27.7 C
Colombo
Thursday, October 29, 2020

ලක්දිව පුරාවිද්‍යාත්මක උරුමය හා සම්බන්ධ නෛතික අර්ථනිරූපණ

Must read

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.

සීගිරිය හා එහි රජ උයන

බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.

IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය

මාර්ගගත උරුම දේශන මාලාව - දහ වැනි පියවර ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය ඇහුම්කන් දෙන්න, මෙම විෂයේ ප්‍රාමාණිකයෙකුට, අපේ රටේ අතීතයේ මිනිසුන් භාවිතා කල මාර්ග පද්ධතිය පිළබඳ දැන ගන්න. ආචාර්ය පී විදානපතිරණ, විශ්‍රාමික කථාකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සාමාජික, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව විසින් 2020 ජුනි 08 වැනි සඳුදා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවත්වු දේශනයේ පටිගත කල දේශනය.

බැරගම සද්ධානන්ද හිමි හා යමුනා හේරත්

පාළි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, හෝමාගම.

හැඳින්වීම

පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

අතීත මානවයාගේ ක්‍රියාකාරිත්වයෙන් ශේෂ වූ ද්‍රව්‍යමය සාධක පුරාවිද්‍යාත්මක උරුමය යන්නෙන් සරලව අර්ථ දැක් වේ. ඊට චංචල හා නිශ්චල මෙන්ම ස්පර්ෂ කළ හැකි හා ස්පර්ෂ කළ නොහැකි අරුමය අයත් වේ. ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා ශික්‍ෂණයේ ආරම්භක අවධියේ දී නිධන්වස්තු යනුවෙන් ව්‍යවහාර වූ මෙම වචනය පසු කාලීනව පිළිවෙලින් පුරාවස්තු හා පුරාවිද්‍යාත්මක උරුමය යනුවෙන් හැඳින් වූ අතර වර්තමාන ශාස්ත්‍රය ලෝකයේ එය ද්‍රව්‍යාත්මක සංස්කෘතිය යනුවෙන් හඳුන්වනු ලැබේ. ද්‍රව්‍යාත්මක සංස්කෘතියේ අද ව්‍යවහාර වන වචනයේ වචනාර්ථය ඉහත ආකාරයට සරලව අපට අර්ථ දැක්විය හැකි වුව ද එම වචනයේ ව්‍යාංගාර්ථය සරලව ගිනිය නො හැකි ය.

පුරාවිද්‍යාත්මක උරුමය යනු පොදු මතක පද්ධතියකි. එය කාලය හා අවකාශය හරහා ගමන් කිරීමේ දී තත්කාලීන සමාජයේ සිදු වූ දේශපාලන, ආර්ථික, ආගමික, සාමාජික මෙන්ම සංස්කෘතික සාධක සහිත උරුමයක් බවට පත් වේ. එය හුදෙක්ම පොදු මතක පද්ධතියකි. එම පොදු මතක පද්ධතිය හෙවත් පුරාවිද්‍යාත්මක උරුමය කිසිදු ජාතියකට, ආගමකට හෝ කාලයකට සීමා නොවේ. එය සමස්ත මානව ජනසමාජයම නියෝජනය කරන සමස්ත මානව ජන සමාජයට අයත් සාධනීය අතීත වාර්තාවකි. ඒ අනුව, යම් නිර්මාණයක් කාලය හා අවකාශය හරහා ගමන් කිරීමේ දී පොදු මතක පද්ධතියක් බවට පත්ව භෞතික වටිනාකමෙන් ඔබ්බට ගිය වටිනාකමක් සහිත ඕනෑම දෙයක් පුරාවිද්‍යාත්මක උරුමය ලෙස අර්ථ ගැන්වීම වඩා නිවැරදිය.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමය පිළිබඳ ප්‍රඥප්ති හා ආඥාපනත් සම්පාදනය කිරීමේ නෛතික බලය හිමි ආයත අතර ප්‍රමුඛස්ථානය පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට හිමි වේ. මෙම ආයතනය ශ්‍රී ලාංකේය උරුමය ආරක්ෂා කිරීම සඳහා මෙතෙක් සම්මත කරගෙන ඇති ලේඛනයන්හි පුරාවිද්‍යාත්මක උරුමය හෙවත් ද්‍රව්‍යාත්මක සංස්කෘතිය පිළිබඳ නෛතික විවරණ හා අර්ථකථන පැහැදිලිව සඳහන් කර ඇත. මෙම ලිපියෙහි මූලික අරමුණ පුරාවිද්‍යා ප්‍රඥාප්ති හා ආඥාපනත් ඇසුරින් පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ අර්ථකථන හා විග්‍රහයක් පිළිබඳව කරුණු පිරික්සීමයි. මෙහි දී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට අමතරව කෞතුකාගාර දෙපාර්තුමේන්තුව, ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තුමේන්තුව මෙන්ම සංස්කෘතික දේපළ රැක ගැනීමට අදාළ ප්‍රඥප්ති හා ආඥාපනත් සම්මත කරගෙන තිබෙන සෙසු ආයතනවලට අයත් ප්‍රඥප්ති පිළිබඳව ද අඩු වැඩි වශයෙන් මාතෘකාවට අදාළ අවධානය යොමු කිරීමට අපේක්ෂිත ය.

