29 C
Colombo
Monday, October 18, 2021

පරාක්‍රම සමුද්‍රයේ වාරි උරුමය මත ඉදිවන ඇවිදින මංතීරුව තුළින් මතුවන සංස්කෘතික උරුමය පිළිබඳ පුළුල් කතිකාවක කාලීන අවශ්‍යතාව

Must read

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉඳි කරන්නට ආරම්භ කොට මහජන විරෝධය නිසා අතරමග තාවකාලිකව නතර කළ ඇවිදින මංතීරුව පිළිබඳ සමාජ කතිකාවක් ගොඩනැගී ඇත. භික්ෂුන් වහන්සේ ඇතුළු මහජන විරෝධය හමුවේ තාවකාලිකව නතර කරන ලද මෙම ව්‍යාපෘතිය, නැවත ඇතැම් භික්ෂුන්වහසේගේ ද සහාය ඇතිව පණ ගසා නැගිටින අයුරු පෙනේ. මෙම ඇවිදින මංතීරුව පිළිබඳ මෙතෙක් සිදු කෙරී ඇති සාකච්ඡාවලින් බොහොමයක් ශාස්ත්‍රීය කරුණු මත පදනම් වුවකට වඩා හුදු විරෝධයක් හෝ තවත් දේශපාලනික අරෝවන් පිරිමසා ගැනීමක් ලෙස සිදුවීම කණගාටුදායක ය.

පරාක්‍රම සමුද්‍රය
පරාක්‍රම සමුද්‍රය. ඡායාරූපය එම්. දිනිදු

ඇවිදින මංතීරුව
භික්ෂුන් වහන්සේ ඇතුළු මහජන විරෝධය ඡායාරූපය LankaNewsWeb

මෙම මංතීරු ව්‍යාපෘතියේ මෙන් ම මීට පෙර වැව් බැමි මත ඉදිකරන ලද මංතීරු හා ඉදිරියේ විවිධ වැව්  බැමි මත ඉදිකිරීමට යෝජිත තවත් මංතීරු ගණනාවක් ගැනත්, ඒ සඳහා වෙන්කරන ලද විශාල මුල්‍ය ප්‍රතිපාදන ගැනත් තොරතුරු අනාවරණය වෙමින් පවතී. ශ්‍රී ලාංකේය වාරි ශිෂ්ටාචාරයේ මුල්ම ඓතිහාසික වැව්  තුනෙන් අදටත් ජීවමාන ක්‍රි.පු. පස්වන ශත වර්ෂයේ  දී පමණ ඉදිකරන ලද බසවක්කුලම (අභයවැව) වැව් බැම්ම මත ද ඇවිදින මංතීරුවක් ඉදිකොට ඇතැයි කියැවේ. ක්‍රි.පු. තුන් වන සියවසේ ඉදිකරන්නට ඇතැයි සැළකෙන රෝහණ රාජ්‍යයේ පිහිටි තිස්ස වැවේ ද ඇවිදින මංතීරුවක් ඉදිකොට ඇති අතර, පුරාවිද්‍යාත්මක හානි ඇගයීමක් නොකොට එම වැව යන්ත්‍රානුසාරයෙන් කැණීම පිළිබඳ අර්බුදයක් ද මතුවිය.  දහතුවන් වන ශත වර්ෂයේ  මැද භාගයේ ඉඳිකරන ලද පරාක්‍රම සමුද්‍රය එම වාරි ශිෂ්ටාචාරයේ බිඳ වැටීමේ අවදිය සනිටුහන් කරයි. ආන්දෝලනයට ලක් ව ඇති ඇවිතින මංතීරුව දැන් ඉදිවන්නේ එම වැවේ බැම්ම මත ය.

