතිකම.
ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමා ලංකාවේ දකුණු කලාපයේ සිදුකළ පුරාවිද්‍යා පර්යේෂණ අනුව තහවුරු වෙලා තියෙනවා අදින් වසර 125,000කට පෙර ආදිම හෝමෝ සෙපියන්ස් මානවයින් මේ කලාපයේ සිටි බව. ඒ අවස්ථාවේ සිදුකළ තක්සේරුවක් තමා ලංකාවේ උතුරු පළාතේ ඊට වඩා පැරණි නැත්නම් අදින් වසර ලක්ෂ 5ක් දක්වා ඇත කාලයේ මිනිසුන් සිටිමට තිබෙන හැකියාව වැඩියි කියන කාරණය. ඉතිං මේ අත් පොරෝ හමුවීමත් සමඟ මේ කිවුව තක්සේරුව අඩමාන වශයෙන් තහවුරු වෙනවා. ඇයි අඩමානයි කිවුවේ බලයි දැන්. මේ ගල් ආයුධ ලැබිල තියෙන්නේ විධිමත් පුරාවිද්‍යා කැනීමකින් නෙවෙයි. පුරාවිද්‍යාවේ දි නියමානුකූල විදිහට පස් තට්ටු තුළින් අනාවරණය නොවන සාධකවලට වැඩි පිළිගැනිමක් නැහැ, නැත්නම් පුරාවිද්‍යා අර්ථකථන සඳහා සම්බන්ධ කරගන්නේ නැහැ. එහෙම කරත් ඊට අදාළ නිගමන දුර්වල වෙනවා.
දැන් ලංකාවේ ඉන්න ප්‍රාග් ඉතිහාසඥයින්ට තියෙන විශාලම අභියෝගයක් තමා මේ ගැටලුව විසදා ගන්න එක. මේක විසඳගත්තොත් අපේ අතීතය අදින් අවුරුදු ලක්ෂ 5ට එයා යනව. ඒකට ඒ ස්ථානය විධිමත් විදිහට කැනීම් කරන්න ඕන. අපිට ඒකට සල්ලි හොයාගන්න එක ලේසිපාසු නැහැ. නමුත් අපි ඒ දිහාවේ සුභවාදිව බලාගෙන ඉමු. ලංකාවේ ප්‍රාග් ඉතිහාසඥයෝ මේ ප්‍රශ්නය විසඳනව කියන එක මට විශ්වාසයි.
අපි හරිම ආසයි හීනවල ජීවත් වෙන්න. ඒ ලංකාවේ අයගේ හැටි වෙන්න ඇති. ඒකනේ මිත්‍යාව බව දැනදැනත් ඒ දිහා ඇත්ත වගේ බලාන ඉන්නේ. ටීවි එකේ රෑට යන ඉන්දියානු කතා දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නේ. මේ කතාව මේ සටහන කියවන හැමොටම අදාළත් නෑ කියල මම දන්නවා. ඒ වගේ කතා දැන් මෙහෙත් හදනවානේ. මේ මිත්‍යාව පරාජය කළොත් අපි ජාතියක් විදිහට දිනනවා. එහෙම නැත්නම් හිත සනසාගන්න විතරයි තියෙන්නේ, ලෝක සොභාවය මේකයි කියල.
- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -spot_img

Latest article

X
X