ඓතිහාසික අගය

1890 දශකයේ දි ලක්දිව පුරාවිද්‍යා සමික්ෂණය ආරම්භ කිරීමට පූර්වයේ සිටම සංස්කෘතික හා ස්වාභාවික උරුමය ආරක්ෂා කිරීමට මෙරට වැසියන් කටයුතු කළ ආකාරය ඓතිහාසික මුලාශ්‍රය මගින් පැහැදිලි වේ. ඊට කදිම උදාහරණය නම් 1815 සම්මත වු උඩරට ගිවිසුමේ උරුම ආරක්ෂා කිරීම බ්‍රිතාන්‍යය ජාතිකයන්ගේ වගකීමක් බව දැක්වීමයි. ඊට අමතරව ශ්‍රී ලාංකේය උරුමය ආරක්ෂා කිරීම සඳහා 1888 වර්ෂයේ දී සම්මත වු නිධන්වස්තු ආඥාපනත ද ඊට කදිම නිදර්ශනයකි.

1888 වර්ෂයේ අංක 17 දරණ නිධන්වස්තු ආඥාපනත නමින් සම්මත වූ ප්‍රථම පුරාවිද්‍යා ආඥාපනතින් පසුව තත්කාලීන සමාජ සන්දර්භයට ගැලපෙන ආඥාපනත් කිහිපයක් සමාජ ගත විය. මෙම ප්‍රඥප්තිවල සෘජු අරමුණ වූයේ ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂා කිරීමට අදාළ නෛතික බලය පවත්වා ගෙනයාමයි. ඊට අමතරව අදාළ ආයත ව්‍යුහවයේ පරිපාලන කටයුතු මැනවින් පවත්වාගෙන යාමට අවශ්‍ය අවකාශය පුරණය කිරීම ද අරමුණකි. 1888 වර්ෂයේ ප්‍රකාශිත ප්‍රථම ප්‍රඥප්තියෙන් වර්ෂ දොලහකට පසු 1900 අංක 15 දරන පුරාවස්තු ආඥාපනත සම්මත වන අතර ඉන් වර්ෂ හතලිහකට පමණ පසු යාවත්කාලීන සමාජ චින්තනයට ගැළපෙන 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත සම්මත වේ. මෙම ආඥාපනත ප්‍රකාශයට පත්කිරීමේ පුරෝගාමියා වන්නේ ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාවේ ප්‍රථම දේශිය කොමසාරිස්වරයා ලෙස සැළකෙන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාය. මෙතුමා 1932 වර්ෂයේ සිට අවස්ථා කිහිපයක දි අදාළ අමාත්‍යවරයාට සහ රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීමේ දී නෛතික පසුබිමේ පවතින අවශ්‍යතාව පැහැදිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වගන්ති 49කින් යුක්ත දීර්ඝ පනතක් ලෙස සම්මත විය.

