28 C
Colombo
Tuesday, July 27, 2021

මාස 4 ක් පුරා සටන් කොට ජයගත් විජිතපුර බලකොටුව පිහිටියේ කොහෙද?

Must read

මේජර් සරත් ජයවර්ධන

අනුරාධපුර බලකොටුව හැරුණු විට එළාරගේ ප්‍රධාන මර්මස්ථානය වනනේ විජිතපුර බලකොටුවයි. එය සතුරන්ට ප්‍රවිෂ්ඨ වීමට ඉතා දුෂ්කර මහා ප්‍රාකාරයකින් ආවරණය කරන ලද ශක්ති සම්පන්න බලකොටුවක් විය. එහි දොරවල් සියල්ලම ලෝහයෙන් සකස් කර තිබුණි. දැඩි ආරක්ෂාව මධ්‍යයේ තිබූ විජිතපුර බළකොටුව අත්පත් කරගැනීම පහසු කාර්යයක් නොවන බව බැලූ බැල්මට පෙනුණි. දුටුගැමුණු සේනා මහවැලි ගඟේ දකුණු ඉවුරේ එළාරගේ බළකොටුවල සිටි සොළීන්ට පහරදෙන විට ඔවුන් විජිතපුර බළකොටුවට වැදී එළාර සේනා හා එකතු වූ අතර එහිදී ඔවුහු තවත් ශක්තිමත් වූහ.

අගල් තරණය කර බලකොටුවට සමීප වූ ගැමුණු සේනාව දකුණු දොරටුවෙහි බිහිසුණු සටන් කළේය. ඒ අතර නැගෙනහිර දොරටුව අසල වේළුසුමන අසුපිට නැගී කරනම් ගසමින් නැවත අසුපිට වැටෙමින් බොහෝ සොළීන් මරණ ලදි. මේ අවස්ථාවේ දී දුටුගැමුණු රජු බලකොටුවේ දොරටු හතරම ආවරණය වන පරිදි සේනාව යොදවා බලකොටුව තුළට පහර දෙන ලදී. කඩොල් ඇතා, නන්දිමිත්‍ර හා සුරනිමල සේනාව බලකොටුවේ දකුණු දොරටුව අසල මාරාන්තික සටනකි. ගඩොල් බැම්ම බිඳ යදොර බිඳීම සඳහා ගිය විට ගෝපුරයේ සිටි සතුරන් විසින් ආයුධවලින් දමා ගසා, උණුකළ යකඩ හා ඉටි ඇතාගේ පිටට වක් කරන ලදී. ඇතා වේදනාවෙන් ඒ අසල තිබූ දිය අගලට පැන්නේය. එය මහාවංශයේ විස්තර කර ඇත්තේ මෙසේය.

“ඒ නුවර වනාහී පරිඛාත්‍රයක්ද උස් වු පවුරු තොරන්ය. ලොහොකම් කළ දොරය. සතුරන් විසින් බිඳ හෙළිය හැක්කේ නොවේ. ඒ ඇත් තෙමේ දෙදණින් හිඳ දෙදළින් ගල් සුණු ගඩොල් බිඳ යදොරට පැමිණියේය. තොරණ හුන් දෙමළු අනේක ප්‍රකාර ආයුධයන් ද කකියා ගිය ලොහො ගුලිද එසේම කකාළ මැලියම් ද දැමුය. පිට ලූ ලහටු දමන කළ කඩොලැත් තෙමේ දුවමින්, වේදනාවෙන් මිරිකුණේ උදක ස්ථානයට ගොස් එහි ගිලිණි… ”