අභයවැව
බසවක්කුලම (අභය) වැවේ බැම්ම මත ඉදිකරන ලද ඇවිදින මංතීරුව – ඡායාරූපය පුජ්‍ය  කැලේගම ජින්රතන හිමි

මෙම වැව් තුන ම ශ්‍රී ලාංකේය වාරි  ශිෂ්ටාචාරයේ  සුවිශේෂී  සන්ධිස්ථාන  සනිටුහන් කරනවා සේ ම, ඒවා ජන විඥානය තුළ ශ්‍රී ලාංකේය වාරි ශිෂ්ටාචාරයේ සංකේත බවට පත්ව ඇත. වන්දනා නඩවල හා විනෝද චාරිකාවල නඩේ ගුරන් සේ ම පාසැල් දරුවන් අධ්‍යාපන චාරිකාවල ගෙන යන ගුරුවරුන් ද මෙකි වැව් බැමි මත දී ලාංකේය වාරි ශිෂ්ටාචාරයේ පදනම, එහි අංග හා මහා පරාක්‍රමබාහුගේ වාරි දර්ශනය  පිළිබඳ ව කරුණු කියන අයුරු මා අත්දැක ඇත. පර්යේෂකයෙකු  ලෙස පුද්ගලිකව ද, ආචාර්යවරයෙකු ලෙස සිසුන් සමග ද වරින් වර මා ද බසවක්කුලම හා පරාක්‍රම සමුද්‍රය යන ස්ථාන දෙකට ම  යන්නේ ඉහත කරුණු නිසාය. මේ වැව් සේම ලංකාවේ සෑම වැවක් ම ඒවාට ම ආවේණික වු සුවිශේෂී ලක්ෂණවලින් යුක්තවන අතර ඒවා පිළිබඳ කටයුතු කරන වාරි ඉංජිනේරුවන් සෑම වැවක් පිළිබඳව ම වෙන වෙන ම අවධානය යොමු කළ යුතු බව ජේ. එස්. කෙනඩි නම් වූ ලංකාවේ වාරි මාර්ග පිළීබඳ පර්යේෂණ ඉංජිනේරුවා ප්‍රකාශ කළේ 1937 දී ය. ලංකාවේ පැරණි වාරි කර්මාන්ත අශ්‍රිතව කරනු ලබන සියළු සංවර්ධන කටයුතුවල දී  නිසි පුරාවිද්‍යාත්මක හානි ඇගයීමකින් තොරව සිදුකළහොත් ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයේ ආර්ථික පදනමේ ද්‍රව්‍යාත්මක සාක්ෂි නැවත ගොඩ නැගිය නොහැකි ලෙස සදාකාලිකව ම අතුරුදහන් වනු ඇත.