ප්‍රධාන පනත හෙවත් 1940 අංක 9 දරන පනතේ ප්‍රථම සංශෝධනය 1955 වර්ෂයේ දී සිදුවන අතර එහි දෙ වන සංශෝධනය 1998 වර්ෂයේ අංක 24 දරන පනත නමින් සම්මත විය. මෙම ප්‍රඥප්ති ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ හැරවුම් ලක්‍ෂය ලෙස විචාරකයන් හඳුන්වන අතර පුරාවිද්‍යා නෛතික අගය ප්‍රමාණවත් පරිදි සංවර්ධනය වීම හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ ආයතන පරිපාලන කටයුතු වඩාත් ශක්තිමත් අයුරින් ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිම ඊට හේතුවයි.

1988 වර්ෂයේදී අංක 73 දරන පනත යනුවෙන් ශ්‍රී ලාංකේය සංස්කෘතික දේපළ රක්‍ෂණය සඳහා පනතක් සම්මත වු අතර 2006 වර්ෂයේ දී පුරාවිද්‍යා ප්‍රතිපත්ති ඇතුළත් ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය සම්මත විය. ඊට අමතරව ස්ථානිය පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂා කිරීම සඳහා අවස්ථා කිහිපයක දී පනත් කිහිපයක් සම්මත වීම. පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයකි. එහිදී 1994 අංක 7 දරන ගාලු උරුම පනත හා 1998 අංක 2 දරන සීගිරි උරුම පදනම පනත වැදගත් කොට සැළකිය හැකි ය.

සාකච්ඡාව

1888 අංක 17 දරන පනතේ නිධන්වස්තු අර්ථ දක්වා ඇත්තේ මෙසේය.

Treasure Trove shall mean any  money,  coin, gold, silver, plate,  bullion, precious stone, antiquities or anything of any value found hidden in or in anything affixed to the  earth and the owner of which is unknown  or cannot be  found

මෙම පනතට අනුව පොළොවෙන් සොයා ගන්නා කිසිඳු නිධන් වස්තුවක් සම්බන්ධයෙන් අයිතිවාසිකම් කීම කිසිඳු පුද්ගලයෙකුට හැකියාවක් නොලැබේ. එහි සම්පූර්ණ අයිතිය රජය සතු බව අවධාරණය කර ඇත. ඒ අනුව පැහැදිලි වශයෙන්ම තත්කාලීන සමාජයේ සිදු වූ නිධන්වස්තු කොල්ලය පාලනය කිරීම සඳහාම සම්මත වු පනකි. එය “This ordiuance may be eited as the Treasure Troue Ordinance”  යනුවෙන් දක්වා තිබීමෙන් පැහැදිලි වේ.

මෙම ප්‍රඥප්තියේ නිධන්වස්තු ආරක්ෂාකර ගැනීිමට අදාළ වගන්ති සම්පාදනය කර තිබුණ ද ශ්‍රි ලංකාවේ සංස්කෘතික දේපළ ආරක්ෂා කර ගැනීිම පිළිබඳව හෝ එහි අර්ථකථන පිළිබඳව අවධාරණය නො කිරීම ගැටලුවකි. දැනුවත්ව හෝ නො දැනුවත්ව ද්‍රව්‍යාත්මක සංස්කෘතියට හෙවත් පුරාවිද්‍යාත්මක උරුමය නිධන්වස්තු යනුවෙන් ආමන්ත්‍රණය කිරීම ද වර්තමාන පුරාවිද්‍යා උරුමය හා සම්බන්ධ සමාජ ගැටලු නිර්මාණය කිරීමේ ආරම්භක අවස්ථාව මෙම ප්‍රඥප්තිය බව පෙනේ. එනම් වගන්ති 10කින් යුක්ත ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුම සංරක්‍ෂණය හා සම්බන්ධ ප්‍රථම පනතේ නිධන්වස්තු යනුවෙන් නම් කිරීම සාධනීය ගැටලුවකි. ඒ අනුව 1888 අංක 17 දරන ප්‍රඥප්තියේ පුරාවිද්‍යාත්මක උරුමය හා සම්බන්ධ පැහැදිලි නිර්වචනයක් ලබා දී නොමැති බව පෙනේ.