කාවන්තිස්ස රජු විසින් තම හමුදාවට බඳවාගෙන පුහුණු කරන ලද පශු වෛද්‍ය කණ්ඩායම් ඇතාට ප්‍රතිකාර කළ අතර මී හරක් හම් එක පිට එක හතක් තබා බඳින ලදි. පුත මේ සටන සිංහල රාජ්‍යයේත් ශාසනයෙත් ආරක්‍ෂාව සඳහාය. එබැවින් යදොර බිඳින සේ දුටුගැමුණු රජු විසින් ඇතු ධෛර්යමත් කිරීමෙන් පසුව ඇතා දිව ගොස් දෙදළින් ඇන යදොර බිඳ හෙළීය. යදොර ඇතා මත වැටෙනු දුටු නන්දිමිත්‍ර යෝධයා වේගයෙන් ක්‍රියාත්මක වී සිය බාහුවෙන් පහර දී එය ඉවතට දැම්මේය. එහි දී නන්දිමිත්‍ර කෙරෙහි කණ්ඩුල තුළ තිබූ වෛරය පහව ගියේ යැයි සඳහන් වේ. ඉන්පසු කඩොලැතු, නන්දිමිත්‍ර හා ගෝඨයිම්බර ද සෙසු යෝධයෝ ද ඒ ඒ තැන්වලින් බලකොටුවට වැදී සතුරන් විනාශ කරන්නට වූහ.
මෙය අති බිහිසුණු සටනක් විය, එළාර රජුගේ සෙනෙවියෝ ද විජිතපුර රැකගැනීම සඳහා සේනාව මෙහෙයවුහ. ගල් ගසා අවුස්සන ලද දෙබරයකින් දෙබරුන් පිටවන්නාක් මෙන් ද්‍රවිඩ සේනාව වැළ නොකඩා දිව එන්නට වුහ. එළාර රජුගේ දක්ෂ සෙනෙවියන් විසින් මෙහෙයවන ලද සේනාව සාහසික ලෙස සටන් කරමින් සිංහලයන් සොය සොයා ඝාතනය කළහ. ඒ අතර කණ්ඩුල රථ රෝදයක් ගෙන එහෙ මෙහෙ දුවන සොළීන් ඉන් තලා දැම්මේය. නන්දිමිත්‍ර ගැල් තට්ටුවක් ගෙන සතුරාට පහර දෙද්දී අනෙක් යෝධයින් හා සෙබළුන් කඩු, යකඩ පොලු ආදියෙන් සතුරන්ට පහර දෙන්නට වූහ. ඇතැම් යෝධයෝ පොල් ගස්, තල් ගස් ආදියත් ගලවා එයින් සතුරු සේනා සුණු විසුණු කළෝය. කඩුපතක් ගත් ගෝඨයිම්භර සතුරන් පලුගැසි ය. සුරනිමල වඩාත් සහසිකව, සතුරන් සොය සොයා කැපුවේ ය. ථෙරපුත්තාභය යගදාවක් ගෙන රණ මැදට වන්නේ ය. සිංහල සේනාවේ ඇතැම් සෙබළුන් කඩුපත් ගෙන සටනට වැදුණු අතර සමහරෙක් කැති, පොරෝ, කෙටේරි ගෙන සටන් වැදුණහ.

එළාර රජුගේ ඉතා දක්ෂ දුනුවායෙක් පවුරෙන් බොහෝ ඈත්ව ගැමුණු කුමරු වෙත දුනු දිය ඇද විෂ පෙවු හීයක් විද්දේ ය. ඒ හීය, ගැමුණූ කුමරාගේ කණට පවන් දෙමින් ගොස් පිටිපස සිටි ඇත් ගොව්වකු මරා හෙළී ය. දෙමළ දුනුවායා ගැමුණු කුමරුට දෙවන සැරය එවන්නට ඉලක්කය අල්ලනු දැක වහාම ක්‍රියාත්මක වූ ලක්දිව අග්‍ර ධනුර්ධර ඵුස්සදේව, දෙමළාගේ හීය දුන්නෙන් ගිළිහීමට පෙර කුමරු ඉදිරියේ සිටි ඇතකු පිටට පැන, ඇතු පිට දණ ගසා, දුනු කොන වම් පයින් ඔබා ගෙන දුනු දිය ඇද සැරය මුදා හැරියේ ය. ගුගුරාගෙන ගිය හීය දෙමළ දුනුවායාගේ ළයෙහි ඇණී ලේ උතුරවමින් මරුමුවට පත් වූවේය. ඉන්පසු ගැමුණු කුමාරයා වහා රාජාභරණ ගළවා දමා, පොදු සිංහල හේවායකු මෙන් සැරහී අසු පිට නැග රණ බිමට බැස්සේ ය.