යථෝක්ත කරුණු නිසාත්, ලංකාවේ පැරණි වාරිකර්මාන්ත හා දේශීය දැනුම් පද්ධතීන් මාගේ එක අධ්‍යයන ක්ෂේත්‍රයක් නිසාත් පරාක්‍රම සමුද්‍රයේ ඉදි කරන්නට යෝජිත මංතීරුව හා එම ඉදිකිරීම නිසා වාරි උරුමයට වියහැකි බලපෑම පිළිබඳ කරණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කළෙමි. මහනුවර මුලික අධ්‍යයන ආයතනයේ (Institute of Fundamental Studies – IFS) දර්ශනය හා සමාජවිද්‍යා අධ්‍යයන අංශය යටතේ වූ ‘ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්‍ෂණය’ ව්‍යාපෘතියේ එක් දිගුකාලීන පර්යේෂණ ක්ෂේත්‍රයක් වුයේ වාරි තාක්‍ෂණය යි. මම එම ව්‍යාපෘතියේ  පර්යේෂකයෙකු ලෙස වසර හතරක පමණ කාලයක් කටයුතු කළ අතර ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි වැව් අමුණු සොරොව් සියගණනක් ඒ යටතේ අධ්‍යයනය කළෙමි. පරාක්‍රම සමුද්‍රය ද එම අධ්‍යයනවලට අයත් විය.  පරාක්‍රම සමුද්‍රයේ බැම්මේ කලහගල  අන්තය හා අඹන් ගඟ අතර ඇති භූ වැවේ පැරණි බිසෝකොටුව සොයා ගන්නා ලද්දේ ද කැණීම්  කරන ලද්දේ ද මා ද ඇතුළත් වූ ආචාර්ය මාතා ප්‍රිකට් මහත්මියගේ නායකත්වයෙන් යුතු IFS පර්යේෂණ කණ්ඩායම විසිනි. මෙහි බිසෝකොටුව ඇතුළේ කැණීම් කරනු ලැබුවේ ද මවිසිනි. මෙම පර්යේෂණ සිදු වුයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ය. මීට අමතර ව මහා පරාක්‍රමබාහු පොළොන්නරුවේ රජවීමට පෙර දක්ෂිණ දේශයේ පාලකයා ලෙස පඬුවස්නුවර සිටි කාලයේ ඉදි කළ බව කියන බෑණ  සමුද්‍රය හෙවත් පඬාවැව ආශ්‍රිත වාරිකර්මාන්ත මවිසින් අධ්‍යයනය කරන ලද අතර එම අධ්‍යනය  කේම්බ්‍රිජ් සරසවියේ  (University of Cambridge) මාගේ දර්ශනපති (MPhil) උපාධිය සඳහා ඉදිරිපත් කළෙමි. මේ වැව් දෙක අතර තාක්ෂණික වශයෙන් කිට්ටු සම්බන්ධයක් දැකිය හැකිය. මේ නිසා දැනට උද්ගතව ඇති වාරි උරුමය හා සම්බන්ධ අර්බුදය පිළිබඳ අදහස් දැක්වීම මාගේ ශාස්ත්‍රීය වගකීමක් ලෙස සළකමි[1].

ලංකාවේ පැරණි ශිෂ්ටාචාරය, වාරි ශිෂ්ටාචාරයක් ලෙස හදුන්වනු ලබන්නේ එම ශිෂ්ටාචාරයේ ආර්ථිකයේ මුලික ම පදනම වන්නේ වාරි කර්මාන්ත මත පදනම් වූ කෘෂි කර්මාන්තය වීම,  හා  එම ශිෂ්ටාචාරයේ සුවිශේෂ ම ලක්ෂණය වාරි කර්මාන්තය වීම නිසා ය. එම ශිෂ්ටාචාරයේ ලංකාවේ වියළි කලාපයේ බිහි වූ අතර, එම කලාපයේ වර්ෂා ජලය මත පමණක්  යැපී වී ගොවිතැන් කිරීම අවදානම් වූ නිසා ජලය රැස් කිරීමට වැව්, අමුණු  හා ඇළ මාර්ග වියළි කලාපය පුරා ඉදිකරන ලද අතර එම සංඛ්‍යාව 30000 පමණ වෙතැයි ගණන් බලා තිබේ. ක්‍රි.පු. පළමු සහශ්‍රකයේ මැද භාගයේ ආරම්භ වූ වාරි  කර්මාන්ත වරින් වර නවීකරණය හෝ විශාල කිරීම් කළ ද ඒවායින් බොහොමයක් ඒවා ඉදිකිරීමේ මුලික අභිලාෂ අද දක්වාත් අඛණ්ඩව ඉටු කරමින් සිටි. අද දක්වාත් ලාංකේය ග්‍රාමීය ආර්ථිකයේ කොඳු නාරටිය වන්නේ මෙම වාරිකාර්මික කෘෂිකර්මාන්තය යි. මෙම ග්‍රාමීය වාරි පද්ධතියේ සුවිශේෂත්වය වන්නේ ද වසර දහස් ගණනක් පුරාවට අඛණ්ඩ ව පවතින තිරසාර ජල භාවිතාව යි (Sustainable use of water).  එම වාරි පද්ධතිය තේරුම් ගත යුත්තේ ද, ආරක්ෂා කළ යුත්තේ ද වාරි කර්මාන්ත හා අවියෝජනීය ලෙස බැඳී පවත්නා පුළුල් ස්වභාවික-සංස්කෘතික පද්ධතිය ද සමග ය.