1900 අංක 15 දරන දෙ වන පනතේ පුරාවිද්‍යාත්මක උරුමය හා සම්බන්ධ තත්කාලීන සමාජයට ගැලපෙන පැහැදිලි අදහසක් ලබා දී ඇති බව පෙනේ. මෙහි දී වර්තමානයේ අප ද්‍රව්‍යාත්මක සංස්කෘතිය යනුවෙන් හඳුන්වන පුරාවිද්‍යාත්මක උරුමය පුරාවස්තු යනුවෙන් අර්ථ දක්වයි. එනම් “ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන හෝ පවතින හෝ සොයාගනු ලබන හෝ උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන් පවරා ගැනීමට පෙර කාලසීමාවක සිට පැවත එන නැතිනම් පැවත එතැයි විශ්වාස කරන දේවල් පුරාවස්තු ලෙස දක්වයි” (ආඥාපනත 1900 අංක 15, 2 වන වගන්තියේ 1 උප වගන්තිය)

ඒ අනුව “ප්‍රතිමා නෙලණු ලැබූ හෝ සකස් කරනු ලැබූ සියලු වර්ගවලට අයත් ගල් හෝ කිරිගරුඬ තහඩුවල මුද්‍රිත චිත්‍ර කැටයම් කරනු ලැබූ රූප, ශිලා ලේඛන, පින්තාරු කරන ලද චිත්‍ර, ලියවිලි සහ යම් ද්‍රව්‍යයක් මත ඒවා දක්නට ලැබේ නම් එවැනි ද්‍රව්‍ය පිඟන් භාණ්ඩවල තහඩුවල හෝ ලෝහ භාණ්ඩවල සහ රෙදිපිළිවල යෙදූ චිත්‍ර කාසි මැණික් සහ මුද්‍රා ස්වර්ණභරණ යුද්ධායුධ මෙවලම් විසිතුරු භාණ්ඩ හා චංචල දේපල වන සෙසු කලාත්මක ද්‍රව්‍ය” ඊට අයත් වේ. විහාර, පල්ලි, කරන ලද ගොඩනැඟිලි ස්මාරක සොහොන්කොත් හෝ වෙනත් නිර්මාණයන් හෝ වෙනත් එවැනි ස්වභාවයේ නිශ්චල දේපල මෙහි දී නිශ්චල පුරාවස්තු ලෙස අර්ථ දක්වයි.

1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනතේ “පැරණි ස්මාරක” යටතේ පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ අර්ථ දැක්වේ. එය 1900 අංක 15 දරන පනත හා සසඳන විට පුරාවිද්‍යාවේ ඉදිරි පියවරකි. එනම් “ක්‍රි.ව. 1850 ජනවාරි 1 වන දිනට පෙර කාල සීමාවක සිට පැවත එතැයි අනුමාන කරනු ලබන යම් නිශ්චිත ස්මාරකයක් පැරණි ස්මාරකයක්” ලෙස දක්වයි. (ආඥාපනත 1940 අංක 9:16 වන වගන්තියේ 1වන උපවගන්තිය) මෙය පැරණි ස්මාරක හා සම්බන්ධ පැහැදිලි කාලනිර්ණයක් ලබාදුන් ප්‍රථම අවස්ථාව වේ. මෙහි දී පුරාවස්තු යනුවෙන් ප්‍රතිමා නෙලනු ලැබූ හෝ සකස් කරනු ලැබූ සියලු වර්ගවලට අයත් ගල් හෝ කිරිගරුඬ තහඩුවල මුදාිත චිත්‍ර කැටයම් කරනු ලැබූ රූප, ශිලාලේඛන පින්තාරු කරන ලද චිත්‍ර ලියවිලි සහ යම් ද්‍රව්‍යයක් මත ඒවා දක්නට ලැබේ නම් එවැනි ද්‍රව්‍ය පිඟන් භාණ්ඩවල තහඩුවල ලෝහ භාණ්ඩවල සහ රෙදිපිළිවල යෙදූ චිත්‍ර කාසි මැණික් මුද්‍රා ස්වර්ණාභරණ යුද්ධායුධ මෙවලම් විසිතුරු භාණ්ඩ සහ චංචල දේපළ වන සෙසු කලාත්මක ද්‍රව්‍ය අයත් වන බව දැක්වේ.