මේ ප්‍රහාරයට මුහුණ දුන් බොහෝ සොළින් මරුමුවට පත් වූ අතර ඉතිරි සේනාව සීසීකඩ දිව ගියහ. දුටුගැමුණු රජ විසින් ඒ පලායන දෙමළ සේනාව ලුහුබැඳ යන වේළුසුමන හා සුරනිමල යෝධයින් වළකන ලදී. විජිතපුර බලකොටුව ජය ගැනීමෙන් අනතුරුව ගැමුණු සේනා නැවත කඳවුරුපිටියට පැමිණ ප්‍රීතිඝෝෂා පැවැත්වූහ.
විජිතපුර බලකොටුව කුමන ස්ථානයක පිහිටියේදැයි නිවැරදිවම නිශ්චය කිරීම තරමක් අසීරු ගැටළුවකි. අනුරාධපුරයේ කලාවැව අසල මෙන්ම පොළොන්නරුව අසල ද විජිතපුරය නමින් ස්ථානයක් තිබීම ඊට හේතුවයි. දුටුගැමුණු සේනා ඉදිරියේ එළාර හමුදා සිය ආරක්ෂාව සඳහා විජිතපුර බලකොටුවට වැදුනු බවත් එම බලකොටුව අත්පත් කර ගැනීමට මාස 4 ක පමණ කාලයක් ගතවූ බවත් මහාවංශයේ වාර්තා වේ. දුටුගැමුණු සේනාව හා එළාර හමුදා අතර පැවති මහා සංග්‍රාමය සිදුවූයේ අනුරාධපුර කලාවැව අසල විජිතපුර බලකොටුවේදි බව සමහරු කල්පනා කරන අතර එම බලකොටුව පොළොන්නරුවේ ඇති විජිතපුරය බව තවත් අයෙකුගේ විශ්වාසයයි.

ඓතිහාසික මූලාශ්‍රයවල දැක්වෙන පරිදි ආර්යයන්ගේ සංක්‍රමණයේ දී විජිත නම් ප්‍රධානියා විසින් මහවැලි ගං තීරයේ පිහිටුවන ලද විජිතගාම ජනාවාසය මුල්කරගෙන විජිතනගර හෙවත් විජිතපුරය ගොඩනගන ලද අතර ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී එළාර රජුගේ කාලයේදි මෙය ශක්තිමත් බලකොටුවක් ලෙස සංවර්ධනය වී තිබුණි.
අනුරාධපුර මුල් කාලයේ සිටම විජිතපුරය එම ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු පිළිබඳ වැදගත් කාර්යයභාරයක් ඉටුකරන ලද ප්‍රබල ආරක්ෂක මධ්‍යස්ථානයක් විය. අනුරාධපුර ඇතැම් පාලකයින් සතුරු ආක්‍රමණ එල්ලවන අවස්ථාවන්හිදී ආරක්ෂාව පතා කඳවුරුනුවර හෙවත් විජිතපුර වෙත පලා යන ලදි. එසේ වරින්වර පලා ගිය රජවරුන් විජිතපුර බලකොටුවෙහි ආරක්ෂා සංවිධානය කෙරෙහි උනන්දු වෙමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණාදිය සංවර්ධනය කරන්නට ඇති බවට සැකයක් නොමැත.

කලාවැව ආසන්නයේ පිහිටි විජිතපුර විහාරය නමින් හැඳින්වෙන ඓතිහාසික පූජා භූමිය ආශ්‍රිත ප්‍රදේශය විජිතපුර බලකොටුව තිබූ භූමිය ලෙස ද එහි ඇති ගල් පුවරුවක් දුටුගැමුණු රජුගේ සෙබළුන් විසින් කඩු මුවහත් කිරීම සඳහා භාවිතා කරන ලදැයි ද එබැවින් එය කඩු ගෑ ගල ලෙසින් ව්‍යවහාර වන බවට ද අදහසක් පවතී.