එය ආරක්ෂා කිරීමේ වගකීම එම වාරි කර්මාන්ත සමග ගනු දෙනු කරන සියළු පාර්ශ්වකරුවන්ට පැවරෙන අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එහිලා ප්‍රමුඛ කාර්යභාරයක් පැවරේ. එසේ වුවත් මේ සාකච්ඡාවට බඳුන්වන වැව් බැමි මත ඇවිදින මංතීරු සැදීමේ දී ක්‍රියාවලියේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය වගකීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී ඇත. වාරි කර්මාන්ත – මෙහි දී පරාක්‍රම සමුද්‍රය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස  ගැසට් කොට නොමැති නිසා – පුරාවිද්‍යාවට අදාළ නැතැයි එම දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ප්‍රකාශ කරන ලදැයි මාධ්‍ය වාර්තා කොට ඇත.

ඇවිදින මංතීරුව
නව මංතිරුවේ ඉදිකිරිම් ඡායාරූපය LankaNewsWeb

1940 අංක 9 දරණ පුරාවිද්‍යා ආඥා පනත එහි 1998 අංක 24 දරණ සංශෝධන සමස්තයක් ලෙස ගතහොත්, 1815 මාර්තු 2 වැනිදාට හෝ අදින් වසර සියයකට වඩා පැරණි නිශ්චල චංචල ඉදිකිරීම් හා කෞතුක භාණ්ඩ පුරාවස්තු යටතට ගැනේ. පරාක්‍රම සමුද්‍රය ද ඇතුළු ලංකාවේ වාරි කර්මාන්ත සියල්ල ම අවුරුදු සියයකට පැරණි මානව නිර්මාණ නිසා ඒවා නිසැකව ම පුරවිද්‍යා ස්ථාන/ පරිශ්‍ර ගණයට වැටේ. පුරාවිද්‍යා කැණීම්වලට අවසර දීමේ දී හානි නොවිය යුතු දේ අතර වාරි ඉදිකිරීම් හා ජල මුලාශ්‍ර පැහැදිලිව දක්වා තිබීමෙන් මෙය වඩාත් තහවුරු වේ. පරාක්‍රම සමුද්‍රය පිළිබඳ කාරණාවේ දී 1931 මාර්තු 13 නිකුත් කළ අංක 7844 දරණ ගැසට් නිවේදනය මගින් පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිත තෝපාවැව, වැව මැද නටඹුන්, පොත්ගුල් වෙහෙර ආදී ප්‍රදේශ වෙන ම පුරාවිද්‍යා ආරක්‍ෂිත ප්‍රදේශ ලෙස ද නම් කොට තිබේ. පරාක්‍රම සමුද්‍රයේ බැම්ම  කැඩී තිබී නැවත 1978 දී ප්‍රතිසංස්කරණය කොට එහි කොටසක රළපනාව නැවත සකස් කරන ලද නමුදු, බැම්මේ විශාල කොටසක් පැරණි වන අතර එහි මුල් රළපනාවේ කොටසක් ද තාමත් ආරක්ෂා වී ඇත.