මෙහිදී “ස්මාරකය” යන්නෙන් යම් විහාරයක් දේවස්ථානයක් ගොඩනැඟිල්ලක් ස්මාරකයක් හෝ වෙනත් නිර්මාණයක් හෝ ඉදිකිරීමක් හෝ යම් සොහොනක් ස්තූපයක් හෝ භූමදානය කිරීමේ වෙනත් ස්ථානයක් හෝ එබදු ස්වාභාවයකින් යුක්ත අන්කිසි නිශ්චල දේපළක් හෝ එහි යම් කොටස් හෝ එහි නෂ්ටාවශේෂ අයත් වන බව දක්වයි.

රජයේ ඉඩමක හෝ වෙනත් ඉඩමක වැවෙන ගසක් කෙතරම් ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත වන්නේ ද එම ගසේ සුරක්‍ෂිතභාවය හෝ ආරක්ෂාව සැලසීම පිණිස අමාත්‍යවරයාට එම ගස ස්මාරකයක් ලෙස නම් කිරීමේ නෛතික පසුබිම පවතින බව ද අවධාරණය කර ඇත. එය හුදෙක් ම ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුම සංරක්‍ෂණ සඳහා නෛතික පසුබිම පුරණය කිරීමේ වැදගත් අවස්ථාවකි.

ශ්‍රී ලංකාව සතු සංස්කෘතික දේපළ ආරක්‍ෂා කිරීම අරමුණින් 1988 වර්ෂයේ දී නව පනතක් ඉදිරිපත් වේ. සංස්කෘතික දේපළ අපනයනය පාලනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ප්‍රකාශයට පත් මෙම පනත 1988 අංක 73 දරන පනත යනුවෙන් හැඳින්වේ. මෙම පනතේ පුරාවස්තු යන්න අර්ථ දක්වා ඇත්තේ මෙසේ ය. ප්‍රථිමා නෙලනු ලැබූ හෝ සකස් කරනු ලැබූ ගල් හා සියලු වර්ගවලට අයත් කිරිගරුඩ තහඩුවල මුද්‍රිත චිත්‍ර කැටයම් කරනු ලැබූ රූප ශිලා ලේඛන පින්තාරු කරන ලද චිත්‍ර ලියවිලි සහ යම් ද්‍රව්‍යයක් මත ඒවා දක්නට ලැබේ නම් ඒ ද්‍රව්‍ය පිගන් ගඩොල් කර්මාන්තය පිළිබඳ වූ කැටයම් ශිල්පය පිළිබඳව වූ ලෝහ විද්‍යාත්මක හා පේෂ කාර්මික කලාව පිළිබඳ වූ ආදර්ශක කාසි මැණික් වර්ග මුද්‍රා කපා ඔප දැමූ මැණික් වර්ග රන් රිදී මුතු මැණික් ආදියෙන් සෑදූ ආභරණ, ගෘහ උපකරණ, යුද්ධායුධ මෙවලම්, සැරසිලි සහ චංචල දේපළ වන සෙසු සියලු කලාත්මක ද්‍රව්‍ය අයත් වන බව දක්වයි.