දුටුගැමුණු රජුගේ සෙබළුන් කඩු මුවහත් කරන ලදැයි සැළකෙන කඩු ගෑ ගල
දුටුගැමුණු රජුගේ සෙබළුන් කඩු මුවහත් කරන ලදැයි සැළකෙන කඩු ගෑ ගල

මේ අදහස් අනුව විජිතපුර විහාර පරිශ්‍රයේ විජිතපුර බලකොටුව තිබෙන්නට ඇති බව ගයිගර් මහතා විශ්වාස කරයි. කැකිරාව – තලාව මාර්ගයේ හිරිපිටියාගමට සමීපව ඇති අඩි 50 ක් පමණ උස අඩි 600 පමණ දිග අඩි 15 ක් පමණ පළල විශාල ගල් බැම්ම මේ බලකොටුවේ පවුර ලෙස ඔහු සලකයි. මහාචාර්ය සිරිමල් රණවැල්ල ද ගයිගර්ගේ මතයට එකඟ වෙමින් විජිතපුර බලකොටුවේ බොහෝ නටබුන් කලාවැවට යටවන්නට ඇතැයිද බලකොටුවේ එක් පැත්තක සීමාව කලාඔය වන්නට ඇතැයි ද විශ්වාස කරයි. එහෙත් ඉහත දක්වන ලද ගල් බැම්ම ස්වභාවයෙන්ම පිහිටි එකක් සේ පෙනෙන බව ද ඇතැම් අය ඊට සාමාන්‍ය ගල් කොටස් තබන්නට ඇති බවද කෙසේ වුවත් මෙම බැම්ම බලකොටුව සඳහාම නිර්මාණය කරන ලද පවුරක් නොවන බව පුරාවිද්‍ය්‍යාශූරි එල්ලාවල මේධානන්ද හිමිගේ අදහසයි. විජිතපුර බලකොටුව පොළොන්නරුවේ යම්කිසි ස්ථානයක පිහිටිය යුතු බව පරණවිතාන මහතාගේ විශ්වාසයයි.

ඇතැම් ජනයාගේ විශ්වාසය අනුව විජිතපුර විහාර අවට ප්‍රදේශය විජිතපුර බලකොටුව තිබූ භූමිය ලෙස සැලකීමට ප්‍රමාණවත් සාධක නොමැත. කෙසේ නමුත් මාගම හා අනුරාධපුර අගනගර දෙක අතර පැවති ප්‍රධාන මාර්ගයේ මහවැලි ගඟට උතුරින් ඒ ආසන්නයේම විජිතපුර බලකොටුව තිබෙන්නට ඇති බව ඓතිහාසික මූලාශ්‍රවලින් මෙන්ම ප්‍රත්‍යක්‍ෂ මූලික සාධකවලින් හෙළිදරව් වී තිබේ.

විජිතපුර බලකොටුව සිතියම
විජිතපුර බලකොටුව සිතියම

විජිතපුරය බලකොටුවේ අභ්‍යන්තර සැකැස්ම හඳුනාගැනීම සඳහා සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම් (2010)
විජිතපුරය බලකොටුවේ අභ්‍යන්තර සැකැස්ම හඳුනාගැනීම සඳහා සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම් (2010)