පරාක්‍රම සමුද්‍රය ද ඇතුළු බොහෝ වැව් පුනරුත්ථාපනය හෝ නවීකරණය කොට ඇති නිසා ඒවායේ තථ්‍යතාවට (authenticity) දැනටමත් හානි වී ඇති නිසා ඒවායේ පුරාවිද්‍යාත්මක වටිනාකම ගිලිහි ඇති බවත්, ඒවා නුතන භාවිතයට නිසි ලෙස නවීකරණය කිරීම හෝ නවාංග වරදක් නැතැයි ද මතයක් ගොඩ නැගී ඇත. මේ වාරිමාර්ගවල – විශේෂයෙන් වැව් සෑම කන්නක් ම ආරම්භයට/ වැසි ආරම්භයට පෙර බැම්මට පස් දමා ශක්තිමත් කිරීම ද ඇළ වේලි පමණක් නොව නියර වක්කඩ බැඳීම ද  එම වාරි කර්මාන්තයේ අඛණ්ඩතාවේ ම කොටසකි. එසේ ම  මේ වාරි (වැව්) ඉදිකිරීමේ මුලික අභිලාෂයේ (ජලය  එක්කොට අවශ්‍ය පරිදි කෘෂි කර්මාන්තය, වෙනත් මානව හා සත්ත්ව ප්‍රජාවේ අවශ්‍යතා මෙන් ම පාරිසරික සංරක්ෂණය) අඛණ්ඩතාව ද මේ දක්වාත් ආරක්ෂා වී ඇත. මේ නිසා මෙම වාරි කර්මාන්ත ආරක්ෂා කිරීමේ පුරාවිද්‍යාත්මක අවශ්‍යතාවක් ද, තිරසාර ජල පරිභෝජනයේ අඛණ්ඩතාව රැක ගැනීමේ අවශ්‍යතාවක් හා ඒ හරහා කෘෂි ආර්ථිකයේ පදනම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවක් ද වේ.

Parakrama Samudraya
නව ඉදි කරීමක් ලෙස පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මතින් ඉදි වී ඇති පාර ඡායාරූපය එම්. දිනිදු

මෙහි සාකච්ඡා වන වැව් බැමි මත ඇවිදින මංතීරු ඉදිකිරිම සාධාරණිකරණය කරනු බලන්නේ පැරණි වාරිකර්මාන්ත නුතන භාවිතයට නිසි ලෙස නවීකරණය හෝ නවාංග එකතු කොට නව ආර්ථික උපායමාර්ග ලෙස භාවිත කිරීම කළ යුතුය යන තර්කය මත ය. ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් බසවක්කුලම, තිසාවැව හා පරාක්‍රම සමුද්‍රය වැනි වැව්වලට ඒවායේ නොතිබුණ නවාංග එකතු කිරීම වැව්වල ඓතිහාසික භාවිතාව, අගයන්, වටිනාකම් හා අර්ථයන් විනාශවීමට හේතු වේ. පැරණි වැව් බැමි ගමනාගමනය සඳහා මුල් අවධියේ පටන්  ම භාවිත වුව ද ශාරීර සුවතාව සඳහා විශේෂයෙන් සකස් කළ මංතීරු වැව්වල අංග නොවුණි.  පුරාවිද්‍යාත්මක සංරක්ෂණයේ දී වුවද කලින් නොතිබුණ අංග පුරාවිද්‍යා ඉදිකිරීම්වලට (ඒවායේ පැවැත්මට අත්‍යවශ්‍ය විටක දී හැර) එකතු කරන්නේ නැත. අනාගතයේ  බසවක්කුලම වැව බලන්නට යන දරුවන් ඇවිදින මං තීරුව ද ඒ වැවේ ම  අංගයක් ලෙස තේරුම් ගතහොත්  ඔවුන් නොමග  යැවීමේ වගකීම අප වෙත පැටවෙනු ඇත.