“සංස්කෘතික දේපළ” යන්නට ආගමික හෝ ලෞකික හේතු මත පුරාවිද්‍යාව, ප්‍රාග් ඉතිහාසය, ඉතිහාසය, සාහිත්‍ය කලාව හෝ විද්‍යාව සඳහා වැදගත් වන්නේ යැයි ආමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව අමාත්‍යවරයා විිසින් නිශ්චිතව නම්කොට ඇත්තා වූ ද මෙහි පහත දැක්වෙන ගණනයන්ගෙන් එකකට අයත් වන්නා වූ ද දේපළ ඇතුළත් වන බව දක්වා ඇත.

  •  එක්රැස් කළ දුර්ලභ වනසත්ව වාක්ෂලතා ඛණිජ ද්‍රව්‍යවල සහ ඇටසැකිලිවල ආදර්ශක
    (අ) විද්‍යාවේ සහ තාක්ෂණයේ ඉතිහාසය යුද්ධ හා සමාජ ඉතිහාසය ඇතුළු ව ඉතිහාසයට සම්බන්ධ දේවල්
    (අ) ජාතික නායකයන්ගේ චින්තකයන්ගේ විද්‍යාඥයින්ගේ සහ කලාකරුවන්ගේ ජීවිතයට සම්බන්ධ දේපළ
  • පුරාවිද්‍යා කැණීම්වලින් හෝ පුරාවිද්‍යා ගවේෂණවලින් ලැබුණු වස්තු
  • කැඩී බිදී ඇති කලාත්මක හෝ ඓතිහාසික ස්මාරකවල හෝ පුරාවිද්‍යාත්මක බිම්වල කොටස්
  • අවුරුදු සියයකට වඩා පැරණි ලියවිලි කාසි මුදල්නෝට්ටු සහ කැටයම් කළ මුද්‍රා ආදී පෞරාණික භාණ්ඩ
  • මානවවිද්‍යාත්මක වටිනාකමක් ඇති භාණ්ඩ
  • අතින් ම පමණක් කරන ලද පින්තූර චිත්‍ර හා සිතුවම්
  • ප්‍රථිමා කලාවේ හා මූර්තිවල මුල් ලකුණු
  • මුල් කැටයම් මුද්‍රණ හා අච්චු මුද්‍රණ
  • දුර්ලභ අත්පිටපත් පැරණි පොත් ලියකියවිලි චිත්‍ර සිතියම් පිඔුරු සහ විශේෂ වැදගත්කමින් යුත් ප්‍රකාශන
  • තැපැල් ආදායම් හා වෙනත් ඒ හා සමාන මුද්දර
  • පෞරාණික ලේඛන
  • අවුරුදු සියයකට වඩා පැරණි ගෘහභාණ්ඩ
  • පැරණි සංගීත භාණ්ඩ ආදී අංග සංස්කෘතික දේපළ ගණනට අයත් වන බව පැහැදිලි ව සඳහන් කර ඇත.

1940 අංක 9 දරන පුරාවස්තු ප්‍රධාන ප්‍රඥාප්තියේ දෙවන සංශෝධනය ලෙස සැළකෙන 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පහත ආකාර කිහිපයකින් අපට වැදගත් වේ. මෙහිදී 1940 අංක 9 දරන පනතේ 48වන වගන්තිය සංශෝධනයට ලක්කර ඇත. එහි දී “පුරාවස්තු” යන වචනයට “පුරාවිද්‍යාත්මක උරුමය” යනුවෙන් නව වචනයක් ඇතුළත් කොට ඇත. එහි දී මනුෂ්‍ය වර්ගයාගේ භෞතික උරුමයේ යම් කොටසක් පිළිබඳ ප්‍රාථමික තොරතුරු පුරාවිද්‍යාත්මක ක්‍රමවලින් සැපයෙන්නේ ද ඒ කොටස අදහස් වන අතර ඊට මානව පැවැත්වේ සියලු ශේෂ ලාංජන සහ මානව ක්‍රියාකාරිත්වයේ සියලු ලක්‍ෂණවලට අදාළ ස්ථාන ද අත්හැර දමන ලද ස්ථාන ද (පොළොව යට සහ දියයට සියලු ස්ථාන සහිත) සියලු වර්ගවල නෂ්ටාවශේෂ සහ ඒවා ආශ්‍රිත සියලු සංස්කෘතික ද්‍රව්‍ය ඇතුළත් වන බව දක්වයි (ආඥාපනත 1998 අංක 24,16 වන වගන්තිය).