දුටුගැමුණු සේනා විසින් විජිතපුර බලකොටුවට පහරදීම සඳහා කඳවුරු බැඳගත් සමතලා භූමි භාගය කඳවුරුපිටිය බවත් එය කඳවුරුවෙල ලෙසට ව්‍යවහාර වී වර්තමානයේ කදුරුවෙල බවට පරිවර්තනය වී ඇති බවත් අනුමාන කෙරේ. 2009-2010 වර්ෂයන්හිදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොලොන්නරුව ව්‍යාපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මගින් මෙම බලකොටුව හඳුනාගැනීමේ පුරාවිද්‍යා පර්යේෂණ සිදු කරන ලදි. ඒ අනුව වර්ග කිලෝ මීටර 1 ක පමණ භූමියක් පුරා ව්‍යාප්ත වූ වපසරියක දිය අගල් හා ප්‍රාකාරවලින් මෙම බලකොටුව සමන්විතව තිබුණු බවට සාධක හමුවී තිබේ. බලකොටුව සමචතුරස්‍රාකාර වන අතර ඊට අයත් මුළු භූමි ප්‍රමාණය වර්ග මීටර් 1108 ක් පමණ විශාල වේ. එනම් ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර 1.10 කි. අක්කර 273 කි. විශාල භූමි ප්‍රදේශයක් පුරා විසිරී ගිය මෙම බලකොටුව නැගෙනහිර සීමාවෙන් මහවැලි ගඟත් බටහිර දෙසින් තෝපා වැව හා උතුරෙන් පොළොන්නරුව නගරයත් පිහිටි නිසාවෙන් නිරන්තරයෙන්ම සුරක්ෂිත විය.

එසේම ඉහත සඳහන් කළ පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම බලකොටුවේ ගොඩනැගිලි සඳහා භාවිතා කළ ගඩොල්වල ප්‍රමාණය, ඉදිකිරීම් තාක්ෂණය ආදිය කෙරෙහි අවධානය යොමු කිරීමේදී අනුරාධපුර මුල් යුගයට අයත් ඒවා බව හඳුනාගෙන ඇත. ඒ අනුව පුරාවිද්‍යාත්මක කැනීම් මඟින් අනාවරණය වූ ද්‍රව්‍යාත්මක සාධක හා තොරතුරු අනුව ක්‍රිස්තු පූර්ව 161 දී එළාර දුටුගැමුණු මහා සංග්‍රාමය සිදු වූ විජිතපුර බලකොටුව පිහිටියේ කලා වැව ආසන්නයේ නොව පොලොන්නරුවේ බවට විශ්වාස කිරීමට බාධාවක් නොමැත. තවද දුටුගැමුණු සේනා විජිතපුරය ජයගැනීමෙන් අනතුරුව ගිරිලක බළකොටුව අල්ලා ගන්නා ලද බවද ගිරිලක යනු ගිරිතලේ බව ද මේධානන්ද හිමියෝ අනුමාන කරති. ඒ අනුව විජිතපුරය අත්පත් කරගැනීමෙන් ඉනික්බිතිව ඒ ආසන්නයේ පිහිටි ගිරිතලේ අල්ලා ගැනීමෙන් පෙනෙන්නේ විජිතපුරය හා ගිරිතලේ එකිනෙකට සමීපයේ පිහිටා තිබුනු බවත් කලාවැව ප්‍රදේශය ඊට බොහෝ දුරකින් පිහිටා තිබුණු බවත්ය.

කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රයේ බලකොටු නිර්මාණය පිළිබඳ දැක්වෙන උපදෙස් අනුගමනය කරමින් මෙම බලකොටුව ගොඩනංවා ඇත. එම ග්‍රන්ථයේ දැක්වෙන පරිදි බලකොටුවක් සඳහා දිය අගල් තුනක් ස්ථාපිත කළ යුතු වේ. මෙම බළකොටුවේ භූගෝලීය පිහිටීම් අනුව දිය අගල් දෙකක් සාදා ඇති අතර තුන්වැනි දිය අගල ලෙස එක් පැත්තකින් වැව යොදාගෙන තිබේ. බලකොටුවක් ස්ථාපිත කිරීම සඳහා ස්වභාවික පිහිටීම අනුව ඉතාම යෝග්‍ය භූමිය තෝරාගත යුතුය යන කෞටිල්‍ය න්‍යාය මෙම බලකොටුව නිර්මාණයේදි මැනවින් උපයෝගි කරගෙන ඇති බව ප්‍රත්‍යක්‍ෂ වේ.

වැඩිදුර තොරතුරු සඳහා – https://books.google.lk/books?id=X9TeEcMi0e0C&pg=PA124&redir_esc=y#v=onepage&q&f=false

- Advertisement -

More articles

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -spot_img

Latest article

X
X