ලංකාවේ වාරි උරුමය ලෝක උරුමයක් ලෙස නම් කිරීම සදහා අවශ්‍ය කටයුතු සාකච්ඡා වෙමින් පවතින අවස්ථාවක එම වාරි ශිෂ්ටාචාරයේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථාන සනිටුහන් කරන බසවක්කුලම, තිස්ස වැව හා පරාක්‍රම සමුද්‍රය වැනි වැව්වල ඓතිහාසික සන්දර්භයට හානි කිරීම අනුවන ක්‍රියාවකි. පරාක්‍රම සමුද්‍රය පොලොන්නරුව ලෝක උරුම නගරය සමග ඓතිහාසික ව බැදී පවතී. එහි අතීත  ශ්‍රී විභූතියේ ආර්ථික පදනම සපයන ලද්දේ පරාක්‍රම සමුද්‍රය මුල්කොට ගත් වාරි කෘෂි ආර්ථිකය විසින් නිසා එම වාරි උරුමය පවත්නා ස්වරුපයෙන් ම ආරක්ෂා කිරීම සංස්කෘතික සංචාරක ව්‍යාපාරය උදෙසා ද වඩාත් උචිත වේ. නුතන තිරසාර සමාජ-ආර්ථික ප්‍රගමනය අත්කරගත යුත්තේ ඓතිහාසික සංස්කෘතික-සමාජ  මූලයන් මත පිහිටා මිස ඒවා විනාශ කොට නොවේ.

පුරාවිද්‍යාවේ නාමයෙන් සියළු සංවර්ධන කටයුතු නතර කළයුතුයැයි මෙයින් යෝජනා කරන්නේ නැත. එහෙත් සියළු  සංවර්ධන කටයුතු කිරීමේ දී පුරාවිද්‍යාත්මක හානි ඇගයීමේ අධ්‍යයන කිරීම පුරාවිද්‍යා ආඥා පනතේ 1998 අංක 24 දරණ සංශෝධනය මගින් අනිවාර්ය කොට ඇත. 2006 ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය මගින් පුරාවිද්‍යා ආඥා පනත ක්‍රියාත්මක කිරීම හා එහි කාර්යභාරය ඉටු කිරිම පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයාගේ වගකීම බවට පත්කොට ඇත. එම කාර්ය ඉටුකිරීමට උපදෙස් දීම පුරාවිද්‍යා උපදේශක සභාවක් ද පිහිටුවා තිබේ. එහෙත් මෙහි සාකච්ඡා වෙන වැව් බැමි මත  ඇවිදින මංතීරු සැදීම් ආරම්භ වීමට පෙර පුරාවිද්‍යා හානි ඇගයීමේ අධ්‍යයන (Archaeological Impact Assessment) නොවූ බව කියවේ. තිස්ස වැවේ මඩ ඉවත්කිරීමට යන්ත්‍ර මගින් හැරීමේ දී ද පුරාවිද්‍යා හානි ඇගයිම සිදුකළේ මහජන විරෝධය පළවීමෙන් පාසුව ය. පුරාවිද්‍යා හානි ඇගයීම් අධ්‍යයන කළ යුත්තේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට පෙර ය.

තිස්ස වැවේ මඩ ඉවත් කිරීම
තිස්ස වැවේ මඩ ඉවත් කිරීම ඡයාරූපය NewFisrt

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා එහි නිළධාරීන් කටයුතු කරන්නේ අවම පහසුකම් හා විවිධ දුෂ්කරතාවන් යටතේය. ඔවුන්ගේ රාජකාරිය ඉටුකිරීමේ දී මුහුණ දෙන ප්‍රායෝගික දුෂ්කරතාවන්, අභියෝග පමණක් නොව තර්ජන ගැන මේ ලියුම්කරු ඉතා හොඳින් දැනුවත්ය. දේශපාලන බලපෑම් ඉදිරියේ ඔවුන් අසරණ වන්නේ අනෙකුත් රාජ්‍ය රාජ්‍ය නිළධාරීන් ලෙසින්ම ය. මෙහි සාකච්ඡා වෙන වැව් බැමි මත ඇවිදින මංතීරු ඉදිකරිරීමේ දි ද එබඳු දේශපාලන බලපෑම් එල්ලවෙනවා විය හැකි ය. කුමන තත්වයක් යටතේ වුව ද පුරාවිද්‍යා උරුමය විනාශ වීමට ඉඩහැරීම නැවත කිසි දිනක නිවැරදි කළ නොහැකි අපරාධය කි. එබැවින් වාරි උරුමය පමණක් නොව, ලංකාවේ සමස්ත පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කරගැනීම සියළු පුරවැසියන්ගේ වගකීමක් ලෙස සැළකිය යුතුය. මෙම ලිපියෙහි එක් අරමුණක් වන්නේ එය මතක් කර දීම යි.