1940 ආඥාපනතේ “පැරණි ස්මාරකය” 1850 ජනවාරි 1 දිනට පෙරසිට පැවත එන දේවල් ලෙස දක්වා තිබුණ ද 1998 සංශෝධිත පනතේ එය අවුරුදු සියයකට හෝ අඩු කාල පරිච්ඡේදයක සිට පැවත එන හෝ එසේ වන්නේ යැයි විශ්වාස කරන නිර්මාණ පැරණි ස්මාරක ලෙස පිළිගත හැකි බව දක්වයි. එසේම 1940 අංක 9 ආඥාපනතේ “ස්මාරකය” හා සම්බන්ධ ඇතුළත් කර තිබූ අර්ථනිරූපණයට පුළුල් අදහසක් සංශෝධිත නව ප්‍රඥප්තියට ඇතුළත් වේ. එනම් “ස්මාරකය” යන්නෙන් යම් ගොඩනැඟිල්ලක් හෝ වෙනත් ව්‍යුහයක් හෝ ඉදිකිරීමක් හෝ යම් සොහොන් ගෙයක් ස්තූපයක් හෝ වෙනත් භූමදාන ස්ථානයක් හෝ එවැනි ස්වාභාවයේ වෙනත් යම් නිශ්චල දේපළක් හෝ ඒවායේ යම් කොටසක් හෝ නෂ්ටාවශේෂ හෝ ඓතිහාසික හෝ ප්‍රාග් ඓතිහාසික ජනාවාස හෝ ක්‍රියාකාරකමක ද්‍රව්‍යමය නෂ්ටාවශේෂ සොයාගත හැකි වෙනත් යම් ස්ථානයක් හෝ අදහසක් වන අතර යම් ස්මාරකයක් ඇති ස්ථානයක් හා යම් ස්මාරකයක් වටා වැට බැදීම හෝ එය ආවරණය කිරීම හෝ අන්‍යාකාරයකින් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය විය හැකි එවැනි ස්ථානයකට යාබද ඉඩමක යම් කොටසක් ඊට ඇතුළත් විය හැකි බව වැඩි දුරටත් දක්වයි.

2006 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරාවිද්‍යා ප්‍රතිපත්තියෙහි “පුරාවිද්‍යාත්මක ස්මාරක” විස්තර කරනු ලබන්නේ පුරාවස්තු ආඥාපනත මගින් විස්තර කර ඇති පරිදි පුරාණ මනුෂ්‍ය ක්‍රියාකාරිත්වය හෝ ජනාවාසයක් පිළිබිඹු කරන ද්‍රව්‍යාත්මක සාධක සහිත ස්ථානයක් ලෙසය. මෙහි දි චංචල පුරාවස්තු විස්තර කිරීමේ දී 1815 පෙර යුගයකට කාලනිර්ණය කළ හැකි චංචල මනුස්‍ය නිර්මාණයෝ අයත් වන බව දක්වන අතර ස්පර්ශ කළ නොහැකි සංස්කෘතික උරුමය වුව ද පුරාවිද්‍යාත්මක උරුමය කළමනාකරණයේ දී අදාළ වන්නේ නම් ඒවා ද පුරාවිද්‍යාත්මක උරුමය යන පුළුල් නිර්වචනයට ඇතුළත් වන බව වැඩි දුරටත් විස්තර වේ.