උරුමයේ නුතන භාවිතාව පිළිබඳ  විවිධ මතවාද තිබිය හැකි ය. එබඳු විවාදාපන්න කරුණු පිළිබඳ තීරණවලට එළඹීම විෂය ප්‍රාමාණිකයින්ට අයත් කාර්යයක් වන අතර, එය සිදුවිය යුත්තේ මුළුමනින් ම පුරවිද්‍යා – උරුම කළමනාකරණ ශික්ෂනයන්හි මූලධර්ම හා න්‍යායික දාර්ශනික තර්කණය මත පිහිටා මිස දේශපාලනික බලපෑම්වලට යටත්ව නොවේ. සංවර්ධන අවශ්‍යතා හා මහජන අභිලාෂයන් සැපිරෙන පරිදි උරුම කළමනාකරණය කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාව කි. වාරි උරුමය බඳු ජීවමාන උරුම සමග ගනුදෙනු කිරීම තවත් සංකීර්ණ වන්නේ ප්‍රජා-මූලික ප්‍රවේශයක් ද අනුගමනය කළ යුතු නිසාය. මෙය උරුමය හා සම්බන්ධ සියළු පාර්ශ්වකරුවන් එක්ව කරන පුළුල් සංවාදයකින් කළ යුතු ක්‍රියාව කි. වාරි උරුමය ආශ්‍රිතව අද මතුව ඇති අර්බුදය එකිනෙකාට ඇඟිලි දිගු නොකර සිදු කරන එබදු පුළුල් සමාජ කතිකාවක දැඩි කාලින අවශ්‍යතාව පෙන්නුම් කරයි.

[1] ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥන්ගේ වෘත්තීය සංගමය විසින් සංවිධායනය කොට 2021 සැප්තැම්බර් 19 වැනි දින මාර්ගගත ක්‍රමයට  ‘ලංකාවේ වාරි උරුමය’  යන මාතෘකාව යටතේ පැවැත්වූ පුරාවිද්‍යා සංවාදයේ දී ද ‘ලංකාවේ වාරි උරුමය හා එය සුරකීමේ කලීන අවශ්‍යතාව’  පිළිබඳ මවිසින් මූලික දැක්විමක් කරන ලදී.

ආචාර්ය විජේරත්න බෝහිංගමුව
ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය, රුහුණ විශ්ව විද්‍යාලය

 

- Advertisement -

More articles

1 COMMENT

  1. ඉතා හොඳ පැහැදලි කිරීමක්. මෙය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශව දෙකටම තුති.
    මම හිතන්නේ මෙම වත්මන් තත්ත්වයට හේතුව වී ඇත්තේ පුරාවිද්‍යාව හා උරුම කළමනාකරණය පිලිබඳ ඉහළ අත්දැකීම් සහිත කණ්ඩායමක් මගින් මෙවැනි ව්‍යාපෘති පිළිබඳව පූළුල් ලෙස සාකච්ඡා නොකිරීමයි.
    අනෙක් කරුණ නම් නිසි පුරාවිද්‍යා හා පාරසරික බලපෑම් සමීක්ෂණයක් සිදු වන්නේ නම් මෙවැනි ව්‍යාපෘති යෝජනා කරනු ලබන මුල් අවස්ථාවේ ම අදාළ වෙනස්කම්වලට මෙන්ම යෝග්‍ය ද නැද්ද යන්න පිළිබඳව ද තීරණය කිරීමේ හැකියාව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -spot_img

Latest article

X
X