සාරාංශය

වර්තමාන සමාජ සන්දර්භය ද්‍රව්‍යාත්මක සංස්කෘතිය යනුවෙන් අප හඳුනා ගන්නා පුරාවිද්‍යාත්මක උරුමයෙහි ප්‍රාථමික වචනය නිධන්වස්තු හා පුරාවස්තු යනුවෙන් හැඳින් වේ. අතිත මානව ජනෙසමාජ ව්‍යුහය ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කරන ගනුදෙනු කරනු ලබන පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂා කිරීම ලෝක හා කලාපීය මෙන්ම රටවල් මට්ටමෙන් සිදු වේ. එහිදී ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමි වන අතර 1888 වර්ෂයේ සිට මේ දක්වා එහි කාර්යය සඳහා දායක වීමක් සිදු වේ.

ආශ්‍රිත ග්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • ගුණවර්ධන, ප්‍රිශාන්ත (2005), පුරාවිද්‍යා උරුමය ආකෘති සංකල්ප සහ කළමනාකරණය, සමන්ති පොත් ප්‍රකාශකයෝ, ජාඇල.
  • සද්ධානන්ද හිමි, බැරගම (1998), අංක 24 දරණ පුරාවස්තු (සංශෝධන) පනත (අන්තර්ගතය හා වැදගත්කම පිළිබඳ විමසුමක්), පුරාවිද්‍යා ශාස්ත්‍රීය සංග්‍රහය – මංගල කලාපය 2016, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, පිටු අංක 160-168
  • සිරිමල්වත්ත, කේ.එම්. (2016) පුරාවිද්‍යාව හඳුනා ගනිමු, විජේසුරිය පාඨක පදනම.
  • සිරිලාල්, කේ.එම්. (2016) 1940 අංක 9 දරණ පුරාවස්තු ආඥාපනත (අන්තර්ගතය හා වැදගත්කම පිළිබඳ විමසුමක්) පුරාවිද්‍යා ශාස්ත්‍රීය සංග්‍රහය – මංගල කලාපය 2016, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, 142-149
  • ගවේෂණ හා ලේඛනගත කිරීමේ අංශය (1997), 1940 අංක 9 දරණ පුරාවස්තු ආඥාපනත, සිංහල පරිවර්ථනය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
  • නිධන්වස්තු සුරක්ෂිත කිරීමේ පනත (Treasure Trove Ordinance) 1888
  • 1900 අංක 15 දරණ පුරාවස්තු ආඥාපනත
  • 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත, සෙනරත් පරණවිතාන මහතා
  • 1988 අංක 73 දරණ සංස්කෘතික දේපළ පනත
  • 1998 අංක 24 දරණ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමය පිළිබඳ ආඥාපනත
  • 2000 අංක 01 දරණ ව්‍යාපෘති නියෝග කාර්ය පටිපාටි
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2020.01.09 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

More articles

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -

Latest article

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.

සීගිරිය හා එහි රජ උයන

බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.

IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය

මාර්ගගත උරුම දේශන මාලාව - දහ වැනි පියවර ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය ඇහුම්කන් දෙන්න, මෙම විෂයේ ප්‍රාමාණිකයෙකුට, අපේ රටේ අතීතයේ මිනිසුන් භාවිතා කල මාර්ග පද්ධතිය පිළබඳ දැන ගන්න. ආචාර්ය පී විදානපතිරණ, විශ්‍රාමික කථාකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සාමාජික, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව විසින් 2020 ජුනි 08 වැනි සඳුදා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවත්වු දේශනයේ පටිගත කල දේශනය.

IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.

මාර්ගගත උරුම දේශන මාලාව - නව වැනි පියවර වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ ගොඩවාය වරාය හා ඒ අවට මුහුදේ ගීලි ඇති වසර දෙදහසක්(2000) පමණ පරණ නැව පිළිබඳ එම පරීක්ෂණ වලට සම්බන්ධ වු මුහුදු පුරාවිද්‍යාඥයෙකුගෙන් දැන ගන්න. සවන් දෙන්න.
X
X